ටෙලිකොම් ආයතනය පාඩු ලබන බවත්, එය විකුණා නොදැමුවහොත් ජනතාවට කෑම නොලැබෙනු ඇති බව ජනාධිපතිවරයා සහ එජාප පාර්ලිමේන්තු
මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන බවත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක පවසයි.
ඔහු පවසන්නේ පසුගිය වසරේ දී පමණක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රජය සතු කොටස් වෙනුවෙන් රුපියල් මිලියන 2000ක මුදලක් ගෙවා ඇති බවයි.
එමෙන් ම සෘජු හා වක්‍ර බදු වෙනුවෙන් රුපියල් බිලියන 19.3 ක් ද රජයට ගෙවා ඇති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නා.
ටෙලිකොම් ආයතනයේ වත්කම් මේ වනවිට බිලියන 400කට ආසන්න බවත් පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ ටෙලිකොම් ආයතනය විකුණා දැමීමෙන් රජයට ලැබිය යුතු අති විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වන බවයි.
කෙසේ වෙතත් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාගේ ගාල්ල නිවසේ ලක්ෂ ගාණක ටෙලිකොම් බිලක් මේ ගෙවා නැති බවද නිරෝෂන් පාදුක්ක මෙම මාධ්‍ය හමුවේ දී පවසා සිටියේය.
වජිරගේ ප්‍රතිචාරය මෙන්න
කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ, තමා ලක්ෂ 07ක වටිනාකමකින් යුත් ටෙලිකොම් බිල් පත් නොගෙවා ඇති බවට සජබ සංවිධායක නිරෝෂන් පාදුක්ක විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් විසින් සිදුකර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවයි. එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු කියා සිටියි.
තමන් විසින් පසුගිය මාසය දක්වා ටෙලිකොම් සමාගමට පියවීමට ඇති සියලු බිල්පත් නිසි පරිදි ගෙවා ඇති බව අදාළ පියවීම් ඇතුලත් ලදු පත් සමග මාධ්‍ය වෙත යොමුකරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පසුගියදා පැවති අයවැය කතාවේදී තමා විසින් ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් හේතුවෙන් සිත් රිදුනු කිසියම් පාර්ශවයක් විසින් තමන්ට එරෙහිව සිදුකළ කුමන්ත්‍රණයක් අනුව එම චෝදනා එල්ලකර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
නිරෝෂන් පාදුක්ක මන්ත්‍රීවරයා විසින් ටෙලිකොම් ආයතනය ලාභ ලබන බවට ප්‍රකාශ කර සිටිය නමුත්, එසේ ලාභ ලබන ආයතනය විසින් LOLC සමාගමට අනුබද්ධ ආයතනයක් වෙත පියවීමට ඇති රුපියල් මිලියන ගණනක් වටිනා මුදල ගෙවීම සඳහා කල් අරගෙන ඇත්තේ මන්ද යැයි තමන් ප්‍රශ්න කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙහිදී ප්‍රකාශ කර සිටියි.
මීට අමතරව ටෙලිකොම් ආයතනය විසින් ඕස්ට්‍රේලියාවේ සමාගමකට ද රුපියල් මිලියනයක මුදලක් ගෙවීමට ඇති බවත්, ඔවුන් විසින් එම මුදල පියවීම දිගින් දිගටම මග හැරමින් සිටින බවට වන තොරතුරු සහ ඊට අදාළ සියලු ලියවිලි ද තමන් සතුව පවතින බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කරයි.
නිරෝෂන් පාදුක්ක කුමන්ත්‍රණකරුවන්ට රැවටී, සත්‍ය කරුණු නොදැන මෙවන් චෝදනා නැගීම සම්බන්ධයෙන් තමන් දැඩිසේ කණගාටු වන බව වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.