දෙමළ ජනයාගේ ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඇරයුම් කරන සාකච්ජා වලදී
ස්වයං තීරණ අයිතිය මත පදනම් වූ ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කිරීමට දෙමළ නායකයන් තීරණය කර තිබේ.
''සිංහල දේශපාලනඥයන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුනත්, ඔවුන් මූලිකව සැලකිලිමත් වන්නේ දෙමළ විරෝධී ස්ථාවරයක් වෙනුවෙන් සිංහල ජනතාවගේ සහාය ලබා ගැනීමයි. මෙය දිගටම පවතින තාක් කිසිවක් කරන්න බැහැ. ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) සහ ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (ICESCR) පාර්ශවකරුවෙක්. මේ ගිවිසුම් දෙකම මගින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය ලබා දෙනවා.''යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.
ඉන්දියාවේ පල කෙරෙන `ෆ්රන්ට් ලයින්` සඟරාවට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් දෙමළ ජාතික සන්ධාන නායකයා සඳහන් කරන්නේ කිනම් අයුරකින් හෝ රට බෙදීමට තමන් කැමති නැති බවයි. ``නොබෙදුණු ලංකාවක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒත් එක්කම මෙහෙම දිගටම යන්නත් බෑ.
සති අන්ත ඉංග්‍රීසි පුවත් පතකට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබුනේ දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසදුම් සෙවීමේ ජනාධිපතිවරයා සමග සාකච්ජා දෙසැම්බර් 11 වැනිදා කොළඹ දී පැවත්වීමට නියමිත බවයි.
''අපි සාකච්ඡාවට කොන්දේසි දාන්නේ නැහැ. නමුත් උතුරු නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් ආණ්ඩුවට, හමුදාවට පවරා ගැනීම වැනි කරුණු ගැන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.''
'' උපරිම ලෙස බලය බෙදා හැරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ද අපි යෝජනා කරනවා. ඒ වගේම ස්වයං නිර්ණය යටතේ ෆෙඩරල් ක්‍රමයකින් විසදුමක් ලබා දී ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් අපි යෝජනා කරනවා.''
හැත්තෑ පස් වසරක් පුරා මෙවැනි සාකච්ජා, ගිවිසුම් හා සම්මුතිවලට එළඹිය ද කිසිදු ප්‍රයෝජනයක් නොවූ බවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය නොකරන ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පෙන්වා දෙයි.
''රනිල් ගේ ඇරයුම් පිළිගෙන නිකම්ම සාකච්ජාවට වාඩි වෙලා බැහැ. දෙමළ ජනතාව දෛනිකව මුහුණ දෙන ප්‍රශ්න වලට විසදුම් හා ව්‍යවස්ථා අඩංගු කරුණු සාකච්ජාවට කලින් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න ඕනෑ.''
ඒකීය රාජ්‍යයක් තුල සිට සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් ගැන කතා කළ නොහැකි බැවින්, සාකච්ජාවට පෙර ඒ ගැන ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දිය යුතු බව දෙමළ දේශීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් යෝජනා කරයි.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් කියා සිටියේ රැවටීම අවම කර ගැනීම සඳහා මධ්‍යස්ථ තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ කර ගත යුතු බවයි.
දෙමළ නායකයන්ට ‘ලැජ්ජා නෑද්ද?’
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ජා කිරීමට සුදානම් බව පවසමින් දෙමළ ජනයා පමණක් නොව ජාත්‍යන්තරයත්, සිංහල ජනතාවත් රවටන බවට උතුරු නැගෙනහිර පළාතේ රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය සඳහන් කරයි.
''`අපි දෙමළ දේශපාලඥයන්ට කියන්නේ ඔයගොල්ලොන්ට ලැජ්ජා නැද්ද අවුරුදු 75 ක් තිස්සේ සිංහල නායකයන්ට රැවටිලා තවත් රැවටෙන්න. මේ දෙමළ නායකයෝ තවමත් සිංහල නායකයන්ව අවබෝධ කරගෙන නැහැ. තවමත් ඒගොල්ලෝ කියන්නේ ලංකාව සිංහල බෞද්ධ දිවයින කියලා. එහෙම හිතන, කියන ආණ්ඩු එක්ක කතා කරලා විසදුම් ගන්න පුලුවන්ද,'' යැයි උතුරු නැගෙනහිර අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් කේ. රාජ් කුමාර් ප්‍රශ්න කරයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හරහා පළාත් සභාවලට බලය ලබා ගැනීම දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශය බව පවසන ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන දෙමළ ඊළාම් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අවධාරණය කරනුයේ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය දෙමළ ජනයා විසින් 80 දශකයේදී දැනුවත්ව ප්‍රතික්ෂේප කළ බවයි.
සිංහල දේශපාලකයන් විසින් යෝජනා වී ඇත්තේ දේශපාලනිකව බලය විමධ්‍යගත කරනු වෙනුවට පරිපාලන බලය දිස්ත්‍රික් වලට බෙදා දීමයි. එහිදී දේශපාලන අධිකාරය දිගටම පවතිනු ඇත්තේ කොළඹ ආණ්ඩුව අතය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී පසුගිය දා කියා සිටියේ, පළාත් සභා ක්‍රමය අත්හැර ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1981 දී හඳුන්වා දුන් දිස්ත්‍රික් සංවර්ධන සභා යළි ක්‍රියාත්මක කර ඊට බලය බෙදා හරින ලෙසයි.
දිස්ත්‍රික් සංවර්ධන සභා යළි ක්‍රියාත්මක කිරීමට තමන් එකඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබුණි.
''ජනාධිපතිට ඕනේ නම්, රටේ දකුණට දිස්ත්‍රික් සංවර්ධන සභා දාගන්න ඒකයි ඇත්තේ. එත් දෙමළ ජනතාව ඉල්ලා සිටින්නේ ඒකාබද්ධ කළ උතුරු නැගෙනහිරක් සමග බලය බෙදා ගන්නා පෙඩරල් ක්‍රමයක් පමණයි,'' යනුවෙන් මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරන ගෝවින්දන් කරුණාකරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒකීය රාජ්‍යය
''මේ ඒකීය රාජ්‍ය ඇතුලේ ඉඳන් කිසිම විසදුමක් අපේ ජනතාවට ලැබෙන්නේ නැහැ. දෙමළ ප්‍රදේශවලට ෆෙඩරල් සිස්ටම් යටතේ විසදුම් දෙන්න ඕනා. ආණ්ඩුව මේ ගැන සිංහල ජනයාට ප්‍රසිද්ධියේ පැහැදිලිව කියන්න ඕනේ. එහෙම නැතුව දෙමළ නායකයෝ සාකච්ජාවට වාඩි වුණා කියලා වැඩක් නැහැ,''යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ දෙමළ ජනයා මුහුණ දෙන ගැටළු වලට විසදුම් සෙවීම සඳහා බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයකු සමග කතා බස් කිරීමෙන් කිසිදු පලක් නොවන බවයි.
බහුතර බලයක් නොමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ජා කිරීමෙන් ෆෙඩරල් විසදුමක් ලබා නොහැකි බවත්, ඔහු ලබා දෙන විසදුම් පාර්ලිමේන්තුවේ සිටින බහුතරය පිළිනොගන්නා බවත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්ද සංගරී පවසයි.
''දෙමළ ජනතාවගේ ජාතික ප්රශ්නය ගැන මේ නායකයෝ කා එක්ක කතා කළත් ඉන්දියාව අතේ තමයි අවසාන තීන්දුව තියෙන්නේ. ජනාධිපති ඇරයුම් කළා අපි යනවා කියන එක දෙමළ ජනතාවට විසදුමක් නොවේ.''
දෙමළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යළි ස්ථාපිත කිරීමට වෑයම් කිරීම ගැටලුවට විසදුමක් නොවන බව තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් සඳහන් කරයි.
'' දෙසැම්බර් 11 වෙනිදා ජනාධිපති එක්ක රැස්වීමට සූදානම් වීම සඳහා අයවැය විවාදය අවසන් වූ පසු ටී. එන්. ඒ. සාමාජිකයින් යළි හමුවෙන්න නියමිතයි.''
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න