# ලොතරැයි කුටි 1000 කට වඩා වැසිලා !
# සංවර්ධන ලොතරැයියේ ආරම්භක ලොතරැයිය ක්ෂණික වාසනා මුද්‍රණයත් නැවතිලා !
# ටිකට්පත් මුද්‍රණ ටෙන්ඩරය 2018 සිට එකම සමාගමකට !
# සභාපති ලොතරැයි අදින්න ඉරිදාටත් රුපවාහිනියට !
# දොර ඇරියේ නැත්නම් හැරිලා යනවලු !
# සාමාන්යධිකාරීත් සතියේ දින පහේම ''ගෙදර යන ගමන්'' රුපවාහිනියට ගොඩවෙනවලු !
# අමාත්‍යාංශයෙන් වියදම් සීමාවන් දැමුවත් සභාපති දිගටම රටවටා !
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉතා විශාල මුදලක් වැය කර සංවර්ධන අභිමන් නමින් දිවයින පුරා පවත්වන ලද සුහදහමු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ඡයසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් කිරීමෙන් අනතුරුව එහි සිදුවන අවිධිමත් කටයුතු රාශියක් මාධ්‍ය හරහා අනාවරණය වෙමින් තිබේ.
තම දේශපාලන බලය ගොඩනගා ගැනීම සඳහා දේශපාලන නායකයින් සමග පාටි දැමූ සභාපතිවරයා, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ හෙලිදරව්වත් සමගම 'අභිමන් පාටි' වැඩ සටහන නවතා ඇතැයි වාර්තාවේ. එහෙත් සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද PS/SB/circular 10/2022 Dated 2022.08.25 සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද BD/CP/01/01/08. 2022 දරණ 2022.11.25 චක්‍ර ලේඛ දෙකම මේ වන විටත් උල්ලංගණය කර ඇත.
සභාපති තවත් 'ගේමකට' සැරසේ !
මුළු රටක් ආර්ථික අර්බූදයෙන් පීඩා විඳින අවස්ථාවක දේශපාලඥයින් පිරිවරාගෙන රටපුරා 'සංවර්ධන අභිමන්' සුහද හමුවීම් පැවැත්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා, දයාසිරි මන්ත්‍රීවරයාගේ හෙළිදරව්වෙන් පසුව 'සංවර්ධන අභිමන්' වැඩසටහන නතරකර ඇතත්, ඔහු මහජන මුදල් කාබාසිනියා කරන අලුත් වැඩකට අතගසා ඇතිබව අප වෙත වාර්තා වේ.
ඒ, වසර හතළිහක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආයතනික ලාංඡනය (corporate logo) එක වෙනස් කිරීමටයි. අලෙවි නියෝජිතයන් මේ වකවානුවේ බොහෝ දුෂ්කර තත්වයන් යටතේ එකතු කර දෙන රුපියල් 20/= න් මිලියන 100ක් (කෝටි 10) ක් වියදම් කිරීමට ඔහු එසේ අලුත් වැඩකට අතගසා ඇතැයි පැවසේ.
මහපොළ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිර්මාතෘ ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා විෂයබාර ඇමතිව සිටින වකවානුවේ මෙම ආයතනික ලාංඡනය ප්‍රකාශයට පත්විය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආයතනික ලාංඡණය වාණිජ පරමාර්ථයෙන් තොර වූ ආයතනික ප්‍රතිරෑපය පිළිඹිබු වන ලාංජනයකි. මිට පෙර මෙම ආයතනයේ සිටි කිසිදු සභාපතිවරයකු මෙම ලාංඡනය වෙනස් කිරීමට කටයුතු නොකළේ ලලිත් ඇතුලත්මුදලි ඇතුළු පුරෝගාමී කණ්ඩායමට කරන ගෞරවයක් වශයෙන් බව කාර්ය මණ්ඩල ආරංචිමාර්ග සදහන් කරති.
සභාපතිවරයා මෙම ලාංඡනය වෙනස් කිරීම පිළිබඳව අභ්‍යන්තර කාර්යමණ්ඩලයට හෝ තම ආයතනයේ ටිකට්පත් ඇලවි කරන අලෙවි නියෝජිත සංගමය හෝ මේ වනතෙක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බව වාර්තාවේ.
කෙසේ වුවද ඒ පිළිබඳව වාර්තාවූ වහාම, ලාංජනය වෙනස් කිරීම සම්බන්දයෙන් අලෙවි නියෝජිතයන්ගේ සංගමය සිය විරෝධය දක්වා ඇති අතර එහිදී සභාපතිවරයා පවසා ඇත්තේ අද කාලයට ගැලපෙන පරිදි සියල්ල වෙනස් විය යුතු බවයි. කෝටි 10 ක් ඇස්තමේන්තු කලද සේවකයන්ගේ අදහස වන්නේ සියල්ල වෙනස් කිරීමට අවසානයේදී කෝටි 20 ක් පමන වැය විය හැකි බවයි.
බරපතල කඩා වැටීමක් !
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අප වෙත කරුණු පැහැදිලි කළ අලෙවි නියෝජිත සංගමයේ ප්‍රධානියකු පැවසුයේ, මේ වනවිට ටිකට්පත් අලෙවිකරණ කවුන්ටර් දාහකට වඩා වැසි ඇති බවයි.
ඔහු තව දුරටත් මෙසේ සඳහන් කළේය.
'' ඛණිජ තෙල් අර්බුදය නිසා ත්රිරෝදරථ මෝටර් බයිසිකල් වලින් ටිකට් අලෙවි කරන අලෙවි කරුවන් 500ක් විතර අයින් වෙලා. ටිකට්පත් අලෙවිය පහත වැටිම නිසා කොමිස් මුදල් අඩුවෙලා නිසා තවත් දාහක් විතර මෙම ක්ෂේත්රයෙන් අයින් වෙලා. අලෙවි නියෝජිත සංගමය ඒ පිළිබඳ කොතෙක් කරුණු ඉදිරිපත් කරත් සභාපතිතුමා අපේ සංගමය හමුවෙන්නවත් අවස්තාවක් දෙන්නේ නැහැ. ''
'' මහාපොල අරමුදලට සම්පූර්ණයෙන් අරමුදල් ලබා දුන්නේ සංවර්ධන ලොතරැයිය. එහෙත් පසුගිය අතුරු අයවැයෙන් රුපියල් මිලියන 2500 ක් පමණ මහාපොල භාර අරමුදලට මුදල් අමාත්‍යාංශයෙන් වෙන්කරන්න ඡනාධිපතිවරයාට සිදුවූනා. ''
ටිකට්පත් මුද්‍රණ වියදම් ඉහලයාම නිසා ක්ෂණික ටිකට්පත් සදහා ටෙන්ඩර් කැදවා ඇතත් සුදුසු සමාගමකට ටෙන්ඩරය ලබා නොදීම නිසා දිනකට මංඩලයට රුපියල් ලක්ෂයට අධික පාඩුවක් සිදුවෙනවා.. පසුගිය මාස පහක කාලයක සිට ටිකට්පත් වෙළඳපලේ නොමැති නිසා අලෙවි නියෝජිතයන්ගේ ආදායමත් අඩුවෙලා. ''
'' මංඩලය විසින් මුද්‍රණය කරන ටිකට්පත්වලට අදාල ටෙන්ඩරය 2018 ලබාදුන්න ටෙන්ඩරයක්, ටිකට්පත් ඇදීමේ වැඩ සටහනට සීමාසහිත ප්‍රමාණයක් සහභාගි විය යුතු යයි අධ්‍යක්ෂක මංඩලයෙන් නියම කර තිබුණත් වර්තමාන සභාපතිවරයා ඉරිදා දිනවල පවාරුපවාහිනී සංස්තාවට යනවා. සභාපතිතුමා ඒ වෙනුවෙන් මාසෙකට ලක්ෂ තුනක විතර දීමනාවක් ලබා ගන්නවා කියල ආරන්චියි.''
'' සභාපතිතුමා විසින් ඉහල තනතුරකට නිලධාරියෙකු තෝරා ගැනීමේදී ඉතාමත් පක්ෂග්රාහී ආකාරයට කටයුතු කල සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට පැමිණිලි කර තිබුනත් මේ වෙනතුරුත් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැහැ..''
සභාපති කතරගම දේව කන්නලව්වක !
මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, සභාපතිවරයා තමන්ට හිතවත් කාර්ය මණ්ඩල සේවක පිරිසක් සමග පසුගිය ඉරිදා උදැසන කතරගම දේවාලයේ විශේෂ පුජාවකට සහභාගී වී ඇති බවයි.
තමාගේ වැඩකටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඔහු දෙවියන් හමුවේ බාරහාර වී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
( Leader Red Alert )