පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම ඊයේ (22) ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද (23)

නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබේ.

කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ආජන්ටිනාවට එරෙහිව ගෝල 2-1 ක විශ්මිත ජයග්‍රහණයක් ලැබීමට සෞදි අරාබිය ඊයේ (22) සමත් විය.

මෙය ‘සී’ කාණ්ඩයේ තරගයක් වූ අතර මෙවර ලෝක කුසලාන දිනාගනු ඇතැයි අපේක්‍ෂා කරන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම පසුවන ආජන්ටිනාව ආසියාවේ රටකට පරාජය ලැබීම තුළින්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේදීම සළිතවී ගිය අයුරු පෙනේ.

ලෝක පාපන්දු තරග ඉතිහාසයේ ආජන්ටිනාව සෞදි අරාබියට පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. අවසන් වරට වසර 2012 දී දෙරට අතර තරගයක් ජය පරාජයෙන් තොරව (0-0) අවසන් වී තිබේ.

සෞදි අරාබිය ලැබූ මෙම ජයග්‍රහණය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සිදුවූ පෙරලිකාර සිදුවීම ලෙස  සැලකේ. එය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සෞදි අරාබිය ලැබූ සිව්වැනි ජයග්‍රහණය ලෙස සටහන් වේ.

මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව තරග 36 කදී අපරාජිතව සිටි ආර්ජන්ටිනා පිලේ වාර්තාවට තිත තැබීමට සෞදි අරාබි කණ්ඩායම සමත් විය.


Argentina 2022.10.23


ආජන්ටිනා නායක ලයනල් මෙසී 10 වැනි විනාඩියේ දී දඬුවම් පහරක් ආශ්‍රයෙන් ගෝලයක් වාර්තා කරමින් තරගයේ අපේක්‍ෂා ඉහළ නංවා ගත් අතර එය 35 හැවිරිදි මෙසී මෙතෙක් වාර්තා කළ 108 වැනි ජාත්‍යන්තර තරග ගෝලයයි.

එහෙත් 48 වැනි විනාඩියේ සිට තරගය වෙනස් කිරීමට සෞදි ක්‍රීඩකයෝ සමත් වූහ. සෙලා අල්සෙරි ලබාගත් ගෝලයෙන් අනතුරුව සලෙව් අල්දව්සාරි 53 වැනි විනාඩියේ දී රැස් කළ ගෝලය තරගයේ තීරණය උඩු යටිකුරු කළේය.

ආජන්ටිනාව මෙම තරගය පරාජය වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉහළම පසු විය. එහෙත් සෞදි අරාබියාව එවිට පසුවූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයයි.

මෙම ජයග්‍රහණයත් සමග ‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් සෞදි අරාබිය මෙම ජයග්‍රහණය ඊයේ ඉහළින් සැමරූ බව වාර්තාවේ. මෙම තරගය නැරඹීම සඳහා ලුසායිල් ඉකොනික් ක්‍රීඩාංගණයට 88,012 ක් රැස්ව සිටියහ.


මේ අතර නෙදර්ලන්තය විසින් සෙනගල් රාජ්‍යය ගෝල 2-0 කින් ‘ඒ’ කාණ්ඩයේ තරගයක දී පරාජයට පත්කළේය. එක්සත් ජනපදය හා වේල්සය අතර පෙරේදා පැවැති ‘බී’ කාණ්ඩයේ තරගය ගෝල 1-1 කට සම විය.

මේ අතර ඊයේ  (22) රාත්‍රියේ ඩෙන්මාර්කය සහ ටියුනීසියාව අතර එඩියුකේෂන් සිටි ක්‍රිඩාංගණයේ පැවැති ඩී. කාණ්ඩයේ තරගය ලකුණු 0-0 කට ජය පැරදුමෙන් තොරව අවසන් විය.



අද (23) පැවැත්වීමට නියමිත තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)

ප්‍රංශය - ඕස්ට්‍රේලියාව අතර (‘ඩී’ කාණ්ඩය) මධ්‍යම රාත්‍රි 12.30ට
මොරොක්කෝව - ක්‍රොඒෂියාව (‘එෆ්’ කාණ්ඩය) පස්වරු 3.30ට
ජර්මනිය - ජපානය අතර (‘ඊ’ කාණ්ඩය) පස්වරු 6.30ට
ස්පාඤ්ඤය - කොස්ටාරිකා (‘ඊ’ කාණ්ඩය) රාත්‍රි 9.30

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්