පුරවැසියාට සැබෑ නිදහස ලැබෙන්නේ ආර්ථික වශයෙන් නිදහස් වූ දාට පමණක් බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.



නිසි සැලස්මකට වැඩ කලොත් මෙරට ආර්ථිකය ගොඩගැනීම අසීරු කටයුත්තක් නොවන බව පවසන නාලක ගොඩහේවා, ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අරගලයේ ක්‍රියාකාරී තරුණ තරුණියන්ට ආරාධනය කර සිටියි.  


ඔහු එවැනි ආරාධනයක් සිදුකරනු ලැබුවේ, නිදහස ජනතා සභාවේ 'ආර්ථික සහ දේශපාලන සංකල්පීය රාමුව' පත්‍රිකා යුගලය එළිදැක්වීම වෙනුවෙන් දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් ශාලා පරිශ්‍රයේදී ඊයේ (13) පැවති උත්සව සභාව අමතමිනි.


නිදහස ජනතා සභාවේ 'ප්‍රතිසංස්කරණ හා ආර්ථික ප්‍රතිසංස්කරණ' කමිටු දෙකේ සභාපතිවරුවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාරය චරිත හේරත් යන දෙදෙනාම මෙම උත්සව සභාව අමතමින් සිය පක්ෂයේ 'ආර්ථික සංවර්ධනය සඳහා උපායමාර්ගික සැලැස්ම' පිලිබඳ ස්ථාවරයන් පැහැදිලි කළේය.

 

" ඕනෑම සාර්ථක ආර්ථිකයක කොඳු නාරටිය වන්නේ පුද්ගලික ව්‍යවසායකයත්වයයි. අද අපට අවශ්‍යව ඇත්තේ සැමට සමාන අවස්ථා ලබා දෙන උත්සාහවන්තයාට තරඟ කොට දියුණු විය හැකි සැබෑ ආර්ථික නිදහසක්. කෙසේවෙතත් අපි ක්‍රියාත්මක කරනා ආර්ථික සංවර්ධන වැඩපිලිවෙල ශක්තිවන්තයා පමණක් ජයගන්නා දුබලයා මගහැරෙන්නක් නොවනු ඇති. එසේම අප ප්‍රමුඛත්වය යොමු කරන්නේ යුත්තේ ජාතික ආදායම වැඩි කරන්නට මිස ජනතාව හා ව්‍යාපාර තලා පෙලා රජයේ ආදායම වැඩි කරන්නට නොවේ. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය සඳහා හොඳම අවස්ථාව පවතින්නේ ගෝලීය වෙළදපොල ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධන මූලෝපායන් තුළය කියා. ඒ නිසා ලංකාවේ සීමිත ශ්‍රම බලකාය, ඉඩම් හා අනෙකුත් සම්පත් හැකිතාක් දුරට අපනයන  ආර්ථිකයක් සඳහා යොමු කල හැකි නම් එය රටට වඩාත් ඵලදායී වෙනවා " යයි ආචාර්ය නාලක ගොඩහේවා පැවසිය.

 

උත්සව සභාව අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා තවදුරටත් මෙසේද පැවසිය.


අඹ ගහකින් ගෙඩි කඩන්නට පුළුවන් ක්‍රම කිහිපයක්....


''අඹ ගහකින් ගෙඩි කඩන්නට පුළුවන් ක්‍රම කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි අඹ ගහට පොලු ගැසීම. ගහන පොලු පාරවල් වලින් සමහර ඒව අපතේ යනවා. ඉදල හිටලා පොලු පාරක් වැදී අඹ ගෙඩි කිහිපයක් බිමට වැටෙනවා.


බොහෝ විට අපේ රටේ  ආර්ථිකය කලමණාකරනය වෙන්නෙත් අඹ ගහට පොලු ගහන ක්‍රමයටයි. මොනවා හරි කරලා මොනවා හරි ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි අපේ රටේ ආර්ථිකය අයාලේ යන්නේ.


අපට අවශ්‍ය ගහේ තිබෙන අඹ ගෙඩි සියල්ලම පහසුවෙන් හා කඩිනමින් කඩා ගන්නනම් ඒ සඳහා වඩාත් හොඳ විසඳුමක් වන්නේ ගහේ ඕනෑම අඹ පොකුරකට ලඟාවෙන්න පුලුවන් විදියට හොඳට දිග තිබෙන කෙක්කක් සාදා ගැනීමයි.


ආර්ථිකය සංවර්ධනය සඳහා උපාය මාර්ගික සැලස්මක් සකස් කර ගැනීම මේ දෙවෙනි විසඳුම හා සමානයි.

 

උපාය මාර්ගික සැලැස්මක් සකස් කරනා විට අවධානය යොමු විය යුතු ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. මුලින්ම යා යුතු තැන තීරණය කිරීම, දෙවනුව දැන් සිටින තැන නිවැරදිව හඳුනා ගැනීම, තුන්වෙනුව දැන් සිටින තැන සිට අවසාන ඉලක්කය කරා යාමට සුදුසුම මාර්ගය තෝරා ගැනීම

 

මට මතක ඇති කාලෙක මම නම් දැකලා නෑ අපේ රටේ රාජ්‍ය නායකයෙක් හෝ පක්ෂයක් ආර්ථිකයට ඉලක්කයක් ඉදිරිපත් කරනවා. ඒකටත් දේශපාලනික හේතුවක් තියෙනවා. ලොකු ඉලක්කයක් දීලා ඒක අත් කරගත්තේ නැත්නම් කොච්චර හොඳට වැඩ කරලා තිබ්බත් මිනිස්සු බනිනවා.


කොතනටද අපි යා යුත්තේ ?


කොතනටද අපි යා යුත්තේ ? නිදහස් ජනතා සභාව විදියට අපි රටට යෝජනා කරනවා ජාතිකක් වශයෙන් එක්වෙලා වසර 10 ක් තුල අපේ ඒක පුද්ගල ආදායම දෙගුණ කරන ඉලක්කයකට යමු කියලා. අභියෝගාත්මක ඉලක්කයක්. නමුත් උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑ.  ඒ නිසා බෑ කියා පටන් ගන්නේ නැතුව පුලුවන් කියා පටන් ගමු කියා අපි යෝජනා කරනවා.


දැන් අපි සිටින  තැන කුමක්ද ? ඒකනම් අපි හැමෝම දන්නවා. අපි ඉන්නේ බංකොලොත් වූ රටක. 2022 වසරේ පුරෝකතනය වී ඇති ආර්ථික වර්ධන වේගය  ඍණ 8.4 යි. රාජ්‍ය වියදම රාජ්‍ය ආදායම මෙන් දෙගුනයක්. රාජ්‍ය ණය දල ජාතික නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 130% ඉක්මවනවා. රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 10 ක් ලෝකයට ණයයි. විදේශ සංචිත එක මාසයක ආනනයනයටවත් ප්‍රමානවත් නෑ. පොලී අනුපාත 30% ඉක්මවලා, බදු බර අහස උසට, උද්ධමනය 70% ක පමන වෙනවා. ජනගහනයෙන් 50% කට තුන් වෙල කන්න නෑ. තරුණ රැකියා වියුක්තිය 25% ඉක්මවලා.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආර්ථිකය අර්බූදයක.

 

දැන් තියෙනන්නේ ඉදිරියට යන පාර සොයා ගැනීමයි. ඒ සඳහා මුලින්ම ලෙඩේ සනීප කරගන්න අවශ්‍යයි. ලංකාවේ ආර්ථික අර්බූධය කියන ලෙඩේට බෙහෙත් කරන්න පුළුවන් රෝග නිධානය හඳුනාගත්තොත් පමනයි. හුඟක් අය රෝග නිධානෙ‍යි රෝග ලක්ෂණයි පටලවා ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ණය බර කියන්නේ රෝග ලක්ෂණයක්. ඒක රෝගය කියල පටලවා ගත්තොත් ලෙඩේ හොඳ කරන්න බෑ. වර්ථමාන ආන්ඩුව හිතන් ඉන්නේ ණය තමයි රෝග නිධානය කියලා. ඒ ගැනමයි කතා කරන්නේ. විසඳුම් හොයන්නේ. ආන්ඩුවට වැරදිලා තියෙන්නේ එතැනයි.

 

සැබෑ රෝග නිධානය මොකද්ද ?


එහෙනම් සැබෑ රෝග නිධානය මොකද්ද ? අපට මූලික ගැටලු දෙකක් තියෙනවා විසදන්න. එකක් කාලයක් තිස්සේ අපට අඩු කරගන්න බැරි වෙලා තියෙන අයවැය පරතරය. කොටින්ම කියනවා නම් රාජ්‍ය වියදම රාජ්‍ය ආදායමට වඩා වැඩි වීම. දෙවෙනි එක කාලයක් තිස්සේ අපට පාලනය කර ගන්න බැරුව ඉන්න ගෙවුම් ශේෂ හිඟය. එහෙමත් නැත්නම් ලංකාවට එක විදේශ විනිමයට වඩා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවෙන් පිට වීම.


එහෙමනම් විසඳුම තුලින් බලා පොරොත්තුවන ප්‍රතිපලයේ ප්‍රධාන කොටස් හතරක් තිබෙනවා.  


# රාජ්‍ය වියදම වැඩි කර ගැනීම,
# රාජ්‍ය වියදම  පාලනය කර ගැනීම,
# විදේශ විනිමය රට තුලට ගලා ඒම වැඩි කර ගැනීම,
# විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කරගැනීම

අපිට අවශ්‍ය මේ අර්බූධයෙන් ගොඩ ඒම පමනක් නොවේ අපට අවශ්‍යයි ආර්ථිකයේ ඉදිරි පිම්මක් පනින්නට.


වසර 10 ක් තුල ඒක පුද්ගල ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයකට යන්නට නම් අපි ඉදිරි දශකය තුල දල වශයෙන් 7% ක වර්ධන වේගයක් පවත්වාගෙන යා යුතුයි. මෙය කල නොහැක්කක් නොවේ. කලාපයේ රටවල් ගනනාවක් දශකයකට ආසන්න කාලයක් 7% කට වඩා ඉහල වර්ධන වේගයක් පවත්වාගෙන යන්නට සමත් වෙලා තිබෙනවා. ඔවුන් එසේ කලේ ආර්ථිකය සක්‍රීය කිරීමෙනුයි.


එසේ නම් අපේ රටේත් ආර්ථිකය සක්‍රීය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා.  


කරුණු 10 ක උපාය මාර්ගික සැලස්මක් !


ඒ සඳහා  අපි කල යුතු දේවල් රැසක් අපි අද ඔබට මේ ඉදිරිපත් කොට ඇති උපාය මාර්ගික සැලස්ම තුල තිබෙනවා. කාලය සීමිත නිසා ඉන් ප්‍රධාන කරුණු 10 ක් ගැන පමනක් මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.


ආර්ථිකය සක්‍රීය කරන්න නම් මුලින්ම කල යුතු දෙයක් විදියට මම දකින්නේ ව්‍යවසායකත්වය දිරිගැන්වීම හා වෙළද පොල තරඟකාරීත්වයට ඉඩ දීමයි

 

වර්තමාන ලෝකයේ සංවර්ධිත යැයි සැලකෙන සෑම රාජ්‍යයක්ම පාහේ අවබෝධ කර ගෙන ඇති ප්‍රායෝගික සත්‍යය තමයි ආර්ථික සංවර්ධනයට පෞද්ගලික ව්‍යවසායකත්වය තීරණාත්මක වශයෙන් වැදගත් බව. ඕනෑම සාර්ථක ආර්ථිකයක කොඳු නාරටිය වන්නේ පුද්ගලික ව්‍යවසායකයත්වයයි. මීට වසර 45කට පමණ පෙර ශ්‍රී ලංකාව මෙරට ආර්ථිකය විවෘත කලත්, මේ දක්වා සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව වැනි රටවල් විසින් අත් පත් කරගත් සාර්ථකත්වයට ලංවීමට අපි සමත් වෙලා නෑ. එයට හේතුව විවෘත ආර්ථිකය යන නමට මුවාවී දූෂිත හා ගජමිතුරු ආර්ථිකයක් පවත්වාගෙන ගියා මිස කිසිම රජයක් තරඟකාරී  ව්‍යවසායකත්වයට සැබෑ නිදහස නොදීමයි.

 

ලංකාවේ වැඩකරන ජනගහනයෙන් ව්‍යවසායකයන් ඉන්නේ 2.6 % ක් පමන සුළු ප්‍රමාණයක්. මෙය ලෝකයේ අනෙක් ආසියානු රටවලට සාපේක්ෂවත් ඉතා සුළු ප්‍රතිශතයක්. දරුවන් පාසැලෙන් හෝ විශ්ව විදාලයෙන් එලියට එන්නේ රස්සාවක් හොයාගෙන. විශ්ව විද්‍යාල කිහිපයකම ව්‍යාපාර කලමණාකරනය උගන්නනවා. නමුත් ඒවායෙන් බිහිවෙන උපාධිදාරියෝත් බහුතරය හොයන්නේ රැකියා. මෙයට හේතුව ව්‍යවසායකත්වයට අවශ්‍ය ගෞරවය පිලිගැනීම අපි සමාජය තුල ලබා දී නැති  නිසායි.


රජය බූවල්ලෙක් වගේ හැම දෙයක්ම වෙලාගෙන....


අපේ රටේ අද ව්‍යාපාරයක් කිරීම ඉතා දුෂ්කර කාර්යයක්. අදත් රජය බූවල්ලෙක් වගේ හැම දෙයක්ම වෙලාගෙන. නීති හා රෙගුලාසි යාවත්කාලීන වෙලා නෑ. හැම දේටම රජයේ අනුමතිය ඕනේ. ඒත් නිලධාරියෙකුට හෝ දේශපාලනඥයෙකුට අල්ලස් නොදී අනුමැතියක් ගන්න බෑ. ව්‍යවසායකයන්ට උදව් කරන්න ප්‍රාග් ධන වෙළඳපොල දියුණු වෙලා නෑ. දේපලක් උගසට නොතියා කුඩා ව්‍යාපාරිකයෙකුට ණයක් ගන්න බෑ. ණයක් ගත්තත් පොලිය දරා ගන්න බෑ.  සාධාරණ ව්‍යපාරයක් කරන්නට කිසිම ඉඩක් නෑ. හැම පැත්තෙන්ම වියදම ඉහල ගොසින්. ලාබයක් ලැබුවත් ඉන් විශාල ප්‍රමාණයක් බදු ගෙවන්න වෙනවා. රාජ්‍ය ආදායමෙන් බදු ගෙව්වත් නිලධාරියෝ ව්‍යාපාරිකයන්ට සලකන්නේ හොරු විදියටයි. 

 

මේ තත්වය වෙනස් කල යුතුමයි. ඒ නිසා අපි යෝජනා කරනවා ලංකාවේ  ආර්ථිකය ගොඩ ගෙන යලි වේගවත් සංවර්ධන මාවතකට යොමු කිරීමට නම්  පෞද්ගලික ව්‍යවසායකත්වයට උත්තේජනයක් ලබා දී වෙළඳපොල තරඟකාරීත්වය සඳහා උපරිම වශයෙන් ඉඩ ප්‍රස්ථා විවෘත කල යුතුය කියා. ව්‍යවසායකත්වය ගැන තිබෙන සමාජ ආකල්ප වෙනස් කිරීමෙන් පටන් ගෙන, රාජ්‍ය යාන්තරණය තුල ව්‍යවසායකයාට අවශ්‍ය ගෞරවය ලබා දිය දෙන්නට අපි කටයුතු කල යුතුයි.  වෙළඳපොල සීමා ලිහිල් කොට , සාධාරණ තරඟකාරීත්වයට මග විවෘත කොට  ව්‍යවසායකයාට සැබෑ නිදහස ලබා දීම රජයේ ඉහලම ප්‍රමුඛතාවය විය යුතුය.

 

රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණය කිරීමේ අවශ්‍යතාව..



smart city

දෙවෙනුව මම සඳහන් කරන්න කැමතියි රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණය කිරීමේ අවශ්‍යතාව ගැන. රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය අතින් අපි අනික් රටවලට සාපේක්ෂව ඉන්නේ ඉතා පිටුපසින්. අවුරුදු 16 ක් තිස්සෙ අපි අපේ පුරවැසි හැඳුනුම්පත ඩිජිටල්කරණය කරගන්න බැරුව ලත වෙනවා. රටේ තීන්දු තීරණ ගන්න උදව් වන දත්ත පද්දතියක් නෑ. කිසිම රාජ්‍ය ආයතනයක් තවත් ආයතනයක් සමඟ තොරතුරු බෙදාගන්නේ නෑ. හැම ආයතනයට වෙන වෙනම ග්‍රාම සේවක සහතික ඇරන් යන්නට ඕනේ. හැම අනුමැතියකටම පුද්ගලිකව නිලධාරීන් හමු වෙන්න ඕනේ. රට සංවර්ධනය කරන්න නම් මෙය වහාම වෙනස් විය යුතුයි.

 

ඒ අනුව කෙටි කාලයක් තුල ලංකාවේ සෑම රාජය දෙපාර්තුමේන්තුවක්ම, සෑම රාජ්‍ය ආයතයක්ම, පලාත් පාලන ආයතනයක්ම, පලාත් සභාවක්ම සම්පූර්ණයෙන් ඩිජිටල් කරණය විය යුතුයි.  අපි මේ වැඩේ හරියට කලොත් නාස්තිය හා දූෂණය අඩු කිරීමෙන් පමනක් වර්ථමාන රාජය වියදම  අඩු කරන්නට පුලුවන් වගේම රාජ්‍ය ආදායම  වැඩිකර ගන්න පුළුවන්.  ඒ වාගේම අවශ්‍ය කරන රාජය සේවකයන් ප්‍රමාණය අඩුවන නිසා දීර්ඝ කාලීනව ඊටත් වඩා විශාල ඉතුරුවක් ඇති කර ගන්නට පුලුවන්. ඒ වගේම ජනතාවට වඩා කාර්‍යක්ෂම හා පලදායී සේවාවක් ලබා දෙන්නට පුලුවන්. එය ආර්ථික සංවර්ධයට විශාල රුකුලක්. හැබැයි මේ තියන අකාර්යක්ෂම ක්‍රියාවලීන් ඒ විදියටම ඩිජිටල් කරණය කිරීමෙන් පලක් නෑ. පලමුවෙන්ම මේ සියලු ක්‍රියාවලීන් RE Engineer කරන්න ඕනේ. ඒ කියන්නේ අළුතිම හිතන්න ඕනේ. එවිටයි වඩාත්ම කාර් යක්ෂම කිරියාවලිය සාදා ගත හැක්කේ. එසේ වෙනස්ව හිතූ ක්‍රියාවලියයි ඩිජිටල් කරණය විය යුත්තේ.

 

බදු සරල හා මිත්‍රශීලී විය යුතු‍යි...


අපි විශ්වාස කරනවා රජය විසින් ජනතාව හා ව්‍යාපාර මත පනවන බදු සරල හා මිත්‍රශීලී විය යුතු‍යි කියා. බදු බර ඉහල දමනවාට වඩා රජයේ අවධනය යොමු විය යුත්තේ බදු දැල පුළුල් කිරීමටයි. තමන් විසින් ගෙවන්නේ සාධාරණ බදු ප්‍රමාණයක් බවටත් එලෙස ගෙවනා මුදල රජය විසින් පලදායී ලෙස භාවිත කරනා බවටත් බදු ගෙවන්නන් තුල විශ්වාසයක් ගොඩනැගුනොත් ජනතාව බදු ගෙවන්න මැලි වෙන්නේ නෑ.


වර්ථමානයේ රජය බදු එකතුකිරීම කරණ ප්‍රධාන ආයතන තුන වන ආදායම් බදු දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තුමේන්තුව හා රේගුව   ප්‍රතිසංස්කරණයට ලක් කොට බදු එකතු කිරීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කොට කාර්යක්ෂම කල යුතු බව අපේ අදහසයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහාම හඳුන්වා දීම හරියට කලොත් වත්මන් ආර්ථ්ක තත්වයන් යටතේම පවා රාජය ආදායම 50% කින් පමන ඉහල නංවන්නට පුලුවන් කියා අපි විශ්වාස කරණවා. 


ලෝකයේ ඒක පුද්ගල ආදායම ඉහල කුඩා රටවල් සියල්ලම සාර්ථක වී තිබෙන්නේ ගෝලීය වෙලඳ පොල හා ගනු දෙනු කිරීමෙනුයි.  ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය සඳහා හොඳම අවස්ථාව පවතින්නේ ගෝලීය වෙළදපොල ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධන මූලෝපායන් තුළයි. ඒ නිසා කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා යන ක්ෂේත්‍ර තුනේම අපනයන ප්‍රවර්ධනයට වැඩි අවධානයක් දෙන්න. ලංකාවේ සීමිත ශ්‍රම බලකාය, ඉඩම් හා අනෙකුත් සම්පත් හැකිතාක් දුරට අපනයන කර්මාන්ත සඳහා යොමු කල හැකි නම් එය රටට වඩාත් ඵලදායී බවයි අපේ අදහස.

 

මේ වන විට වසරක් තුල ලංකාවට ගලා එන සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 20 කට අඩුයි. නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයක් රටින් පිටව යනවා. මේක තමයි ගෙවුම් ශේෂ හිඟයට හේතුව. මේ දවස්වල අපි අවුරුද්දකට ඩොලර් බිලියන 5 ක් පමන ණය ගෙවන්නේ නැති නිසා තමයි යාන්තම් බේරී ඉන්නේ. හැමදාම අපිට කට්ටි පනින්න හම්බ වෙන්නේ නෑ. අපිට බැරිද ලංකාවට එන ඩොලර් ප්‍රමානය වැඩි කරගන්න. නිසි සැලැස්මකට වැඩකලොත් වසර 10  අතර කාලයක් තුල වසරකට ඩොලර් බිලියන 60 ඉක්මවන ඉලක්ක කරා සංවර්ධනය කල හැකි ක්ෂේත්‍ර 6 මම නම් කරන්නට කැමතියි.




# සංචාරක කර්මාන්තය 2018 ත් අපට ඩොලර් බිලියන 4 ක් ලැබුනා. පහසුවෙන්ම ඩොලර් බිලියන 10 ට ගෙන යා හැකියි.

# විදේශ ශ්‍රමිකයන් හරහා ලැබෙනා ප්‍රේෂණ 2021 ත් ඩොලර් බිලියන 7 ක් ලැබුනා. වසර 10 කින් ඩොලර් බිලියන 10 මොන තරම් පහසුද

# තොරතුරු තාක්ෂණ හා සංනිවේදන සේවා අපට අසල් වැසි ඉන්දියාවේ වසරකට ඩොලර් බිලියන 150 ආදායමක් ලබනවා

# වරාය හා ගුවන්තොටුපොල සේවා හා ඒ ආශ්‍රිත කර්මාන්ත වලින් පහසුවෙන්ම ඩොලර් බිලියන 10 ඉක්මවන්න පුලුවන්

# අපනයණ කෘෂිකර්මාන්තය හා සැකසුම් නිශ්පාදන. අපිට වඩා කුඩා නෙදර්ලන්තයේ වසරක ඩොලර් බිලියන 45 ක් උපයනවා .

# අගය එකතු කිරීමේ කර්මාන්ත. ඇඟලුම් කර්මාන්තයෙන් විතරක් දැනමත් ඩොලර් බිලියන 6 කට වඩා ලබෙනවා. ඩොලර් බිලියන 10 ඉතා පහසුයි.




මේ හැම ක්ශේත්‍රයක්ම වසරකට ඩොලර් බිලියන 10 ඉක්මවා ආදායම් ගෙන එන්නට පුලුවන් ක්ෂේත්‍ර. ඒ අනුව  බලන්න මොන තරම් අවස්ථාවක් අපිට තිබෙනවාද කියා විදේශ විනිමය උපයන්නට නිසි සැලස්මකට වැඩ කලොත්.


ආයෝජන ප්‍රවර්ධනය හා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමුත් ආර්ථිකය සක්‍රීය කරන්න ඉතා වැදගත්.


ඍණාත්මක ආකල්ප, නීතිමය හා පරිපාලන බාධා !


වර්ථමානයේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් තිබෙනා විවිධ ඍණාත්මක ආකල්ප, නීතිමය හා පරිපාලන බාධා හැකි ඉක්මනින් ඉවත් කරන්නට අපි කටයුතු කල යුතුයි. විදේශ ආයෝජන නිසා රටට විදේශ ප්‍රාග් ධනය  එනවා පමනක් නොවෙයි වෙළඳ පොල අවස්ථා පුලුල් වීම නිසා දීර්ඝ කාලීනව විදේශ විනිමය උපයන්නටත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ආයෝජන ප්‍රවර්ධනයත් අපි රාජ්‍ය ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුයි.


වර්තමාන ගෝලීය වෙළඳපොල තුළ කිසිදු රාජ්‍යයකට තනිව තම ආර්ථිකයන් කළමනාකරණය කරන්න බෑ. සෑම රටක්ම පාහේ ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික සබඳතා හරහා එකිනෙකා මත බැඳීලයි ඉන්නේ. අපිත් මේ ගැන සංවේදී විය යුතුයි. මේ වන විට ලංකාවට විදේශ ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමේදී මතුවන ප්‍රධාන ගැටලුවක් තමයි ලංකාවේ නිෂ්පාදනයන්ට ගෝලීය වෙළඳපොලට තුල තරඟකාරී වීම සඳහා මග විවෘත කරනා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ප්‍රමාණය ඉතා සීමිත වීම. අපේ අසල් වැසි කලාපීය රටවල් මේ අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා තමයි ඔවුන්ට විදේශ ආයෝජන ආකර්ශ්ණය පහසු වෙලා තියෙන්නේ. ඒ නිසා වෙලඳ ගිවිසුම් සම්බන්ධයෙනුත් අපිට යලි හිතන්නට වෙනවා.ඒ නිසා ලංකාවේ නිෂ්පාදනවලට ගෝලීය වෙළඳපොලට තුල තරඟකාරී වීම සඳහා මග විවෘත කරනා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ප්‍රමාණය ඉහල නංවා ගන්නට අපිට කඩිනම්න් ක්‍රියා කරන්නට සිදුවෙනවා. 

 

මෑතදී හඳුන්වාදෙන ලද බදු ප්‍රතිසංස්කරණ හරහා රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 8% සිට 14% ට පමණ ඉහළ නංවා ගන්නට රජය බලාපොරොත්තු වුනත් වැඩිවෙන රාජ්‍ය ආදායම සමග රාජ්‍ය වියදම ද වැඩි වෙමින් පවතින නිසා එහි සාධනීය ප්‍රතිඵල අත් කර ගැනීමට හැකියාවක් නෑ. ඒ නිසා වියදම් පාලනය ගැන රජයේ විශේෂ අවධානයක් යොමු විය යුතුයි. 



Zero Based Budgeting ක්‍රමවේදයක් !


වර්තමානයේ අය වැය සකස් කිරීමේ දී බොහෝවිට රජයේ ආයතන වියදම් ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ පෙර වසරවල වියදමට යම් ප්‍රතිශතයක් අගය වැඩි කිරීමෙන්. වියදම් පාලනය කිරිමට නම් මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කල යුතුය. ජාතික හා ආයතතනික ප්‍රමුඛතා මත සෑම වියදමක්ම අළුතින් ගණනය කිරීමක් සිදු කළ යුතුයි. ඒ නිසා අයවැය සකස් කිරීමේදී  Zero Based Budgeting ක්‍රමවේදය හඳුන්වාදෙන්න කියා අපි යෝජනා කරනවා.


වර්තමානයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවල හා ආයතනවල කාර්ක්ෂමතාවය මනිනු ලබන්නේ අයවැයෙන් වෙන් කොට ඇති මුදලින් කොපමණ මුදලක් සාර්ථකව වැය කලා ද යන්න මතය. ඉන් ඔබ්බට ගොස්  සෑම වියදමකින්ම සාධනීය ප්‍රතිඵලයක් ම ලැබෙනවා ද යන්න අභියෝගයට ලක් කල යුතුය.


රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය අද බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක්.

 

මේ වන විට රජය යටතේ පාලනය වන ව්‍යාපාර 400 කට වඩා තිබෙනා අතර ලක්ෂ 2 කට වැඩි සේවකයන් ප්‍රමානයක් මේවායේ සිටිනවා. සමස්ථයක් වශයෙන් ගත් කල ට්‍රිලියන 12 කට වඩා සම්පත් තිබෙන මේ ආයතන වලින් ලැබෙන ලාභ හා ලාභාංශ වලට වඩා වැඩි මුදලක් වාර්ෂිකව රජය මෙම ආයතන පද්ධතිය නඩත්තු කිරීම සඳහා වැයකරනවා. ඒ අනුව අවසානයේ මේ රාජ්‍ය අයතන වලින් ජනතාවට ඇත්තේ වැය බරක් පමණ‍යි. වර්ථමානයේ රජය යටතේ පවතින ව්‍යාපාර ආයතන පූර්ණ අධ්‍යයනයකට ලක්කොට ඒවා ක්‍රමයෙන් ප්‍රමුඛතා අනුපිලිවෙලකට ප්‍රතිව්‍යුහගත ගතකල යුතු බවට විවාදයක් නැහැ. ඒ කෙසේ වෙතත් ප්‍රතිව්‍යුහහගත කිරීමේ අවශ්‍යතාවය ඉදියට දමා ලාබ ලබන ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමේ කුමන්ත්‍රණවලට අපි ඉඩ නොදීය යුතුයි.

 

රාජ්‍ය ආයතන පුද්ගලීකරණය සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඇත්තේ ඉතා කුප්‍රකට ඉතිහාසයක්. 1980 දශකයේ අග භාගයේ සිට 2000 දශකයේ මුල් කාලය තුල බොහෝ රාජ්‍ය ආයතන විකුණා දැමුවේ ඇස්තමේන්තු මුදලටත් වඩා අඩු මුදලකට බවත් ඒ ගනුදෙනු පිටුපස සිටියේ ඒ ඒ කාලවල සිටි පාලකයන්ගේ හිතවතුන් බවත් දත්ත සහිතව ඔප්පු කරන්න පුලුවන්. ඒ නිසා  දැනට ලාභ ලබන කිසිදු රාජ්‍ය ආයතනයක් කඩි මුඩියේ පෞද්ගලීකරණය නොකළ යුතුය යන්න අපේ විශ්වාසයයි. ප්‍රමුඛතාව දිය යුත්තේ පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් තීරණ ගැනීමටයි.


ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඒ ඒ ආයතනයට වඩාත් සුදුසු ආකෘතිය හඳුනා ගත යුතුයි. සෑම ආයතනයකටම එකම ආකෘතිය භාවිතා කිරීමට අවශ්‍ය නැහැ. බොහෝ විට රාජ්‍ය  ආයතන නගා සිටුවීමට අවශ්‍ය ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට මෙන්ම කළමණාකාරීත්වය කාර්යක්ෂම කිරීම සදහා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතීන් සලකා බලන්න පුලුවන්. දැනට රජය සතුව තිබෙන යම් ව්‍යාපාරයක් කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කොට සුරැකුම් පත් හා විනිමය කොමිසමේ නියාමනයට ලක් කරනවා නම් එහි දේශපාලන ඇඟිලි ගැසීම්  අවම කර ගන්න පුළුවන් වගේම අතර මුල්‍ය කළමනාකරණයේ හා අනෙකුත් වැදගත් තීරණවල විනිවිදභාවය සහතික කරන්නටත් පුළුවන්.  


වංචාව හා දූෂණය ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් !


ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන වර්තමාන ආර්ථික අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ වංචාව හා දූෂණය බව ඉතාම පැහැදිලියි. මෙය මේ වන විට අන්තර්ජාතිකව පවා කතාබහට ලක් වී ඇති කාරණයක්. අපි බලාපොරොත්තු වෙන ආකාරයට රට සංවර්ධනය කරන්නට නම් දූෂණය පිටුදැකීම සඳහා වූ යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කළ යුතු අතර දූෂිතයන්ට කඩිනමින් හා නීත්‍යානුකූලව දඩුවම් ලබා දීම කඩිනම් කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු වෙනවා.


මා මේ කතා කලේ කරුණ කිහිපයක් ගැන පමනයි. තව බොහෝ කරුණු අප ඉදිරිපත් කල ආර්ථික සංවර්ධනය සඳහා උපාය මාර්ගික සැලැස්මේ තියෙනවා. ඒ සියල්ල සාකච්චාවට විවෘතයි.


නිසි සැලස්මකට වැඩ කලොත් අපිට මේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. අපි ආරාධනා කරනවා අරගලයේ ඉන්න තරුණ දූ පුතුන්ට අපිත් එක්ක සාකච්චා කරන්න කියා ආර්ථිකය ගොඩ නගන වැඩ පිලිවෙල. අප හැමදෙනාගේම ප්‍රමුඛත්වය වෙන්න ඕනේ අනාගත පරපුරට  ශක්තිමත් ආර්ථිකයක් සාදා දීමයි.  එයයි අපි කල යුත්තේ. පුරවැසියාට සැබෑ නිදහස ලැබෙන්නේ  ආර්ථික වශයෙන් නිදහස් වූ දාටයි.''

 




සබැඳි පුවත් :

'නිදහසට පෙරවදනක්’ ඩලස්ලා ගේ සැලැස්ම එළියට

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්