මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළඹෙන වසර වන විට හිගයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



ඒ සදහා කෙටි කාලීන, දිගු කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළ රැසක් ගෙන ඇතැයිද එමෙන්ම විවිධ අංශ ඔස්සේ ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක කීය.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ ඖෂධ ගැටලු රැසක් මග හරවා ගැනීමටද හැකි වෙතැයි ඔහු සඳහන් කලේ අද ‍(06) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මෙසේ පැවසිය.



මෙරටට ජීවිතාරක්ෂක ඖෂධ 14 ම රට තුළ පවතී. ඒමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 683 අතරින් 151 ක හිගයක් වෛද්‍ය සැපයුම් අංශයේ පැවතියද රෝහල් පද්ධතිය තුළ එම හිගය ඖෂධ 22 දක්වා අඩුව තිබේ. මෙම ජීවිතාරක්ෂක ඖෂධ 14 අතරින් 02 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර විශේෂයෙන් මේ වන විට දේශීයව නිෂ්පාදනය කරන අනෙකුත් ඖෂධ වැඩි වශයෙන් රෝහල් හා සායන කටයුතු වලදී බෝ නොවන රෝග, හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය හා ගර්භණී මව්වරුන්ගේ විටමින් සදහා භාවිතා කරයි.



'' ජීවිතාරක්ෂක ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට උපරිමයෙන් රැස් කර තබා ගැනීම අපේ අරමුණයි. අතීතයේ සිට කිසිදා 100 % ක් රටතුළ ඖෂධ තිබී නැහැ. ඖෂධ වර්ග 15 ක 25 ක අතර ප්‍රමාණයක් සෑම විටිම අඩුව තිබෙනවා. විශේෂයෙන් අපට මේ ප්‍රශ්නය ඇති වුයේ විදේශ විනිමය හිඟකම නිසායි. ඒ සදහා තමයි රජය මේ වෙනුවෙන් ක්‍රෙඩිට් ලයින් ක්‍රමය හදුන්වා දුන්නේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් , ආසියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 66.6 ක්, ලෝක බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 22 ක් මෙන්ම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් 100 ක් වශයෙන් ඖෂධ සදහා ණය ආධාර ලැබී තිබෙනවා.

එහෙත් ලෝක බැංකුව හැරුණු විට අනෙක් ආයතනයන්හි යම් යම් කොන්දේසි තුළ ඖෂධ ලබා ගැනීමේ යම් ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. එහෙත් මේ වන විට අවශ්‍ය ඖෂධ  ඇණවුම් කර පැවතීම තුළ සාමාන්‍ය තත්වයට පවත්වාගෙන යා හැක.



රටට අවශ්‍ය ඖෂධ වලින් 80 % ක් ආනයනය කෙරේ. රට තුළ නිෂ්පාදනය කරනුයේ 20 % ක්  පමණ ප්‍රමාණයකි. ආනයනික ඖෂධ සදහා ඇණවුම් ලබා දීමේදී ඒවා මෙරටට ගෙන්වා ගැනීම සදහා යම් කාලයක් ගතවන අතර ඇතැම් ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා විශාල කාල පරාසයක් ගත වේ. සාමාන්‍යයෙන් ඖෂධ ඇණවුම් කිරීමේදී අවම වශයෙන් මාස 02 ක පමණ කාලයක් ගත වුවත් එන්නත් වැනි ඖෂධ සදහා මාස 06 ක පමණ කාලයක් ගතවේ. ඇතැම් ඖෂධ සඳහා සැපයුම්කරුවන් සොයා ගැනීම අපහසු වු විට ඒ සදහා යම් ප්‍රමාදයක් සිදුවේ. මෙරට රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයට ඖෂධ ගෙන්වීම සදහා වාර්ෂිකව ඩොලර් මිලියන 750 ක පමණ මුදලක්  වැය වන අතර ඉදිරියේ දී දේශීය ඖෂධ නිෂ්පාදනය 60 % ක් පමණ දක්වා ඉහළ නැංවීම තුළ ඒ වෙනුවෙන් අපට විසදුම් ලබා ගත හැක.




''රෝහල් පද්ධතියේ බරපතළ හිගයක් වාර්තා වී නොමැත''


මෙහිදී අදහස් දැක්වු වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී.සුදර්ශන මෙසේ සඳහන් කළේය.

'' දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි භාවිතා කරන ඖෂධ සියල්ල පාහේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හා දේශීය ඖෂධ නිෂ්පාදන හරහා ලබා ගන්නා ඒවා වේ. මේ තුළ යම් හිගයක් ඇති වන්නේ නම් එය බොහෝ විට සිදුවන්නේ බෙදාහැරීමේ ජාලයන්හි යම් යම් අඩුපාඩු නිසාවෙනි. සෑම සති දෙකකට වරක් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල් සමග ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සුම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවන් පැවැත්වේ. ඒ තුළ රෝහල් පද්ධතියේ බරපතළ හිගයක් වාර්තා වී නොමැත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා බාහිර රෝගී අංශය තුළ භාවිතා කරන ඖෂධ බොහෝ ප්‍රමාණයක් මේ වන විට පවතී. විශේෂයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග හා ගර්භණී මාතාවන් සදහා භාවිතා කරන විටමින් වර්ග රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සදහා ලබා දී තිබෙනවා.

නිර්වින්දන ඖෂධ මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙමින් පවතින අතර ඒවා මේ වන විට වෙළඳපොළේ පවතී. අක්ෂි කාච තොගද ඉදිරි මාසයේදී ලැබීමට නියමිත අතර ඒ අනුව පොරොත්තු ලේඛනයේ ආකාරයට එය ඉදිරියේදී ලබාදෙන අතර ඒ අනුව වර්ග 32 ක අක්ෂි කාච ලබා දීමට හැකි වනු ඇත. අවශ්‍ය ප්‍රතිශක්තීකරණ ඖෂධ ලෝක සෞඛ්‍ය සංවිධානය අතුළු සංවිධාන හරහා නියමිත ආකාරයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින අතර ඒ අනුව බොහෝ ඖෂධ සදහා එතරම් ගැටලු නොමැත.''


''අපි අද මුහුණ දී තිබෙන්නේ පශ්චාත් වසංගත තත්වයකට'' 

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නීතීඥ සරත් ලියනගේ මෙසේ සඳහන් කළේය.

'' අපි අද මුහුණ දී තිබෙන්නේ පශ්චාත් වසංගත තත්වයකට. ඒ තුළ කොවිඩ් වසංගතයට ප්‍රමුඛතාවය ලබා දීම හරහා ඇතැම් ඖෂධ කල් ඉකුත් වු අතර ඉන්පසු ඇතැම් ඖෂධයන්හි අවශ්‍යතාව වෙනත් වකවානු වලට වඩා අඩු වැඩි විණි.

ජුලි මාසයේ සිට වාර්ෂික ටෙන්ඩර් අනුව රුපියල් බිලියන 14 ½  ක ඖෂධ වර්ග 347 ක් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දී තිබෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා. ඊට අමතරව බිලියන 4 ක ඖෂධ වර්ග 285 ක් දේශීයව මිලදී ගෙන තියෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව රුපියල් බිලියන 3 ක ඖෂධ වර්ග  212 ඔසුසල් සදහා ගෙනවිත් තියෙනවා .

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය ජුලි මාසයෙන් පසු පුර්ණව භාර ගැනීමෙන් අනතුරුව ඖෂධ සපයා ගැනීම සදහා මෙවැනි ක්‍රියාදමයන් රැසක් ගෙන තිබෙනවා. අද සිටින නිලධාරීන් තමයි මෙයට පෙර වකවානුවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කර තිබෙන්නේ. එහෙත් එකල ආර්ථීක අර්බුද, වසංගත තත්වයන් මෙන්ම ඩොලර් අර්බුද රටතුළ තිබුණේ නැහැ. අද ඒ සියල්ලටම මුහුණ දෙමිනුයි  ඖෂධ ගැටලුව විසදා ගැනීමට උත්සාහ කරන්නේ. මේ මොහොතේ මා ඉල්ලා සිටිනවා මේ තත්වයට සියලු දෙනා සෞඛ්‍ය ක්ෂේත්‍රයට උදව් කරන්න කියලා. මේ තුළ දේශපාලන වාසියට කටයුතු කිරීම නොවේ කළ යුත්තේ. සියලු දෙනා එකමුතු වෙලා කටයුතු කල යුතුයි.



ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඖෂධ වර්ග හා ශල්‍ය උපකරණ 3000 ක පමණ ප්‍රමාණයක් ඇණවුම් කර තිබෙනවා. ඒ තුළ මෙම ප්‍රශ්නයට විශාල විසඳුම් ප්‍රමාණයක් ලැබෙනවා. ඉදිරි වර්ෂය තුළ මේ ප්‍රශ්නය විසඳාගැනීමට හැකියාව පවතින අතර ඖෂධ තත්වය හොඳ මට්ටමකට පත්වනු ඇත.



මෙහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මෙසේ පැවසිය.

''ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලෙස මෙරට ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වාලීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළ කිහිපයක් ක්‍රියාත්මක කළා. එහිදී ණය වැඩසටහන් යටතේ ලැබෙන ඖෂධ ආනයන ක්‍රියාවලිය පහසු කරගැනීම සඳහාත්, ප්‍රමාදයන් අවම කරගැනීම සඳහාත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගුණාත්මකභාවය වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා.'' 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්