මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස්පස් දෙනා අතරින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙහි ඉදිරියෙන් ම සිටින සජිත් ප්‍රේමදාස හා ගෝඨාබය රාජපක්ෂ අතර තියුණු සටනක් පවතින බවත් එහෙත් විදෙස් තානාපති කාර්යාල හරහා සිදුකර ඇති සමීක්ෂණ අනුව ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු මෙතෙක් සියයට 50 ඉලක්කයට ලඟා වී නොමැතිබවත් වාර්තාවේ.

එම තත්වය තුල අනුර දිසානායක හා මහේෂ් සේනානායක යන අපේක්ෂකයින්ට ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයින්ගේ දෙවැනි මනාපය මෙවර ජනාධිපතිවරණයේ දී තීරණාත්මක විය හැකි බවට ගණන් බලා ඇත. 

ජාතික ජනබලවේගයට ඡන්දයක් ප්‍රකාශ කරන්න කැමති ඕනෑම අයකුට වෙනත් අපේක්ෂකයකුට දෙවැනි මනාපය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතැයි ජාතික ජනබලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා දැනටමත් ප්‍රකාශ කර තිබේ.

''ජවිපෙ දෙවෙනි මනාපය තවත් පාර්ශවයකට ලැබෙනවා කියලා විවිධ කැම්පේන් යනවා. එවැනි දේකට ජවිපෙ යම්කිසි ඉඟියක් පළකරලා තියෙනවාද?'' දැයි 'හිරු' රුපවාහිනී නාලිකාව සමග පැවති සංවාදයක දී මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි කළ විමසීමකදී ජවිපෙ නායකයා එබව සඳහන් කළේය.

 


මේ අනුව අනුර කුමාර දිසානායකට සහය දක්වන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙවර ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ඉදිරියේ අංක 1 සලකුණු කර සජිත් ප්‍රේමදාස ඉදිරියේ අංක 2 සලකුණු කරන්නයි සිය සමාජ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරමින් සිටිති.

WhatsApp Image 2019 11 12 at 3.16.31 PM
ජයග්‍රාහකයා තීන්දු කෙරෙන උපක්‍රමික ඡන්ද පාවිච්චියක් මෙවර සිදුවේද?


 මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස්පස් දෙනා අතරින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙහි බොහෝදෙනාගේ අවධානයට ලක් වෙමින් සිටින අපේක්ෂකයන් දෙදෙනාට අමතරව, තවත් අපේක්ෂයෙක් පෙරට පැමිණීමත් සමඟ දෙවන වටයේ ඡන්ද ගණන් කිරීමක් ද සිදුවිය හැකි බවට අනුමාන පළවෙමින් පවතින බව 'බීබීසී සිංහල සේවය' ද වාර්තාකර තිබේ.

එවැනි දෙවැනි වටයේ ඡන්ද ගණන් කිරීමක් සිදුවන්නේ පළමු වටයේ දී කිසිදු අපේක්ෂකයකු විසින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරන ප්‍රකාශිත ඡන්දවලින් 50%+1 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අපොහොසත් වුනොත් පමණි.

'බීබීසී සිංහල සේවය' පුවත් වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.


දෙවැනි මනාපය සම්බන්ධයෙන් බියක්....

''ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ හයේදී එවැනි දෙවැනි වටයේ ගණන් කිරීමක් අවශ්‍ය නොවූ අතර පළමුවටයේදී ම එක් අපේක්ෂකයකු විසින් සිය ජයග්‍රහණයට අවශ්‍ය 50% කඩයිම පසුකරමින් ජයග්‍රහණය වාර්තා කරනු ලැබ ඇත.

පළමු වටයේ දී කිසිදු අපේක්ෂකයකු විසින් 50% ලබා නොගැනීම නිසා දෙවැනි වටයේ ඡන්ද ගනන් කරනු ලැබීමක දී සමහරවිට පළමුවටයේ දී ඉදිරියෙන් සිටි අපේක්ෂකයා නොව ඊළඟට සිටි අපේක්ෂකයා ජයග්‍රාහකයා වීමේ ඉඩකඩක් පවතී.

ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ඡන්දදායකයන්ගේ දෙවැනි මනාපය සම්බන්ධයෙන් බියක් දක්වන්නේ එබැවිනි.

එක් අපේක්ෂකයෙකුවත් පළමු වටයේ දී අවශ්‍ය 50% ක නිශ්චිත බහුතර ඡන්ද ප්‍රමාණය නොලැබීමට හේතුවිය හැක්කේ, වැඩිම ඡන්ද සංඛ්‍යාවන් ලබන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව සෙසු අපේක්ෂකයන් විසින් ද සැලකියුතු මට්ටමේ ඡන්ද ප්‍රතිශතයක් ආකර්ෂණය කර ගැනීමෙන් ඔවුන් අතරත් ඡන්ද සැලකිය යුතු අනුපාතයකින් බෙදීගියහොත් පමණි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක දී දෙවැනි වටයේ ඡන්ද ගණන් කිරීමක් කරා යෑමට සිදුවුනොත් එවිට පළමුව සිදු කෙරෙන්නේ වැඩිම සහ ඊළඟට ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයන් තරඟයෙන් ඉවත් කිරීමය.

එසේ තරඟයෙන් ඉවත්කරන ලද අපේක්ෂකයන් වෙනුවෙන් පළමු මනාපය දී ඇති ඡන්ද පත්‍රිකාවන්හි දෙවැනි මනාපය තරඟයේ ඉතිරි වූ අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට දී ඇත්නම් ඒවා ඔවුනොවුන්ගේ වාසියට එකතු කරනු ලැබීම ඊළඟට සිදු කෙරෙයි.

එම ගණනය අනුව 50% ක ඡන්ද ලබාඇති අපේක්ෂකයා ජයග්‍රහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

Screen Shot 2019 11 13 at 11.48.45 AMතුන්වෙනි මනාපය ගණින අවස්ථා

එහෙත් එම දෙවැනි වටයේදීත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් අවශ්‍ය 50%ක ඡන්ද ලබා නැත්නම්, ඉහත කී පරිදි දෙවෙනි මනාපය ගණන් නොගත් ඡන්ද පත්‍රිකාවන්හි තුන්වෙනි මනාපය තරඟයේ ඉතිරිව සිටින අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙත සටහන් කර ඇත්නම් ඒවා ඔවුනොවුන්ගේ වාසියට එකතු කරනු ඇත. 

දෙවැනි මනාපය ගණන් ගත් ඡන්ද පත්‍රිකාවක තුන්වෙනි මනාපය ගණන් ගනු නොලැබෙයි.

එම තුන්වෙනි මනාපය ගණන් කිරීමේ දීත් කිසිවකු අවශ්‍ය 50% ඡන්ද ලබා නැතත්, එවැනි අවස්ථාවක වැඩිම ඡන්ද ලබා ඇති අපේක්ෂකයා ජනාධිපති පදවියට තේරී පත් විනැයි ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසමට බලය ඇත.

දෙවැනි මනාපය ගණන් කිරීමකට නොගොස් සිය මැතිවරණ සටන නිම කර ගැනීම ප්‍රබල අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනාව වීම නිසැකය.

එසේම අපේක්ෂකයන් දෙදෙනෙකුට වඩා වැඩිවන අවස්ථාවක දුර්වල අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටින ඡන්දදායකයන් සිය අපේක්ෂකයාගේ හෝ අපේක්ෂිකාවගේ ජයග්‍රහණය නියත නොවන හෙයින් ජයගත හැකි තමන්ට වඩාත් මනාප අපේක්ෂකයකු කරා සේන්දු වීමේ දේශපාලනයක් ද ඇත.

බටහිර රටවල මෙය හඳුන්වනු ලබන්නේ ටැක්ටිකල් වෝටින්(tactical voting) යනුවෙනි.

උපායශීලී ඡන්ද ප්‍රකාශනය:

Screen Shot 2019 11 13 at 11.56.49 AMටැක්ටිකල් වෝටින්(tactical voting) යන්න සරලව පැහැදිළි කළොත් එය "උපායශීලී ඡන්දය දීමක්" ලෙස සඳහන් කළ හැකිය.

තවදුරටත් පැහැදිළි කළොත් එවැනි දේශපාලන තීන්දුවක් ගැනීමේ දී සිදු කෙරෙන්නේ, පොදු ප්‍රතිවාදියකු බලයට පත්වීම වැලැක්වීම සඳහා ඔහුට හෝ ඔහුගේ පක්ෂයට එරෙහි බලවේග අදිසි ලෙස සන්ධානගත වීමකි.

එය හොඳින් පැහැදිළි වන්නේ මූලෝපායික(stratagic voting ) ඡන්ද ප්‍රකාශය හඳුනා ගැනීමෙනි.

                                           


මූලෝපායික මැතිවරණ සටනකදී ඡන්දදායකයා තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයෙන් (හෝ ස්වාධීනව) තරඟවදින අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ සටනේ අවසන් ප්‍රතිපලය තෙක් (ජයග්‍රහණය හෝ පරාජය තෙක්) පෙනී සිටිමින් ඔහු හෝ ඇය වෙනුවෙන් කෙළින්ම ඡන්දය පාවිච්චි කරයි.

එහෙත් උපායශීලීව (tactical voting) ඡන්දය පාවිච්චියක දී සිදු කෙරෙන්නේ සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය සැකසහිත දේශපාලන පරිසරයක් යටතේ ඡන්දදායකයන් ප්‍රධාන ප්‍රතිවාදියා පරාජය කිරීමට වෙනත් අපේක්ෂයකු කරා සමීප වීමකි.

පුරවැසියෙක් තමා අයත් සමාජයේ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගන්නේ තමා අගය කරන කිසියම් සමාජ දේශපාලන දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් අනුව යමින් තමා අයත් එම පක්ෂය බලයට ගෙන ඒම වුවද, 'ටැක්ටිකල් වෝටින් (tactical voting) එනම් උපායශීලී ඡන්දය දීමක දී සිදුවන්නේ ඊට සහමුලින්ම වෙනස් දේශපාලන හැසිරීමකි. එවිට ඔහු තම අපේක්ෂකයාට නොව ජයග්‍රහණයට සමීප වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරයි.

                                                     



බ්‍රිතාන්‍යය ඇතුළු කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය පවතින ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල එවැනි උපායශීලී ඡන්දය දීම් බොහෝ මැතිවරණවලදී දක්නට ලැබෙයි.

එම හැසිරීම ඇතැම්විට සංවිධානගත මට්ටමින් ද තවත් අවස්ථාවක ඡන්දදායකයන්ගේ පෞද්ගලික උවමනාව අනුවත් සිදුවිය හැකිය.

කෙසේවුවද, එවැනි ඕනෑම අවස්ථාවක සිදු වෙන්නේ ඡන්දදායකයකුගේ පෞද්ගලික දේශපාලන හෘදය සාක්ෂිය නොව වෙනත් අරමුණක් ඉලක්ක කරගත් වක්‍ර දේශපාලන පියවරක් ගැනීමය.

එවිට ඡන්දදායකයා තමා අයත් දේශපාලන පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා නොව වෙනත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකුට සිය ඡන්දය දීම සිදු කෙරෙයි.

එවැනි තත්වයක් උදාවන්නේ පවතින දේශපාලන ප්‍රතිවිරෝධයේ මට්ටම අනුවය.

මීට ආසන්න උදාහරණයක් වශයෙන් ලබන දෙසැම්බර් මස පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී ලේබර් පක්ෂය පරාජය කිරීම සඳහා 'බ්‍රෙක්සිට්' පක්ෂයේ සාමාජිකයන් කොන්සර්වේටිව් අපේක්ෂකයන්ට ඡන්දය දීමට තීන්දු කිරීම දැක්විය හැකිය.

එපරිද්දෙන්ම, කොන්සර්වේටිව් අපේක්ෂකයන් පරාජය කිරීමට ලේබර්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සහ 'හරිත' පක්ෂවල දැඩි මතධාරීන් නොවන ආධාරකරුවන් සිය පක්ෂය නොතකා එකී පක්ෂ අතර බලවත් අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙ ප්‍රවනතාවක් පවතී.
Screen Shot 2019 11 13 at 12.10.34 PMබ්‍රිතාන්‍ය අත්දැකීම්

මෑත බ්‍රිතාන්‍ය මැතිවරණ ඉතිහාසයේ 1997 මහ මැතිවරණයේ පටන් ටැක්ටිකල් වෝටින් (tactical voting) උපායාත්මක ඡන්දය දීම සංවිධානාත්මක මට්ටමින් සිදුවී ඇත.

1997 දී කොන්සර්වේටිව් පක්ෂය පිළිවෙලින් පස්වෙනි වතාවටත් බලය ලබා ගැනීම වැලැක්වීම සඳහා කොන්සර්වේටිව් බලකොටු හැටියට මුල්බැස ගෙන ඇති ඇතැම් ඡන්ද කොට්ඨාශවල විපක්ෂ කණ්ඩායම් කොන්සර්වේටිව් අපේක්ෂකයා පරාජය කළ හැකි මට්ටමක සිටින අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට පෙළ ගැසීම මීට උදාහරණයකි.

ඒ සඳහා 1997 බ්‍රිතාන්‍ය මැතිවරණ සමයේ GROT (Get Rid Of Them) නමින් සංවිධානයක් පවා ඇතිකර ගනු ලැබුණි.

එම සංවිධානයේ ඒකායන සැලැස්ම වුණේ කොන්සර්වේටිව් පක්ෂයට එරෙහිව ජයගත හැකි අපේක්ෂකයන් වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල ඡන්දදායකයන්ගේ ආකර්ෂණය කර ගැනීමය.

2017 බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දීත් උපායශීලීව ඡන්ද මෙහෙයවන (tactical voting) බලවේග ක්‍රියාත්මක විය.

එම මැතිවරණයේ දී කොන්සර්වේටිව් පක්ෂය පරාජය කිරීමට කටයුතු කළ බ්‍රිතාන්‍ය 'හරිත' පක්ෂය (Green Party) ලේබර් පක්ෂයේ අපේක්ෂකයන් දෙවැනි ස්ථානයේ සිටි ඡන්ද කොට්ඨාශවලදී ඔවුන්ගේ ජයග්‍රහණයට මග පාදමින් සිය අපේක්ෂකයන් ඉවත්කර ගනු ලැබුණි.

එහි ප්‍රතිපලය වුණේ හරිත පක්ෂය සැලසුම් කළ පරිදිම ඇතැම් කොන්සර්වේටිව් අපේක්ෂකයන් ලේබර් පක්ෂයට පරාජය වීමය.

උතුරු අයර්ලන්තයේ මැතිවරණවලදී සින් ෆේන්(Sinn Fein) සංවිධානයට සහයෝගය දෙන ජාතිකවාදීන්(Nationalist) බහුතරය වන ආසන ඔවුන්ට අහිමි කිරීම සඳහා සාංගමිකවාදී (Unionist) ඡන්දදායකයන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී(Social Democratic ) සහ ලේබර් පක්ෂ අපේක්ෂකයන් අතර රංචු ගැසීම උපායශීලී ඡන්ද ප්‍රකාශයට තවත් නිදසුනකි.

Screen Shot 2019 11 13 at 12.10.23 PM
ශ්‍රී ලංකා අත්දැකීම:

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණවල දී ඉහත සඳහන් කළ උපායශීලී ඡන්ද පාවිච්චිය (tactical voting) ප්‍රායෝගික නොවන්නේ එය සමානුපාතික නියෝජන ක්‍රමය පදනම් කරගත් ක්‍රියාවලියක් වන හෙයිනි.

එහෙත් ජනාධිපතිවරණයක දී එය හොඳින්ම භාවිතා කළ හැකි දේශපාලන උපක්‍රමයක් වෙයි.

පළමුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි අපේක්ෂකයන්ගේ දේශපාලන අනුගාමිකයන්ට ඔවුන් මනාප අපේක්ෂකයා නොව වෙනත් රුචි අපේක්ෂකයකුට පළමු මනාපය ළකුණු කිරීම මගින් සිය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්‍ෂකයාට අභියෝග කළ හැකිය.

උදාහරණයක් වශයෙන් "D" නම් අපේක්‍ෂකයා වෙනුවෙන් පෙනී සිටින ඡන්දදායකයන්ට සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය සැක සහිතනම්, ජයගත හැකැයි සිතන "E" නම් ප්‍රබල අපේක්ෂකයා වෙනුවෙන් පළමු මනාපය දීම කෙරෙහි යොමුවීමේ ඉඩකඩක් "උපායශීලී ඡන්ද පාවිච්චිය" අනුව පවතී.

දෙවනුව, කරට කර තරඟයක දී පළමු මනාපය සිය අපේක්ෂකයාට ළකුණු කරමින්, දෙවැනි සහ තුන්වෙනි මනාප පරාජය කළ යුතුයයි තමන් සිතන ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයාට එරෙහි අපේක්‍ෂකයන් වෙනුවෙන් ලබාදිය හැකිය.

ඒ අනුව "D" නම් අපේක්‍ෂකයා වෙනුවෙන්ම පළමු මනාපය ළකුණු කරන ඡන්දදායකයකුට සිය දෙවැනි සහ තුන්වෙනි මනාප තමා ඊළඟට කැමති අපේක්ෂයන් දෙදෙනෙකු වෙනුවෙන් ළකුණු කරමින් විකල්ප මතයක් පළකළ හැකිය.

එම දෙවන සහ තුන්වෙනි මනාප වලංගු වීමටනම් ඒවා ජනාධිපතිවරණයක වැඩිම සහ ඊළඟට ඡන්ද ලබාගනිමින් තරඟයේ දිගටම රැඳෙන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකු වෙත දී තිබිය යුතු අතර, ඔවුන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය 50% ක ඡන්ද ප්‍රතිශතය පළමු වටයේ දී ලැබී නැත්නම් දෙවැනි වටයේ ගණන් කිරීමක දී එකී දෙවන මනාපයටත් වටිනාකමක් ලැබෙනු ඇත.

තුන්වෙනි මනාපයට වටිනාකමක් ලැබෙන්නේ දෙවන මනාපය සලකා බැලූ පසුවත් කිසිවෙකු ජයග්‍රහණයට අවශ්‍ය 50% ක ප්‍රතිශතය ලැබී නැත්නම් පමණි.

තරඟයේ රැඳී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සම සමව ඡන්ද ලබා ඇති අවස්ථාවක ජයග්‍රහකයා කුසපත් ඇදීමෙන් තීන්දු කෙරෙනු ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ(1978) දැක්වෙයි.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්