පාර්ලිමේන්තුව විසුරුවා වහා මහ මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් කළ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කොට තිබේ. 

වහාම ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාරදී එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ අසුන් ගත යුතු බව තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. 

වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බව තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සඳහන් කරයි.

ව්‍යවස්ථානුකුලව වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තු මාසයේ අවසන් වන අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ බලයක් හිමිවන්නේ ලබන පෙබරවාරි මාසය අවසානයේදීය. එනම් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 4 1/2 සම්පුර්ණ වූ විටය. 

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජයට පත්කළ එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන පිරිසක් රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව අනුව නිල කාලය අවසන්වීමට පෙර මහමැතිවරණයක් පැවැත්විය යුතුයැයි සඳහන් කරන බවද නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවස්ථාව ලබාදිය යුතු බවය. 

රනිල් කියන කතාව නාමලුත් කියයි !

මේ අතර, ජනාධිපතිවරණයෙන් දුන් ජනමතයට ගරුකරමින් ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා වහාම මහමැතිවරණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සහය දියයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා සිටී. 

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ රට ඉදිරියට ගෙනයාමට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍ය බවය. 

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහද අද නිවේදනයක් නිකුත් කරමින් "ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතානායකතුමා සහ පක්ෂ නායකයන් සමගද, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වෙමු" යනුවෙන් සඳහන් කර තිබේ. 

කථානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් නව ජනාධිපතිතුමන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අගමැතිවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළේය. 

එම සාකච්ඡාවන්හි ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග 3ක් පිළිබඳව අවධානය යොමුව ඇති බව කතානායකවරයා සඳහන් කරයි. 

 1 - ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01  දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීම.

  2 - මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 2/3 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමු වීම.

  3 - අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමන්ට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට්මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැළසීම.


75418910 1431366757028635 10012681163505664 o                                                   නව ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩබාරගැනීමේ උත්සවයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනද එක්විය..

 
 

ඉහත කරුණු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ස්වකීය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තමන් දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන බව කතානායකවරයා සඳහන් කරයි. 

එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ මන්ත්‍රීවරු විසින් ස්වේච්චාවෙන් 2/3 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමුවීම සිදු නොවනු ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් දක්වා නොමැති බවට ද වාර්තාවේ. 

භාරකාර කැබිනට් මණ්ඩලයක්!

පෙබරවාරි මාසය අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට නිත්‍යානුකුල බලය හිමිවන තෙක් භාරකාර කැබිනට් මණ්ඩලයක් හරහා රට පාලනය කිරීමට මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් බීබීසි සිංහල සේවයට සඳහන් කළේය.

ඒ අනුව බොහෝදුරට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස අග හෝ මැයි මස මුල පැවැත්වෙනු ඇති බවය ඔහු කියා සිටියේය. 

මේ අතර අද උදෑසන නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් වැඩ භාරාගත් අතර එම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සහභාගි විණි. 

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්