ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හෙට දිනයේ දී තරඟාවලියක් අතරතුර ඕස්ට්‍රේලියාවේ බැංකුවක්

මංකොල්ලකෑමේ චෝදනාවක් එල්ලවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්ඩ් එක ඔහු වෙනුවෙන් පෙනී සිටිනවාද?


ධනුශ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අනිවාර්යෙන්ම මෙම වර්ෂය (2022) සඳහා ගිවිසුමකට ඇතුළත්ව තිබිය යුතු ය. ඊටත් වඩා ටී-ටුවෙන්ටි ලෝක කුසලානය (T20 World Cup)  සඳහා සංචාරය කිරීමට පෙර තවත් සේවා ගිවිසුමකට අත්සන් කර තිබිය යුතු ය. මේවා නිසැක වශයෙන්ම නිශ්චිත කාලයක් සඳහා ඇතුන්‍දා වන සීමිත අරමුණු සහිත Contract for Employment විය යුතු ය. අප දන්නා තරමින් මෙම ගිවිසුම් වසරින් වසරට අලුත් කරන ගිවිසුම් වේ. අවශ්‍ය නම් මේ වසරේදී ධනුශ්කගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ලබාගෙන, ඉදිරි වසර සඳහා ලබානොගෙන සිටීමටත් මෙවැනි ගිවිසුම් හරහා හැකියාව තිබේ.

මීට සාපේක්‍ෂව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකරන ගණකාධිකරුවෙක් වැනි ස්ථිර සේවකයෙක් ගතහොත් ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඇතුන්‍දා වෙන්නේ Contract for Employment වේ. එවැනි සේවකයෙකු තමාගේ ධුර කාලය අවසන් වන තුරු (අවුරුදු 55 ක් පමණ) එම සේවා ස්ථානයේ රැඳී සිටී. එවන් සේවකයෙකු වසරින් වසර ගිවිසුම්ගත නොවේ. එම සේවය ස්ථිර සේවයකි. එවන් සේවකයෙකු ඉවත් කිරීමත් සුලු පටු ක්‍රියාවක් නොවේ. එවන් සේවකයෙකු ඉවත් කල විට ඔහුට කම්කරු උසාවියේ නඩු පවරා නැවත සේවයේ පිහිටුවා ගැනීමටත් හැකියාව ඇත.

ඒ අනුව බැලූ කල ධනුශ්ක ගුණතිලක තනි පුද්ගලයෙකු ලෙස විශාල වටිනාකමක් ඇති අයෙකු වුවත්, ගිවිසුම් නීතිය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඕනෑම අවස්ථාවක අත්හැර දැමිය හැකි, එතරම් නීතිමය බැඳිමක් නොමැති, ශ්‍රී ලංකා ක්‍රිකට්හී අභ්‍යන්තර කොටසක් නොවන අයෙකි. (not an integral part) නමුත් මා ඉහතකී ගණකාධිකාරිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට්හී අභ්‍යයන්තර සේවකයෙකු වන අතර ඔහු විසින් තම රාජකාරිය අතරතුර සිදු කරනු ලබන යම් ක්‍රියාවකට ශ්‍රි ලංකා ක්‍රිකට් වගකීමට බැඳී සිටී.



ඒ කෙසේ වෙතත්, ධනුශ්ක හෝ වේවා, ඉහතකී ගණකාධිකාරීවරයා හෝ වේවා තම සේවා ස්ථානයේදී හෝ එයින් පරිබාහිරව සිටින අවස්ථාවක කාන්තාවක් දූෂණයට ලක් කිරීමට උත්සාහ ගතහොත් එයට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ගිවිසුම්ගත වගකීමක් නොමැත. ධනුශ්ක හෝ වේවා, ඉහතකී ගණකාධිකාරීවරයා හෝ වේවා තමන්ගේ සේවය අතරතුරුදී හෝ ඉන් පිටතදී යම් කිසිවෙක්ගේ දිවි හානි කිරීම, යම් අයෙකුට පහරදීම, යම් අයෙකුගෙන් මුදල් ලබාගෙන එම අයට වංචා කිරීම, තමන් නිවසට යමින් සිටියදී බැංකුවක් මංකොල්ල කෑම, ආදිය මෙන්ම එම අය හට දිසා අධිකරණයේ පවතින ඉඩම් නඩුවක් වෙනුවෙන් හෝ පෙනී සිටීමට හෝ ඒ සඳහා වන නීතීඥවරුන් සපයා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු වගකීමක් නොමැත.

 

මා විසින් ඉහත දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට්හී අභ්‍යන්තරයේ ස්ථිරව රැකියා කරන ගණකාධිකාරවරයෙකු මේ සඳහා උදාහරණ සඳහා ලබාගත්තේ, එකී ගණකාධිකාරිවරයා යම් කිසි අවස්ථාවකදී අපරාධ චෝදනාවකට ලක්වූ විට එය තම සේවය සිදු කිරීමට යාමේදී සිදුවූවක් නම්, ඇතැම් විට එකී චෝදනාවට පිළිතුරු සැපයීමට වන නීතීඥ ගාස්තුවක් හෝ යම් කිසි ගෙවීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිදු කිරීම යම් පමණකට හෝ සාධාර්ණීකරණය කල හැකි නිසාය. මන්ද එම අය ශ්‍රී ලංකා ක්‍රිකට්හී අභ්‍යයන්තර, ස්ථිර සේවකයෙකු වන නිසාය. එසේ වුවද, එවන් අවස්ථාවකදීද, එම ස්ථිර සේවකයා හට සිදු කරන ලබන ගෙවීමක් එම පුද්ගලයාගේ නිර්දෝශීභාවය මත පදනම් කරගෙන ගත යුතු තීරණයකි.

නමුත් ධනුශ්ක ගත් කල, ධනුශ්ක හට ශ්‍රි ලංකා ක්‍රිකට් සමග ඇත්තේ වසරින් වසර අලුත් වෙන ස්ථිර නොවන සේවක ගිවිසුමක් වේ. ඉහතකී ගණකාධිකාරවරයෙකුට සාපේක්‍ෂව ධනුශ්ක වැනි වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් හට එවන් ගිවිසුම් වලට ඇතුන්‍දාවීමේදී අතිවිශාල වේතනයක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ වේ. ක්‍රිකට් ක්‍රීඩාවේන් මුලු ලෝකයේම 7 හෝ 8 ස්ථානයේ පමන සිටින, දෙවරක් ලෝක කුසලානය ලබාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට එවැනි අති විශාල මුදලක් ගෙවීමෙහි කිසිදු වරදක් නොමැත.



ඕස්ට්‍රේලියානු පොලීසියට ධනුශ්ක විසින් ලබාදුන් කටඋත්තරයේ ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට මසකට ඇමරිකානු ඩොලර් 8000 ක් පමණ ක්‍රිකට් ගැසීමෙන් හිමිවන බවයි. එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ විසි අටක් - ලක්‍ෂ තිහක් (2,800,000 - 3,000,000) පමණ වේ. වෙළඳ දැන්වීම් සහ වෙනත් ආදයම් මාර්ග වලින්ද මෙම ක්‍රීඩකයින් හට මුදල් ගාලා එනු ඇත. එය ඉතා හොඳ තත්වයකි. වෘත්තීය ක්‍රීඩකයින් වන මොවුන්ට ඔවුන්ගේ ක්‍රීඩාව හොඳින් සිදු කරගෙන යාමට ශක්තිමත් ආර්ථික පසුබිමක් තිබිය යුතු ය. නමුත්, මෙලෙස වැටුප් සහ වේතන මෙන්ම පහසුකම් සියල්ල සපයාදී තිබියදී, ධනුශ්ක චෝදනාවට ලක්වන්නේ ක්‍රීකට් ගැසීමට ගොස් නොවේ. කාන්තාවක් සමග ලිංගික සම්බඳතාවක් බලෙන් සිදු කිරීමට තැත් කිරීමකට අදාලව ය.



මෙය සහමුලින්ම ධනුශ්ක තමා පුද්ගලිකව සිදු කරන ලද ක්‍රියාවකි. ධනුශ්ක මෙම චෝදනාව සිදු කරනු ලබන කාන්තාව දූශණයට ලක් කලේද, නොකලේද යන්න එරට අධිකරණය විසින් තින්දු කරනු ඇත. කිසිදු පොලිස් ප්‍රකාශයක් හෝ සාක්‍ෂියක් නොමැතිව, ශ්‍රී ලංකාවේ සිට නඩු ඇසීමට අපට බලය නොමැත. යම් හෙයකින් අප විසින් නඩු විභාගය දෙස නොබලා, පූර්ව නිගමනයන් මත පිහිටා එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් පුරෝකථන කිරීම එම අධිකරණ ක්‍රියාදාමයට සිදු කරනු ලබන අපහාසයකි.



බරපතල අනීතික ක්‍රියාවක් !

මෙහිදී ගැටලුව වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ධනුශ්ක හට ඕස්ට්‍රේලියාවේ අධිකරණ ක්‍රියාදාමය සඳහා යන වියදම දැරීමට ඉදිරිපත් වීමයි. මෙය සැබෑවක් නම්, මෙය සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවකි. යම් කිසි පාර්ශවයක් විසින් ශ්‍රී ලංකාවේ හෝ වේවා වෙනත් රටක හෝ වේවා යම් කිසි අපරාධ වරදකට චෝදනා ලැබූ විට එකී චෝදනා ලැබූ අය වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අයිතියක් නොමැත. මන්ද, එකී අපරාධ වරද ශ්‍රී ලංකාවේ සිටියද එම පුද්ගලයා චෝදනා ලබන අපරාධ වරදක් වන නිසාත්, අපරාධ වරදකට අදාලව එවන් ක්‍රීඩකයෙකු වෙනුවෙන් පෙනී සිටිමට මා ඉහත කිවු වසරකට වරක් අලුත් වන සීමිත වගකීමක් සහිත සේවා ගිවිසුමකින් අවකාශය ලබා නොදෙන නිසා ය.

මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, යම් කිසි ගොඩනැගිල්ලක සංවර්ධන කටයුතු සිදු කිරීමට කොන්ත්‍රාත්කරුවෙකු විසින් සේවකයින් බඳවා ගැනීමේදී ඇතැම් ගිවිසුම් වලට එළඹේ. ඒවා බොහෝ විට දෛනික හෝ ත්‍රයිමාසික හෝ වාර්ශික තාවකාලික ගිවිසුම් වේ. එවන් සේවකයින් පිරිසක් විසින් සේවය අවසන්වූ රාත්‍රී කාලයේදී තම සේවා ස්ථානයට කාන්තාවක් බලෙන් කැඳවාගෙනවිත් දුෂණය කර ඇති බවට චෝදනා ලැබූ අවසථාවකදී, ඉහතකී ගොඩනැගිල්ල නිර්මාණය කරනු ලබන ආයෝජකයා විසින් එකී දූශණ චෝදනා ලැබ සිටින කාමාතුරයන් වෙනුවෙන් පෙනී සිට නඩු කටයුතු සඳහා මුදල් ගෙවිය යුතු ද යන්න යි. එසේ සිදු නොකල යුතු බවට හය හතර නොතේරෙන කුඩා දරුවෙකුට වුවද වැටහේ. නමුත් එකී කම්කරුවන්ට නොසපයන මූල්‍යමය පහසුකම එකී කම්කරුවන් හා සමාන ගිවිසුමක් සහිත ධනුශ්ක ගුණතිලක හට ලබා දෙන්නේ මන්දැයි අප විසින් ප්‍රශ්න කල යුතු වේ.



ධනුශ්ක ගුණතිලකගේ සිද්ධියේදී හරි නම් අප විසින් කල යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වියදම් කරගෙන අපිද ගොස් ඕස්ටේලියාවේ අධිකරණයට සහය දීමයි. එයට අප රටේ නීතිපතිතුමා හට අධිකරණකරණ සහයෙකු (amicu curiae) ලෙස නියෝජිතයෙකු යොමු කල හැකි වේ. නීතියේ වෙනස්කම් තිබුනද ධනුශ්ක චෝදනා ලබා ඇති ස්ත්‍රී දූෂණය යන්න අප නීතිය යටතේද වරදකි. එය ශ්‍රී ලංකා භූමියේ සිටියේ නම් එම වරදට වසර 20 ක පමණ බරපතල සිරඳඩුවම් හිමිවිය හැකි තරමේ දරුණු අපරාධයකි. අපේ එකා, සිංහල මිනිහා, පොඩි දරුවා, රට නියෝජනය කරපු එකා, දෙමව්පියන් දුප්පත්, මගේ ආසම ක්‍රීඩකයා, ඒ කෙල්ල පත්තිනි අම්මා කෙනෙක් නෙවෙයිනේ වගේ බොළඳ පුහු කතා වලින් අපරාධයේ දිග පළල වැසිය නොහැක.



ධනුශ්ක රට නියෝජනය කර මෙම අවස්ථාවට සම්බන්ධ වුන නිසා අප විසින් තදින්ම නීතිය ක්‍රියාත්මක කල යුතු ය. උදාහරණයක් ලෙස රජයේ නිළධාරියෙකු තම රාජකාරිය අතරතුරදි (ක්‍රිකට් ලෝක කුසලානය අතුරතුරදි මෙන්) අපරාධ වරදක් කිරීමෙන් පසුව, පුද්ගලික පාර්ශවයක් විසින් එකී රජයේ නිළධාරීයට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික නඩුවක් එම රජයේ සේවකයාට විරුද්ධව ගොනු කල අවස්ථාවකදී නීතිපතිවරයා හට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 191(2) වගන්තිය ප්‍රකාරව අවශ්‍ය නම් එම නඩුවේ පැමිණිල්ලට බලෙන් පෙනී සිට එකී රජයේ නිළධාරීයාට විරුද්ධව පෙනී සිට එම තැනැත්තා හට දඩුවම් නියම කරවා ගැනීමට වුවද රජයට හැකිය. එයින් කියවෙන්නේ අපරාධ නඩුවකදී අප නීතියෙන් කිසිදු සමාවක් හිමි නොවන බවයි. එය තමාගේම අයෙක් වන විට අප නීතීය තවත් දරුණු වේ.

මෙවන් අවස්ථාවකදී රජය (රජයේ අධිනීතීඥ) නඩුවට සහභාගී වන්නේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවීමට මිස අපරාධකරුගේ පාර්ශවයට නොවේ. එවන් පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් රට නියෝජනය කිරීමට ගොස් අපරාධයකට චෝදනා ලැබූ අයෙක් වෙනුවෙන් මුදල් යොදවා පෙනී සිටීමේ තර්කය කුමක්දැයි මා හට අවබෝධ නොවේ. ඔවුන් දක්වන එකම තර්කය වන්නේ, ලෝක කුසලාන තරගය අතර තුරදී එම ක්‍රීඩකයාගේ සේවය ලබාගනිමින් සිටියදී මෙම සිදුවීම සිදුවූ බැවින් මෙලෙස පහසුකම් සපයන බවයි.


මෙය ඉතා භයානක පූර්වාදර්ශයකි

මට මේ අවස්ථවේද දැනගැනීමට අවශ්‍ය වන්නේ, ධනුශ්කලා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ සිට සිඩ්නි ක්‍රීඩාංගනය දක්වා පැමිණෙන අවස්ථාවේදී රජයේ බැංකුවක් මංකොල්ලකෑමට ඔවුන් කටයුතු කලේ නම් තම සේවය සපයමින් සිටියදී සිදු කරන ලද අපරාධයක් හේතුවෙන් එකී බැංකු මංකොල්ලයෙන් බේරාගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එම ක්‍රීඩකයින්ට උදව් කරනු ලබන්නේද යන්න යි. මෙය ඉතා භයානක පූර්වාදර්ශයකි. මෙලෙස අපරාධ වැරදි වලට චෝදනා ලැබූවන් වෙනුවෙන් අමු අමුවේ මූල්‍යමය සහ වෙනත් සහය ලබාදීමෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් ඉදිරියේදී බිහිවන ක්‍රීඩකයින්ට ලබාදෙන පණිවුඩය වන්නේ, ඕනෑම අපරාධ චෝදනාවකට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මූල්‍යමය අනුග්‍රය ලබාදෙන බවයි.

 

අනෙක් අතට මෙහි ඇති බරපතලම ගැටලුව වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ලංකාවේ සිට නඩුව විමසා, ධනුශ්කට එදිරිව ඇති නඩුවේ දුර්වලතාවය සම්බන්ද පූර්ව නිගමනයකට පැමිණ ඒ මත පිහිටා දිනන නඩුවක් ඇති නිසා අප විසින් ධනුශ්ක හට පහසුකම් සපයන බවට තීන්දු කිරීමයි. පවතින නඩුවක, පරීක්‍ෂණවත් අවසන්වී නොමැති තත්වයක් තුළ මෙලෙස පූරෝකතනයන් සිදු කරන්නේ කෙසේද? එලෙස දිනන නඩුවක් තිබෙන නිසා ධනුශ්ක වෙනුවෙන් අප වියදම් කරනවා යැයි දක්වන්නේ නම් එය ඉතා මුග්ධ ක්‍රියාවකි. ඕස්ට්‍රේලියා අධිකරණයෙන් ධනුශ්කට එරෙහිව දෙනු ලබන තීන්දුව කවරේද යන්න අප හට ශ්‍රී ලංකාවේ සිට අංජනම් බලා කිව නොහැක. තවම එකුදු දිනයක් හෝ නඩු විභාගය පවත්වා නොමැත. ඇම්බර් හර්ඩ් සහ ජොනී ඩේප්ගේ නඩුවේද, නඩුවට පෙර මාධ්‍ය මගින් ජොනී ඩෙප්ව දඩුකඳේ ගසා තිබුනි. නමුත් අවසානයේදී ඇම්බර් හර්ඩ් වැරදිකාරියවී ජොනී ඩෙප් නිවැරදිකරු විය. නඩු තීන්දු එසේය. ඊටත් වඩා ධනුශ්ක අහිංසකයි, නිවැරදියි යනුවෙන් මෙලෙස පාරම්බාමීන් සිදිකරනු ලබන හැසිරීමෙන් අප සිදු කරන්නේ තවත් ශිෂ්ඨසම්පන්න රටක නඩු ඇසීමේ ක්‍රියාවලිය අපහාසයට ලක්කීරීමකි.



යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ධනුශ්කට එල්ලවී ඇති අපරාධ චෝදනාවට මුදල් වැය කිරීමට කටයුතු කරන්නේ නම් එයට එම මණ්ඩලයේ අධ්‍යක්‍ෂකවරුන්ගේ අවසරය ලබාගත යුතු වේ. යම් හෙයකින් තමන් ගිවිසුමකින් බැඳී නොසිටින ක්‍රියාවක් සඳහා ක්‍රීකට් මණ්ඩලය විසින් අනීතික ලෙස යෝජනාවක් අනුමත කරවා ගතහෝත් එයට විරුද්ධව දිසා අධිකරණයට ගොස් වාරණයක් ලබා ගැනීමට හැකි බවටද පාඨකයාට දන්වනු කැමැත්තෙමි.

අවසන් වශයෙන් අප ඉල්ලා සිටින්නේ, දැන්වත් ගෝත්‍රිකයින් ලෙස නොහැසිරී, නීතියක් සහ විනයක් ඇති රටක් බවට ලෝකයට පෙන්වන ලෙසයි. සත්‍ය දැනගැනීමට ඕස්ට්‍රේලියානු අධිකරණයට අපගේ සහයෝගය ලබාදෙන ලෙසයි. අපරාධයකට චෝදනා ලැබුවෙකු ඕස්ට්‍රේලියාවේදී ආරක්‍ෂා නොකර අප රටේ ආත්ම ගෞරවය ආරක්‍ෂා කර දෙන ලෙසයි. මන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් යම් හෙයකින් ධනුශ්ක වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කලහොත් ඕස්ට්‍රේලියානුවන් පවසන්නේ අපරාධරුවෙකු හට අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වන ආයතනය පෙනී සිටීය බවයි. එය නීතිගරුක පුරුවැසියන්ට කරන නිගාවකි`

ashan nana(නීතිඥ අශාන් නානායක්කාර)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


he LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්