නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම නීතීඥ වෘතිය ප්‍රභූ පන්තියට පමණක් සීමා කිරීමේ

කුමන්ත්‍රණයක් ලෙස පෙනී යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.  


ඔහු එබව සඳහන් කර සිටියේ අද දින (05) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.



''පහුවෙලා හරි කළ යුතු දෙයක් නොවේ. මේක වැරදි තීන්දුවක්''

'' නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් කිරීම පිළිබඳව මේ ගරු සභාවේ දින ගණනාවක් සාකච්ඡාවක් සිදු වුණා. මෙහිදී බොහෝ මන්ත්‍රීවරුන් මතුකල කාරණයක් තමයි 2020 ට කලින් නීති ප්‍රවේශ විභාගය සිංහලෙන් දෙමළෙන් තමන්ගේ මව් බසින් ලබපු අය හිටියා කියන එක. මේ අයට මේ තීරණය හරහා දුෂ්කරතාවයක් මතු වෙනවා. ඒ නිසා මේ තීන්දුව කල් දමන්න කියලා. සරලව කියනවා නම් තීන්දුව හොඳයි හැබැයි දැන්ම කරන්න එපා කියලයි කියන්නේ. ඒක වැරදියි. මේක පහුවෙලා හරි කළ යුතු දෙයක් නොවේ. මේක වැරදි තීන්දුවක්.

අපේ රටේ සාතිශය බහුතරයක් ජනතාව,අපේ දරුවන් ඉගෙන ගන්නේ මව් බසින්. සිංහල හෝ දමිළ බසින්.  5% අඩු ගණනක් ළමයි ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා නීති විභාග සියල්ලම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමෙන් මව්බසින් අධ්‍යාපනය ලැබූ දරුවන්ට අසාධාරණයක් සිදු වෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු 5% මව්බසින් අධ්‍යාපනය ලබපු දරුවන්ට සාපේක්ෂව විශේෂ වාසියක් හිමිවෙනවා. ඇත්තෙන්ම විභාගය සමත් වීමේ වැඩි ඉඩකඩක් එවිට ලැබෙන්නේ බුද්ධිමත් දරුවාට නොවෙයි. දැනුම තියන දරුවාට ද නෙවෙයි.  ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න සමත් වෙච්ච වරප්‍රසාද ලැබිච්ච  දරුවන්ට එහෙම නැතිනම් ප්‍රභූ පන්තියේ දරුවන්ට. ඒ නිසා රටට නායකයන් බිහි කිරීමේ නීතීඥ වෘතිය ප්‍රභූ පන්තියට සීමා කිරීමේ කුමන්ත්‍රණයක් විදියටයි අපි මේ කාරණය දකින්නේ.



රම්බණ්ඩා සෙනෙවිරත්න මැතිතුමා වගේ හද්දා පිටිසරින් නීති ක්ෂේත්‍රයට ඇවිල්ලා නීති ක්ෂේත්‍රයේ ජයකෙහෙලි නම්වපු නීති වෘත්තිකයන් අතීතයට පමණක් අයිති පුද්ගලයන් බවට මෙම තීන්දුවෙන් පත් කෙරෙනවා. අපේ මහේස්ත්‍රාත් අධිකරණ දිසා අධිකරණ මහාඅධිකරණවල කටයුතු කෙරෙන්නේ සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පමණයි ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන්නේ. අධිකරණ වලින් 90% ක ම කටයුතු කෙරෙන්නේ සිංහල හා දමිළ භාෂාවෙන් නම් ඉංග්‍රීසි භාෂාවෙන් විභාග පැවැත්විය යුතුයි, අධ්‍යාපනය ලබාදිය යුතුයි කියන තර්කයට තිබෙන පදනම කුමක් ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා. අපට පේන එකම පදනම තමයි ප්‍රභූ පන්තියට නීතිඥ වෘත්තිය සීමා කිරීමට දරන උත්සාහය.



දැන් මේ සභාවේ මතුවෙච්ච තර්කයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. නීතිය පිළිබඳ හොඳ පොත් ලියවිලා තිබෙන්නේ ඉංග්‍රීසියෙන්. එම නිසා නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න ඕනේ කියන එක. අපේ දරුවො වසර දහතුනක් තිස්සේ පාසැලෙහි ඉංග්‍රීසි ඉගෙන ගෙන ඔවුන්ට ඉංග්‍රීසි පත පොතක් කියවා තේරුම් ගන්නට බැරි කමක් නැහැ. ඒ දරුවෝ ඒ ඉංග්‍රීසි පත පොත කියවනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දරුවන්ගේ වාග් මාලාවේ.

ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත දරුවාට සාපේක්ෂව, තමන්ගේ හිතේ මතුවන අදහස ඉංග්‍රීසියෙන් විභාගයකදී ලියාගන්න මව් භාෂාවෙන් ඉගෙන ගත්ත දරුවාට බැරිවෙනවා. ඒ නිසා මේ දරුවන්ට නීතිඥයෙකු වන්න තමන් කැමති භාෂාවකින් විභාගයට ලියන්න අවස්ථාව දෙන්න.  ඊට පස්සේ නීතීඥ වෘත්තියේ ඉහලට යන්න, පොත්පත් නඩු තීන්දු කියවා ගන්න, ඉංග්‍රීසි භාෂාව හදාගෙන ඒ අයට ඇතැම් විට ඉංග්‍රීසියෙන් පාසැල් අධ්‍යාපනය ලැබූ අයටත් වඩා හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් වේවි. ඒ අහිංසක දරුවන්ට මේ වෘත්තියට එන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා කියන එක අප කියනවා.

ඒ වගේම මින් අසරණ වන්නේ ඒ දරුවෝ විතරක්ම නෙවෙයි. මේ රටේ බහුතර ජනතාව අසරණ වෙනවා.  උසාවියට එන්නෙ මව් භාෂාව කතා කරන්න බැරි නීතීඥයෝ නම් අර උසාවියේ සියල්ල සිදුවන්නේ ඉංග්‍රීසියෙන් නම් අපි නීතිඥයාට කිව්ව කරුණු දුන්න තොරතුරු ඒ ආකාරයෙන්ම නීතීඥයා අධිකරණයේ කියනවද නැද්ද කියන එක අර අහිංසකයා දැනගන්නෙ කොහොමද.

sdf



ලෙනාර්ඩ් වුල්ෆ් ගේ බැද්දේගම නවකතාවේ එන සිළිඳුගේ චරිතය බලන්න. උසාවියේ සියල්ල සිදු වන්නේ ඉංග්‍රීසියෙන්. එහි ප්‍රතිඵලයක් විදිහට සිළිඳුට මරණ දඬුවම නියම කිරීමට හේතුව විතරක් නෙවෙයි අඩුම තරමින් සිළිඳුට මරණ දඬුවම දුන්නා කියන එකවත් සිළිඳු දැනගෙන හිටියේ නැහැ. අපි අධිරාජ්‍යවාදී යුගය පසු කරලා ඇවිල්ලා නැවත වතාවක් මේ රටේ අහිංසක ජනතාවට සිළිඳුගේ ඉරණම අත් වන්නට ඉඩ දෙන්න එපා කියලා අපි අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා.



අපි දන්නවා අධිකරණ අමාත්‍යතුමා මේ වැඩේට පෞද්ගලිකව විරුද්ධයි. එතුමා මේ සටනේ ඉන්නේ අපිත් එක්ක. හැබැයි මෙහි අවසන් තීන්දුව තියෙන්නේ නීති අධ්‍යාපන සභාවේ. මේ ප්‍රශ්න කතා කරන්න ආපු නීති ශිෂ්‍යයන් නීති අධ්‍යාපන සභාව ගැන අපූරු තර්කයක් ගෙනවා. ඒක මේ සභාව දැනගත යුතුයි. අධිකරණ අමාත්‍ය තුමාගේ ද අවධානයට යොමු විය යුතුයි. මොකක්ද ඒ කාරණය. නීති අධ්‍යාපන සභාවේ මුලසුනේ ඉන්නේ රටේ ගරු අගවිනිසුරුතුමා. එතකොට මේ නීති අධ්‍යාපන සභාව ගන්නා තීන්දුවකට එරෙහිව නීති ශිෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ පවරන්න බැහැ. ඇයි විනිසුරුවරුන් විසින් ඇගයීමට ලක් කරන්න සිදුවෙලා තියෙන්නේ අගවිනිසුරුතුමන්ව මුලසුනේ තබාගෙන ගත්ත තීන්දුවක්.

 ඔතන විතරක් නෙවෙයි මහපොළ භාරකාර අරමුදල ගත්තත් එහි සභාපති වෙන්නෙත් නිල බලයෙන් අගවිනිසුරුතුමා. මම මේ වර්තමාන අගවිනිසුරුතුමාට දෝෂයක් නගනවා නෙමෙයි. එතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න දා පටන් අපි පෞද්ගලිකව හොඳින්ම දන්නවා. මේ මතු කරන්නේ මේ නීතියේ  තිබෙන ප්‍රශ්නය. විනිසුරුතුමන්ලා විධායකයේ කොටස්කරුවන් බවට පත්වුවහොත් ඒ අය විධායකයේ වාඩිවෙලා ගනු ලබන තීන්දුව නැවත වරක් විනිසුරු පුටුවේ වාඩිවෙලා හරිද වැරදිද කියා බලන්න සිදුවෙනවා.

 විධායකයේ තීන්දුවල නිවැරදිභාවය පරීක්ෂාකර බලන්න තමයි මේ විනිසුරුතුමන්ලා ඉන්නේ. ඒ නිසා මෙතන අනිවාර්යෙන්ම බැඳියාව  පිළිබද ගැටුමක් එනවා. ඒ නිසා විනිසුරුවරුන් විධායකයේ තනතුරු හෙබවීම  නැවැත්වීමට දැනට පවතින නීති සංශෝධනය කරන්න කියලා මම ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.
 

ශ්‍රී ලංකාවේ නීතිය භයානක තැනකට



ඒ වගේම විසිඑක් වන සංශෝධනය සිදු කරන වෙලාවේ ඉතාම වැදගත් කරුණක් අපේ ව්‍යවස්ථාවට එකතු කරන්න අපි අධිකරණ අමාත්‍යතුමා ගෙන් ඉල්ලුවා. ඒ තමයි පශ්චාත් නීති විවරණය. අපේ රටේ නීතියක් සම්මත වුණාට පස්සේ ආයෙ ඒක කොහේවත් අභියෝගයට ලක් කරන්න බෑ. නමුත් ඉන්දියාව වගේ රටවල නීතිය සම්මත වූවාට පසුවත් එහි ව්‍යවස්ථාවට පටහැනි බවක් පේනවා නම් ඒ අයට අධිකරණයට යන්න පුළුවන්. අපේ රටේ පනතක් ගේන්න කලින් ගැසට් මගින් ප්‍රසිද්ධ කරන බව ඇත්තයි. පනත් කෙටුම්පතක්  ගෙනාවට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි බවත් ඇත්තයි. නමුත් පනත් කෙටුම්පතක් කාරක සභා අවස්ථාවේ දී බරපතල වෙනස්කම් වලට ලක් කරනවා. ඒවා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න මෙරට ජනතාවට අවස්ථාවක් නැහැ.  




සමහරු කියන්න පුළුවන් 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ කිසිම පනතකට හරයාත්මකව ආගන්තුක දෙයක් දමන්න බෑයි කියලා. නමුත් එකතු කරන දේ හරයාත්මකව ආගන්තුක ද නැද්ද කියලා කවුද තීරණය කරන්නේ. කාටද මේ බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තමයි මේක කරන්නේ. අපි දැක්කා 2017දී පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ආවා කාන්තා නියෝජනය සහතික කරන්න. හරිම ෂෝක් කියලා කවුරුවත් අධිකරණයට ගියේ නැහැ.  නමුත් කාරක සභා අවස්ථාවේදී ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අයිතිය නැති කළා. ඒක ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.

අධිකරණයේ විනිශ්චකාරවරුන් දෙපාර්ශ්වයේම නීතිඥයන්ට ඇහුම්කන් දීලා ලබාදෙන තීන්දුවයි පාර්ලිමේන්තුවේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ  නිලධාරියෙක්  ගන්න තීන්දුවයි කිසිසේත්ම සංසන්දනය කරන්න බැහැ. එනිසා අද ශ්‍රී ලංකාවේ නීතිය තියෙන්නෙ භයානක තැනක. මෙම භයානක උවදුර වැලැක්වීමට නම් හැකි ඉක්මනින් පශ්චාත් අධිකරණ විවරණය සංකල්පය අපේ ව්‍යවස්ථාවට එකතු කිරීමට කටයුතු කරන මෙන්  අධිකරණ අමාත්‍යතුමා ගෙන් ඉල්ලා සිටිනවා. 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්