1200 x 80 DMirror

අපේ රට බංකොලොත් බව ප්‍රකාශ කරමින්, විදේශ විනිමය අර්බුදයට විසඳුම් සොයන්නේ රට තව-තවත් විදේශ විනිමය අර්බුදයක සිර කිරීමෙන් නම්,

තව-තවත් විදේශ ණය ගැනීම මඟින් නම්, අපේ රටේ අනාගතය කුමක් ද?  කියා පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විමසා සිටියි.

එම කාරණය සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බලන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින මන්ත්‍රීවරයා, මුදල් පිළිබඳ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත් මහ බැංකුවේ ඇතැම් බලධාරීන් රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමකින් පවා තොරව බව කියා සිටියි.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග එබව කියා සිටියේ, පෙරේදා (18 දින ) අය-වැය විවාදයට එකතුවෙමිනි.

ඔහු එහිදී තවදුරටත් මෙසේ අදහස් දැක්විය.


මේ රට රැක ගැනීමේ අභියෝගයට මුහුණ දීම :

'' මුලින් ම කරුණු දෙකක්; මවුබිම වෙනුවෙන්...

මේ රට අවුරුදු දහස් ගණනක් පාලනය කළේ ඉඩම්වල රාජ්‍ය අයිතිය සහ ඒ ඉඩම් රාජ්‍යයට සිදුකරන සේවය වෙනුවෙන් භූක්ති විඳීමට ලබාදීම මඟින් බව මව්බිමේ ආරක්ෂාව සහ චිරස්ථිතිය වෙනුවෙන් මුලින් ම අවධාරණය කරන්න කැමතියි. ආචාර්ය රැල්ෆ් පීරිස් මහතා ගේ 'සිංහල සමාජ සංවිධානය' කෘතිය මේ සම්බන්ධයෙන් කළ විශිෂ්ට පර්යේෂණයක්. මේ රට රැක ගැනීමේ අභියෝගයට මුහුණ දීමේ දී රාජ්‍ය සතු ඉඩම් ප්‍රධාන සාධකයක් බව අවධාරණය කළ යුතු යි.

ඒ නිසා මහවැලි ඉඩම් ජාතික සම්පතක් සේ සලකා රැකගැනීම මෙන් ම සමස්ත ජාතියේ වුවමනාවන් වෙනුවෙන් යෙදවීම අප සැම ගේ යුතුකමක්. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ඔබතුමා අගමැති ධූරයේ සිටිය දී එම ඉඩම් ජාතියට අහිමි කිරීමේ දුෂ්ට යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන ලෙස අපි ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනවා.



ඊළඟට ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට කර ඇති යෝජනාව පිළිබඳ අවධානය යොමු කරන්න කැමැති යි. මේ ආණ්ඩුව මුදල් සොයන්න හදන්නේ එයාර් ලංකා, ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් එච් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණා දැමීමෙන්. එයාර් ලංකා ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ සභාවේ ගැටලුවක් මතු වන එකක් නෑ. නමුත් අපි පසුගිය කාලේ දැක්කේ නම් එයාර් ලංකා ආයතනයේ දැවැන්ත පාඩු ලබන අංශ වෙනුවට ලාභ ලබන කේටරින් සේවය සහ ඉන්ධන සැපයුම් සේවය විකිණීමේ උත්සාහයක්.



හිල්ටන් හෝටලයත් 2017 වසර තෙක් ලාභ ඉපයුවා. අනතුරුව පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාඩු ලැබුවා. 2018, 2019, 2020 කාලයේ පෞද්ගලික හොටල් පවා ලාභ ලැබුවා ද යන්න සැක සහිත  යි.

එදා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කරද්දී කරද්දී කිව්වේ තරගකාරීත්වයට දොරහැරීමේ අවශ්‍යතාව. විදුලි සංදේශ සේවා, රක්ෂණය පෞද්ගලීකරණයට දොර ඇරල දැන් බොහෝ කල්.


''රත්තරන් බිජුලන කිකිළිය මරා සියලු බිත්තර එකවර ගැනීමට කරන උත්සාහයක්''

tele

විදුලි සන්දේශ ක්ෂේත්‍රයෙත් රක්ෂණ ක්ෂේත්‍රයේත් තරඟකාරී ලෙස ඉතා ම ඉහළ සේවාවක් සපයන ආයතන දෙකක් තවදුරටත් පෞද්ගලීකරණයට සැරසෙන්නේ කුමක් සඳහා ද? මේ රත්තරන් බිජුලන කිකිළිය මරා සියලු බිත්තර එකවර ගැනීමට කරන උත්සාහයක් නොවන්නේ ද?

අපි අගමැතිතුමා ගෙන් පොහොට්ටුවේ මිතුරන් ගෙන් විමසන්නේ ඔබ අප ලැබූ ජනවරමට මේ ක්‍රියාකාරකම් එකඟ ද? අනාගත පරපුර සඳහාත් ලාභ උපයා දීමට හැකි මේ ආයතන දෙක ඉදිරි වසර දෙකක ඔබේ සහ ඔබේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් විකුණා නොදමන ලෙස අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා.  

අය-වැය යෝජනාවලියට අවධානය යොමු කළොත් සැබවින් ම මේ අය-වැය යෝජනාවලියක් ද යන ප්‍රශ්නය මතු වෙනවා. 26 වැනි පිටුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ යෝජනා විමසා බලන්න: 50 වැනි යෝජනාව පොල් වගාව සම්බන්ධයෙන්. එහි අයක් හෝ වැයක් හෝ ඇති යෝජනාවක් තිබේ ද? 52 වන යෝජනාව තෛලෝක විජයපත්‍ර අපනයනය සඳහා වගාව සලකා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම. අය-වැය සකස් කළ යුත්තේ විශේෂඥ කමිටුවක් පත් කර ඒ නිර්දේශ ලබාගෙන නොවේ ද?

13 වන පිටුවේ 14 වන යෝජනාවත් ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ ව කමිටුවක් පත් කිරීමට. ඒ පිටුවේ ම 15 වන යෝජනාවෙන් කියන්නේ රටේ ඛනිජ සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීමට කමිටුවක් පත් කිරීමට. 31 වන පිටුවේ 69 වන යෝජනාව බදුල්ල, කුරුණෑගල, පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් දක්වා උසස් කිරීම. කෝ වියදම? මේ යෝජනාවලියේ යෝජනා 72න් විසි ගණනක අයක්, වැයක් නෑ.



අද අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව විදේශ විනිමය අර්බුදයක්. එය විසඳීම සඳහා මේ අය-වැයේ කිසිම යෝජනාවක් නෑ. දේශීය වශයෙන් ආදායම ඉහළ නැංවීම සඳහා පවා ඇත්තේ යෝජනා කිහිපයක් විතරයි. ආදායම මත බදු 0, 10, 15 ලෙස ඇති ප්‍රතිශතයන් 5%කින් ඉහළ නංවන්න, 0, 15, 20 කරන්න යෝජනා කරනවා. ආදායමේ වැඩිවීම 5%යි. සෙස් බද්ද පිළිබඳ අවසානයේ කියන්නේ වසර තුනක් ඇතුළත එය ඉවත් කරගන්න බව. එ නම් ආදායම අඩු කරගන්න බව.



රජයේ ගාස්තු සහ අයකිරීම් - පසුගිය වසර තුන තුළ (2020/2021/2022) වැඩි කිරීම් නොකළ අංශවල 20% තෙක් වැඩිවීමක් යෝජනා කරනවා. මේ යෝජනාව අනුව ජල විදුලි බිල්පත වැඩි වෙනවා ද? වැඩි වන්නේ නම් ඒ කෙතරම් ප්‍රතිශතයකින් ද? එ මඟින් ඇස්තමේන්තු කෙරෙන ආදායම කොපමණ ද?

ඊළඟට රාජ්‍ය භාගය, කුලි හා බදු නොවන ආදායම් පිළිබඳ යෝජනාවත් නැවත කොමිසමක් පත් කරන්න. බීඩි සඳහා බද්දක් යෝජනා කළත් එමඟින් අපේක්ෂිත බදු ආදායම පිළිබඳ කිසිදු තක්සේරුවක් හෝ අගයක් නෑ. රථ වාහන ආදායම් බලපත්‍ර ගැනීමේ දී මාර්ග නඩත්තුව සඳහා රු. 100ක ගාස්තුවක් අය කිරීමට අවසානයේ යෝජනා කර තිබෙනවා.  



මේ වසර තුළ රජය එකතු කර ගැනීමට අපේක්ෂිත බදු ආදායම රු. බිලියන 1852ක්. එය උපයාගත හැකි ඉලක්කයක් ද? මේ වසරේ දැනට, මාස දහයාමාරක් තුළ උපයා ඇත්තේ සම්පූර්ණ බදු ආදායම රු. බිලියන 1493යි. ඒ සාමාන්‍ය අනුව බැලූවිට ඉදිරි මාස එකහමාර තුළ අය කරගත හැක්කේ රු. බිලියන 213යි. සමස්ත එකතුව රු. බිලියන 1600යි. ඒත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිතුමා ගේ සශෝධිත අයවැය අනුව මේ වසරේ ඇස්තමේන්තුගත බදු ආදායම 1852ක්. රුපියල් බිලියන 250ක අඩුවක් පැහැදිලිව ම පේන්න තිබෙනවා.



කමක් නෑ; අපි ඒ රු. බිලියන 1852 නිවැරැදි බදු ආදායම කියල මොහොතකට හිතමු. ලබන අවුරුද්දට, එ නම් 2023 අවුරුද්දට අපේක්ෂිත බදු ආදායම රු. බිලියන 3130ක්. එය 2022 වසරට සාපේක්ෂව 69%ක බදු ඉහළ නැංවීමක්. මේ වසරේ අපේක්ෂිත බදු ආදායම පවා ලබාගත නොහැකි පසුබිමක 69%කින් ඉහළ නැංවූ බදු ආදායම ලබා ගන්නේ කෙසේ ද? 20%ක උපරිම බදු වැඩි කිරීමක් මඟින්, 69%ක බදු ආදායමේ ඉහළ නැංවීමක් කෙසේ ලබාගන්න ද? මේ බදු ඉහළ නැංවීම නිසා සිදුවිය හැක්කේ දැනට ඉතිරි වී ඇති ව්‍යාපාරත් වැසී ගොස් ලැබෙන බදු ආදායමත් අහිමි වීම නොවේ ද?



ඊටත් වඩා බරපතළ යි විදේශ විනිමය උපයා ගැනීමට කරන යෝජනාව. වර්තමාන මහ බැංකු අධිපතිතුමා ඇතුළු පිරිස ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශයට පත්කොට ක්‍රම-ක්‍රමයෙන් විදේශ ණයවලින් අත්මිදීමේ සැලසුමක් ක්‍රියාවට නඟනු ඇතැයි අපි විශ්වාස කළා. ඒත් මේ වසරේ ගෙවන ලද විදේශ ණයවලට වඩා රු. බිලියන 342ක් වැඩිපුර විදේශ ණය අරන්; නැතිනම් ගැනීමට අපේක්ෂිත යි.



මේ මොනවා ද කරන්නේ?

මේක 2021 වසරේ ගෝඨාභය ජනාධිපතිතුමා ගේ, නෑ, මේ කණ්ඩායම පත් කළේත් එතුමා ම බැවින් අපි ආටිගල-කබ්‍රාල් කණ්ඩායම කියමු, 2021 සමඟ සැසඳුවොත් ඔවුන් ගෙවූ විදේශ ණය ප්‍රමාණය ගත් විදේශ ණයවලට වඩා වැඩියි. එය සංඛ්‍යාත්මකව කීවොත් රු. බි. 14ක්. එහෙත් මේ වසරේ රු. බි. 342ක් වැඩිපුර ණය ගන්න යෝජනා කරනවා. ඒ වගේ ම ලබන වසරේ ගෙවන විදේශ ණයවලට වඩා රු. බිලියන 560ක විදේශ ණය ගන්න සැලසුම් කර තිබෙනවා. ඒ කියන්නේ මේ වසරට වඩා 63.7%ක් වැඩිපුර විදෙස් ණය ලබන අවුරුද්දේ ගන්නවා. මේ මොනවා ද කරන්නේ?

අපට ණය ගෙවන්න බෑ කියලා, රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරලා, මෙ තෙක් ගත් ණය ගැන දැවැන්ත විවේචනයක් කරලා, රටේ තිබෙන ණය තවත් 63%කින් වැඩි කරන අය-වැය යෝජනාවලියක් අවසානයේ ගේනවා. මේ වගේ යෝජනාවලියක් මඟින් අපේ රටේ අනාගතයට සිද්ධ වෙන්නේ කුමක් ද?

indrajith k

වර්තමානයේ ආර්ථිකය හසුරුවන කණ්ඩායමට උපදෙස් දෙන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එදා මහබැංකු අධිපති ලෙස, 2015-2019 කාලයේ ස්වෛරී බැදුම්කර ලක් මඟින් බිලියන 12ක අතිවිශාල විදෙස් ණය ප්‍රමාණයක් ගත්තා. එහෙත් 2005-2014 මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තේ බිලියන 5ක ණයක් විතර යි. ඒ රාජපක්ෂ යුගයේ වගේ දෙකහමාර ගුණයක ණය අරගෙන අපේ රට ණය උගුලක සිර කළෙත් මේ අද ඉන්න උපදේශකයෝ ම තමයි.


මේ අය අපේ රට බංකොලොත් බව ප්‍රකාශ කරමින්, විදේශ විනිමය අර්බුදයට විසඳුම් සොයන්නේ රට තව-තවත් විදේශ විනිමය අර්බුදයක සිර කිරීමෙන් නම්, තව-තවත් විදේශ ණය ගැනීම මඟින් නම්, අපේ රටේ අනාගතය කුමක් ද? මේ ගැන ගැඹුරින් සිතා බලන ලෙස මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. මුදල් පිළිබඳ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත් මේ නිලධාරීන් රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමකින් පවා තොරව යි.

ඒ නිසා මේ ගැන බරපතළ ලෙස සිතා බැලිය යුතු යි. මේ නිලධාරී කණ්ඩායම මේ රජය, අපේ රට, අපේ ජනතාව ගෙන යන්නේ කො තැනට ද යන්න මේ සංඛ්‍යා-ලේඛන විමර්ශනය කරමින් වහා ම විමසා බලන ලෙසත් අවශ්‍ය සංශෝධන සිදුකරන ලෙසත් මුදල් අමාත්‍යතුමා ගෙන් අපේ රටත් අපේ ජනතාවත් වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය