අකල්හි වියෝ වූ ප්‍රවීණ චිත්‍රපට විචාරක, දෙසතිය සඟරාවේ කර්තෘ ව සිටි රූපවාහිනී සංස්ථාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා ගීත රචක ගාමිණී විජයතුංග සොයුරාගේ ආදරණීය බිරිඳ අභාවප්‍රාප්තවී ඇත.



ඔවුන්ගේ එකම පුතු මහර්ෂි පුල්සර සමග පද්මා අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ස්ප්‍රිංග් ෆීල්ඩ් හි ජීවත්ව සිටියදී ඇය මිය ගොස් ඇත්තේ නොවැම්බර් මස 24 වෙනිදාය. අවසාන කටයුතු  එහිදී සිදු කෙරෙනු ඇත.

පද්මා රාණී විජේතුංග ( විජේසේකර ) ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගණකාධිකාරිණියක ලෙස සේවය කළාය.

ඇයගේ වියෝව සම්බන්ධයෙන් සාහිත්‍යවේදී බුද්ධි ගලප්පත්ති සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් පහත පළකර ඇත. 



'' ගාමිණී පද්මා වෙනුවෙන් මගේ ජීවිත කතාවේ මෙසේ ලියන්නම්.

ගාමිණී කලින් ම වෙන් ව  ගියේ 2002 දී
අවුරුදු 20 කට පසු දැන් පද්මාත් යන්න ම ගිහිං 2022 දී

ගාමිණී විජේතුංග මිත්‍රයා හා අප අතර මිත්‍ර සන්ථවය 70 දශකය තරම් ඈතට දිව යන්නක්. ගුවන් විදුලියේ දී නිතර හමු වූ ගාමිණී, පරසතු සිනමා පුවත්පත, දෙසතිය සඟරාව සමග වඩ වඩාත් ළං වූ බව මතක ය. ඩී.බී වර්ණසිරි හා මහින්ද අල්ගම ගේ සංස්කාරකත්වයෙන් පළ වූ පරසතු හා විකසිත පරසතු සිනමා ටැබ්ලොයිඩයට ගාමිණී සිනමා රචනා ද මා නාට්‍ය සාහිත්‍ය කලා රචනා ද ලියු බව මතක ය.

අපූරු ගීත රැසක හිමිකරුවා වූ ගාමිණීගේ ළමා ගී මෙන්ම සරල හා චිත්‍රපට ගීත ද අප මතකයේ හැමදා රැඳී තිබෙන බව සිහි කරමි. උදෑසනම පොඩි අප දුව යනවා, දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ, ජීවිතේ අමධාරා, ගාමිණී විරචිත ජනප්‍රිය ගී කිහිපයක් පමණි. පුවත්පත් කලාවේදියකු ලෙස ඉතා සූර ලෙස තම පෑන මෙහෙය වූ ගාමිණී දෙසතියෙහි සිටිය දී එහි කවරයේ කතාව හා අනෙකුත් විශේෂාංග සඳහා නිර්මාණය කළ  විස්මිත ශීර්ෂ ඔහුට ම අනන්‍ය වූ දුර්ලභ කුසලතාවක් ප්‍රදර්ශනය කළ අවස්ථාවකි.

චිත්‍රපට හා සාහිත්‍ය විචාරයේ දී ඔහු විෂයබද්ධ දැනුමින් සන්නද්ධ විශිෂ්ට විචාර භූමිකාවක නිරතව සිටි බවට ඔහුගේ විචාර සාක්ෂි දරන බව සිහි වේ. එක් අවස්ථාවක ඔහු මගේ දෙදෙනාම දියණියෝ පිළිබඳ ලියූ දෙසතිය විචාරයෙහි ශීර්ෂය මෙලෙස වූ බව මගේ මතකයේ ඇත. ' මානව දයාවේ මිහිරි ඵල ' යනුවෙන් ඔහු දෙදෙනාම දියණියෝ කවි දැක තිබිණ.

ගාමිණීගේ විවාහය සිදුවන්නේ 80 දශකයේ මුල් භාගයේ ය. මා සිමෙන්ති සංස්ථාවේ සේවයට ගියේ 1981 දී ය. එහිදී මා සමග රාජකාරි කටයුතුවල දී මෙන් ම පුද්ගලික ජීවිතයට ද සමීප ව මිත්‍ර සන්ථවයක් ගොඩනගා ගත් තරුණ ගණකාධිකාරිනියන් දෙදෙනෙකි. ශාන්ති සුබසිංහ හා පද්මා විජේසේකර මිතුරියෝ ඔවුහු ය. පද්මා හා ගාමිණී අතර විවාහය සිදුවන්නේ මේ වකවානුවෙහි ය. මගේ දිගු කාලීන මිතුරකු සමග කෙටිකාලීන මිතුරියකගේ විවා මඟුල් උත්සවයට ගාලු පළාතේ ගෝනපීනුවලට ගිය ගමන අද මෙන් මතක ය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, හැරල්ඩ් පීරිස්, සෝමපාල හේවාකපුගේ ආදී මිත්‍ර සමාගමය වූ බව මතකයේ ඇත.

විවාහයෙන් පසු ගාමිණී පද්මා යුවළ අපගේ පවුලේ මිත්‍ර සමාගමයට බැඳී සිමෙන්තියේ පද්මා හා ශාන්තිගේ පවුල් සමග ගිය විනෝද චාරිකා මතකයට  එක්කරන්නේ දුක්මුසු හැඟුම් ය. ගාමිණී, පද්මා මෙන් ම ගීතා ද අද අප අතර නොවෙති. ගාමිණී පළමුව ද ගීතා හා පද්මා ඉන් පසුව ද අපගෙන් වෙන්ව ගොස් ඇත්තේ පුරවාලිය නොහැකි හිස් තැනක් ඉතිරි කොටය.

ගාමිණීගේ වියොවින් පසු පුතු ද එතෙර ගිය පසු තනි වූ පද්මා හා අප අතර පෙරදා වූ බැඳීම එලෙසම වඩාත් ළංව නොබිඳී පැවතිණ. ගීතාගේ වියොවින් මා තනි වූ පසු ඈ නිතර මගේ දුක සැප සොයා බැලුවා ය. ගීතා වෙනුවෙන් පැවති දානමානාදී පිංකම්වලට සහභාගී වූවා ය. පොතපත කියවීමට කැමති පද්මා අවසන් කාලයේ බණ භාවනා වෙත වඩ වඩාත් නැඹුරුව සිටියා ය. ඇගේ අසීමිත භක්තිය පිළිබඳ ඇතැම් අවස්ථාවක අප දෙදෙනා අතර රණ්ඩු සරුවල් ද විය. මගේ පොත් දොරට වැඩුමකට ඈ නොවරදවා ම පැමිණියා ය. ගාමිණීගේ පුස්තකාලය ජයවර්ධනපුර සරසවියට පරිත්‍යාග කිරීමට තීරණය කළ ඈ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සමග ඒ පිළිබඳ කතා බහ කළා ය.

පද්මා හදවතට සමීප දයාබර ළෙන්ගතු යෙහෙළියක් ව සිටියා ය. එබැවින් ඊයේ සවස ගාමිණීගේ සොයුරු ලාල් ඈ පිළිබඳ දුක්මුසු පුවත සැල කළ මොහොතෙහි හදවත මොහොතකට නැවතුණා සේ දැනිණ. දශක පහකට ආසන්න මිත්‍රත්වයක අවසන මෙතරම් ඉක්මනින් දකින්නට මගේ සිත තවමත් ඉඩ නොදෙයි. පද්මා පිළිබඳ මතකය මගේ හද රිදවයි. දුක් දනවයි.


(බුද්ධි ගේ ෆේස්බුක් පිටුවෙන් )
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්