මැදපෙරදිග මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන

ලේකම් ඊ. කුෂාන් කටුනායක ගුවන්තොටුලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයා ගුවන් සේවයට අයත් ඕ.වී. 437 දරණ යානයෙන් දිවයිනට පැමිණියේ අද (29) අළුයම 3.57ට පමණය.


අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මොහු අත්අඩංගුවට ගෙන ඇත.


ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) විවෘත වරෙන්තුවක් ද ලබාගෙන තිබිණ.

 

සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් අදාළ පුද්ගලයාට එරෙහිව එල්ල වී තිබේ. එසේ චෝදනා එල්ල වුව ද ඔහු ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි අතර චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බලපෑම් කරන බවට ද වාර්තා වුණි. මීට පෙරද මොහු සම්බන්ධයෙන් චෝදනා එල්ල වුව ද බලධාරීන් සමග පවතින සම්බන්ධතා ඔස්සේ ඒවා යටපත් කර ඇති බව ද අනාවරණය වී තිබුණි.

 

ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් කිහිප දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිති.


මෙම ජාවාරම සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන්ට චෝදනා එල්ල වීමෙන් පසුව ඔහුගේ වැඩ තහනම් කර, රාජ්‍යත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රය ද අහෝසි කරනු ලැබිය.


කෙසේ වෙතත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලෙයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය. 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්