ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත්වීම නතර කර ගැනීමට අවශ්‍ය වේ නම්

එහි පළමු පියවර දේශපාලනඥයින් විසින් ඉටුකළ යුතුබව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඒ සඳහා, මැතිවරණයකට කෙතරම් මුදල් දුන්නත්, කෙතරම් සෙනග ගෙනාවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු හේතුවක් මත සහාය නොදෙන බවටත්, සබඳතා නොපවත්වන බවටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225  ම අධිෂ්ඨානයක් ඇති කරගත යුතුබව ගම්මන්පිල කියා සිටියි.

''පොලිසිය බොහොම අමාරුවෙන් ජීවිතය පරදුවට තබලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අල්ලා ගත්තාම දුරකතන ඇමතුම් එන්නේ බලවතුන්ගෙන්.  මේ වෙලාවට පොලිසිය අසරණ වෙනවා. ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත්වීම නතර කර ගැනීමට අපට අවශ්‍ය වෙනවා නම් ඒකේ පළමු පියවර තමයි මේ 225  ඉන්න අපි හැමෝම අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ කිසිදු හේතුවක් මත මැතිවරණයකට කෙතරම් මුදල් දුන්නත් කෙතරම් සෙනග ලැබුණත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දෙන්නේ නැහැ සබඳතා පවත්වන්නේ නැහැ කියලා. ඒක ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් වීම නතර කර ගැනීමේ පළමු වැදගත් පියවරයි...'' ඔහු සඳහන් කළේය.

ගම්මන්පිල මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කර සිටියේ අද දින (10 ) පාර්ලිමේන්තුවේ දී ය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.



2020 වර්ෂයේ දී රුපියල ඩොලරයට සාපේක්ෂව කෘතිමව ස්ථාවරව පවත්වාගෙන යෑමට එවක පැවති රජය ගත් වැරදි තීරණය හේතුවෙන් ඩොලර් කළු කඩය ව්‍යාප්ත වීම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තවීම කෙරෙහි බලපා ඇති ප්‍රධානතම සාධකයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ ය.



නිහාල් නෙල්සන් වරක් ගීතයක කිව්වා, කාලයෙන් කාලයට එන වසංගතේ නෑ අඩුපාඩු කියලා.  ඒ වගේ ගංජා හෙරොයින් යුග අවසන් වෙලා අද අපි අයිස් යුගයට ඇවිල්ලා තියෙනවා.  මේ අයිස් කියන මත්ද්‍රව්‍ය හයිපර් ඇක්ටිවිටි ඩිස්ඔර්ඩර් නැතිනම් වැඩි විසේ කියන මානසික රෝගයට ඖෂධයක් විධියට පාවිච්චි කළ දෙයක්. ඒ නිසාම අයිස් පාවිච්චි කරන කෙනෙක් අර හෙරොයින් පාවිච්චි කරන කෙනෙක් වගේ ප්‍රචණ්ඩ වෙන්නේ දඟලන්නේ නැහැ. ඉතාම සාමකාමීව  ඉන්නවා.

අද පාසල් දරුවන් අතර බරපතළ විදිහට මේක පැතිරිලා තියෙනවා. නමුත් ඒ අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ද කියලා හොයා ගන්නවත් බැහැ. පාවිච්චි කරලා සාමකාමීව හිටියට ප්‍රතිඵලය බරපතලයි. දත් දියවීමෙන් පටන් අරන් මරණය දක්වා මෙහි ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මේ වසංගත උවදුර තේරුම් ගනිමින් මත්ද්‍රව්‍ය උවදුර තහනම් මත්ද්‍රව්‍ය ගොන්නට එකතු කිරීමට කටයුතු කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍යතුමන්ට අපේ ප්‍රණාමය පුද කරනවා.



අපි හැමදාම සිහින දැක්කේ ලංකාව ආසියාවේ නාවික කේන්ද්‍රය වාණිජ කේන්ද්‍රය වෙනවා දකින්න.  මහින්ද ජනපතිතුමා 2010 දී පොරොන්දු වුණා පංච බල කේන්ද්‍රයක් බවට ලංකාව පත් කරන්න. ඒ පහ කෙසේ වෙතත් ලංකාව දැන් වේගයෙන් ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට නම් පත් වෙමින් තිබෙනවා. අවාසනාවට අපේ ආදරණීය රටවිරුවන් තමන්ගේ නොදන්නාකමින් ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියට දායක වෙමින් ඉන්නවා.



අද මත්ද්‍රව්‍ය ගෙන්නන කෙනෙකුට වෙනත් භාන්ඩයක් ආනයනය කරන ආකාරයට බැංකුවක් හරහා සල්ලි ටීටී කරලා එල්සී ඇරලා මත්ද්‍රව්‍ය ගේන්න බෑ. මත්ද්‍රව්‍ය තොගය හොර රහසේ රට ඇතුළට එව්වත් ඒකට ගෙවීම විදිහට ඩොලර් ලබාගන්න ක්‍රමයක් නැහැ. ඩොලර් කළු කඩෙන් විතරයි මත්ද්‍රව්‍ය ජාවාරමට අවශ්‍ය ඩොලර් ගන්න පුළුවන්. අපේ ඩොලර් කළු කඩේ බොහොම පුංචියි. ඒ නිසාම බැංකුවක් ඩොලරයට ගෙවන ගානයි කළු කඩේ ගානයි අතර තිබුණේ රුපියලක දෙකක වෙනසක්.


රුපියල 203 ට අල්ලා ගෙන ඉන්න ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව !

2020 දී රුපියල 203 ට අල්ලා ගෙන ඉන්න ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව නිසා කළු කඩේ ව්‍යාප්ත වෙන්න  ගත්තා. අපේ විදෙස් ගත ශ්‍රමිකයින් වැඩි වාසියට ගණනක් ගෙදරට එවන්න බැංකු අත් හැරලා කළු කඩේ තෝරා ගත්තා. කළු කඩේට යහමින් ඩොලර් ලැබුණා. මෙතෙක් කල් කළු කඩේ පුංචි නිසා මත්ද්‍රව්‍ය ජාවාරම ද තිබුණේ පුංචියට. නමුත් කළු කඩේ ව්‍යාප්ත වෙන්න ව්‍යාප්ත වෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වෙලා තියෙනවා.

අපේ ශ්‍රමිකයින් තමන් ඉන්න රටේ කාට හරි විදේශ විනිමය දුන්නාම ලංකාවේ කෙනෙක් ගෙදරටම ඇවිල්ලා රුපියල් දීලා යනවා. ඒ විතරක් නොවේ. දැන් සේවය ඉතාම දියුණුයි. අද උදේ තමන් ඉන්න රටේ කෙනෙකුට ඩොලර් භාර දුන්නාම පැයක් ඇතුලත ලංකාවේ ඉන්න අම්මාට දුරකතන ඇමතුමක් එනවා. අම්මාගේ බෙහෙත් තුණ්ඩුවයි ගෙදරට මාසයකට කඩෙන් ගන්න තිබෙන බඩු ලැයිස්තුවයි වට්ස්ඇප් කරන්න කියනවා.

ඊට පස්සේ හවස් වෙන විට බෙහෙත් ටිකයි බඩු තොගයයි ඉතිරි සල්ලියි අරගෙන කෙනෙක් ගෙදරට එනවා. එයා අම්මාට ඉතිරි සල්ලි භාර දීලා රිසිට් එකක් අත්සන් කරගෙන අම්මා එක්ක සෙල්ෆියකුත් ගහලා බිල් රිසිට් සමග අම්මා එක්ක ගත්තු සෙල්ෆිය සල්ලි දාපු කෙනාට වට්ස්ඇප් කරනවා. මේ තරම් කාර්යක්ෂම බැංකු සේවාවක් ලෝකයේ වෙනත් කිසිම රටක නැතුව ඇති. අම්මා බැංකුවේ පෝලිමේ ඉන්න ඕන නැහැ. ෆාමසියේ පෝලිමේ ඉන්නත් ඕන නැහැ. ඊටත් පස්සේ බඩු ගන්න කඩවල් ගණනේ රස්තියාදු වෙන්න ඕනත් නැහැ. එහෙම බලන කොට මේ ක්‍රමය වාසියි ලෙහෙසියි දෙකම තිබෙනවා.  



මේක නිසා විශාල වශයෙන් අද ඩොලර් කළු කඩ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඩුබායි විතරක් නෙමෙයි ඉතාලිය කොරියාව ජපානය වගේ රටවල ඉන්න ලාංකිකයෝ සාතිශය බහුතරයක් මුදල් එවන්නේ මේ ක්‍රමයට. එහි අවසාන ප්‍රතිඵලය තමයි අද ලංකාව මත්ද්‍රව්‍ය ආනයන අපනයන මධ්‍යස්ථාය නැත්නම් මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත්වෙලා තියෙනවා.  



''මුහුණත් එක්ක තරහ ට නහය කපාගෙන හරියන්නේ නැහැ ''

අපේ රටේ සමහර මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් කියනවා ලංකාවට ඩොලර් එවන්න එපා කියලා. ආණ්ඩුවත් එක්ක අපිත් තරහක් තියෙනවා. හැබැයි මුහුණත් එක්ක තරහ ට නහය කපාගෙන හරියන්නේ නැහැ. දැන් ඩොලර් එවන්න එපා කියලා අපේ ඇතැම් මන්ත්‍රීතුමන්ලා පිටරට ඉන්න අයට කිව්වට ඒ අයගේ ලංකාවේ අයට ජීවත් වෙන්න සල්ලි නැතුව බැහැ. ඒ නිසා බැංකු හරහා වෙනුවට කළු කඩයෙන් වැඩි වැඩියෙන් ඩොලර් එවන්න මේ අය පෙළඹිලා තියෙනවා. ඒ නිසාම මේ මත්ද්‍රව්‍ය ජාවාරම වඩ වඩාත් ව්‍යාප්ත වෙලා තියෙනවා.

අපේ ආදරණීය රටවිරුවන්ට මත කරන්න අවශ්‍යයි එක පැත්තකින් ඔබේ දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා නම් රටේ බැංකු පද්ධතියට රටට අවශ්‍ය බේත් ටික ගේන්න බැරුව ඔබේ දෙමව්පියන්ට  මිය යෑමේ අවදානමකට ලක්වෙන්න වෙනවා නම් තමන්ගේ එවන ඩොලර් වලට රුපියල් කීපයක් වැඩියෙන් ලැබිලා ලැබෙන වාසිය ප්‍රයෝජනය මොකක්ද කියලා   හිතනන්න.  

 ඒ වගේම දේශපාලකයින්ගේ අනුග්‍රහය නැතුව සහ පොලිසියේ සහයෝගය නැතිව මත්ද්‍රව්‍ය ජාවාරමක් පවතින්න බෑ. ලෝකේ ඕනෑම රටක් සම්බන්ධයෙන් ඒකයි තිත්ත ඇත්ත. ''

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්