යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ මහවිරු සුසාන භුමි නිදහස් කරන ලෙස දෙමළ ජනතා

නියෝජිතයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.


දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ එම සුසාන භුමි ජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි පොදු ස්ථාන බවට පත් කරමින් දෙමළ ජනයාට මිය ගිය තම ඥාතීන් අනුස්මරණය කිරීමට ඉඩ ප්‍රස්ථාව  සලසා දෙන ලෙසයි.


යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම්, එල්ලන්කුලම්, කෝපායි, මුලතිව් දිස්ත්‍රික්කයේ තෝරාවිල්, මුල්ලියවලෙයි, අලම්පිල්, තුනුක්කායි ආලංකුලම්  සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ තාන්ඩිඅඩි මහවිරු සුසාන භුමි මේ වන විට යුද හමුදාව විසින් අල්ලාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.


නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින්, යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන්  මිහිදන් කර තිබෙන  සුසාන භුමි එළිපෙහෙළි කරන දෙමළ ජනයාට යුද හමුදාවෙන් මෙන්ම පොලීසියෙන් එල්ල වන බාධා කිරීම් නතර කර ඔවුන්ට මිය ගිය සිය සම්පතමයන් අනුස්මරණය කිරීමට ඉඩ සලසන ලෙස සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා එහිදි වැඩි දුරටත් ඉල්ලා තිබේ.


දිගින් දිගටම බාධා


මහවිරු දිනය සැමරීම සදහා සුසාන භුමි පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි උතුරු නැගෙනහිර දෙමළ ජනයාට පසුගිය දින කිහිපය තුළ යුද හමුදාව අවස්ථා කිහිපයකදීම බාධා පමුණුවා තිබුනි.


දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් නොවැම්බර් 2 දා කෝපායි  සුසාන භුමිය ඉදිරිපිට මාර්ගය ශ්‍රමදානයෙන් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි හමුදා සෙබළුන් ඔවුන්ට පවසා තිබුනේ  පිරිසිදු කිරීමේ කටයුතු නතර කරන ලෙසයි.


එම අවස්ථාවේ යුද හමුදා සෙබළුන් සුසාන භුමිය ඉදිරිපිට මාර්ගයේ බෞද්ධ කොඩි සවි කිරීමට කටයුතු කරන ආකාරය යාපනයේ මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබුනි.


මුලතිව් තුනුක්කායි ආලංකුලම් සුසාන භුමිය, මන්නාරම,  මාන්තෙයි බටහිර ආටිකාලි වැලි සුසාන භුමිය සහ තේරාවිල් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි දෙමළ ජනයාට යුද හමුදා සාමාජිකයන්ගේ බාධා කිරීම් වලට මුහුණ දීමට සිදු වු අතර ත්‍රිකුණාමලය, සාම්පුර්, ආලංකුලම් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගෙන් පොලීසිය ඉල්ලා තිබුනේ එම කටයුත්ත නතර කරන  ලෙසයි.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්