ව්‍යවස්ථාදායක සභාව සඳහා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කර ඇත.



පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව අනාවරණ කළේය.


මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.


දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත මේ බව නොනිල වශයෙන් දැනුම්දීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇතැයි ද පැවසේ.


මේ අතර අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇතැයි වාර්තා වෙයි.

 

මෙම හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයක් සඳහා සූදානම් බව ප්‍රකාශකර ඇති බැවින් මේ මොහොතේ, අග්‍රාමාත්‍ය ධූරය විපක්ෂ නායක වෙත ඉල්ලමින් එම නව කැබිනට් මණ්ඩලයට ඇතුල්වීමේ අවස්ථාව ඇති බවයි. ඒ සමඟ සජබ ජේෂ්ඨයන් පිරිසකට අමාත්‍ය ධූර ලබා ගැනීමේ හැකියාව ඇති බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කළ බව වාර්තා වෙයි.

 

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී මෙම කාරණය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟව ඇති අතර ඒ සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක යන තිදෙනාගේ කමිටුව නම් කිරීමටත් කටයුතු කර ඇතැයි ද පැවසේ. එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙන්නේ සජබ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර බවද වාර්තාවේ.


මීට පෙර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කළ කමිටුවේ ප්‍රධානීත්වය දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වුවත් මෙවර ඔහුව එම කමිටුවට නම් කර නැතැයි ද පැවසේ.


'ප්ලාන්ට් එකක්' !


කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් පැවසුයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කිසිඳු ලෙසකින් සාකච්ජා නොවූ බවයි.


සමගි ජන බලවේගය ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට නොවන බවත්, සමගි ජන බලවේගයට ජනතාව ඡන්දය දුන්නේ වෙනම ප්‍රතිපත්ති මාලාවක් හා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ නිසා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි ස්වරයෙන් යුතුව ප්‍රකාශකර තිබේ.


එහෙයින් කවරකු හෝ මේ අවස්ථාවේදී පක්ෂය අතහැර එජාප සමග එකතුවීමට සිතීම පවා ජනතාව පාවාදීමක් බව විපක්ෂනායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ. මෙම රැස්වීමට රාජිත සේනාරත්න ද සහභාගී වී තිබිණ. 

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්