1200 x 80 DMirror

නිදහස ජනතා සභාව මගින් සකස් කළ ‘නිදහසට පෙරවදනක්’ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන

උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (13) සිදුකෙරිණි.


මෙම උත්සවය ආරම්භ කරමින් පොල්තෙල් පහන් දැල්වූයේ කේ.ආර් සෙව්නි මින්දුලා, ජේ ගීතාංජලී සහ ෆාතිමා රුස්නා යන සිංහල, දමිළ හා මුස්ලිම් ජාතීන් නියෝජනය කරන පාසල් ශිෂ්‍යාවන් තිදෙනෙකි.


‘නිදහසට පෙරවදනක්’ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම යන ප්‍රකාශන ද්විත්වයෙහි පළමු පිටපත් ද ‘වර්තමානයෙන් අනාගතයට දායාද කිරීම’ සංකේතවත් කරමින් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පිළිගැන්වීමට කටයුතු යොදා තිබිණි.


ඒ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් අතින් රුහුණු වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලබන කවිඳු මොරායස් ශිෂ්‍යයාට සහ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යාපනය ලබන නිසංසලා ප්‍රියංගනී, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විනූ විද්‍යාරත්න, කොළඹ නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ක්‍රිෂ්ණා රාජිනී යන ශිෂ්‍යාවන් වෙත එම ප්‍රකාශයනයන් පිළිගන්වනු ලැබිණි.


නැදගමුවේ විජයමෛත්‍රී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නා හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරුන් වෙත සහ පැමිණ සිටි දේශපාලනඥයින් වෙත එය පිළිගැන්වූයේ ඉන් අනතුරුවය.


නිදහස ජනතා සභාවේ ෆේස්බුක්, ට්විටර්, ලින්ක්දින්, යූ ටියුබ් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය ජාලා දියත් කිරීම ද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති, ඉංජිනේරු විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු නිදහස ජනතා සභාවේ සාමාජිකයන්ගේ අතින් මෙහිදී සිදුකෙරිණි.


මෙම ප්‍රකාශන එළිදැක්වීමෙන් අනතුරුව එම දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කරමින් මහාචාර්ය චරිත හේරත් ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම පිළිබඳව පැහැදිලි කරමින් මහාචාර්ය නාලක ගොඩහේවා ද මෙහිදී අදහස් දැක්වූහ.


 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්