හර්ෂණී සහ ඇගේ දරුවා
නිතීෂාට දැන් වෙනදා තරම් සෙල්ලම් කිරීමට නොහැකි ය.
තුන් හැවිරිදි ඇයගේ බර අඩු වී ඇති අතර පාදවල වේදනාවක් සහ ශාරීරික දුර්වලතාවක් ගැන මැසිවිලි නගයි. නිතීෂා ප්‍රමාණවත් ආහාර නොලබන අතර මන්දපෝෂණයෙන් පෙළෙන බවට වන වෛද්‍යවරයාගේ රෝග විනිශ්චය පැහැදිලිය.
නමුත් ඊට ප්‍රතිකාර ලෙස නිර්දේශ කර ඇති පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම ඇයගේ පවුලේ අයට දුෂ්කර ය.
ශ්‍රී ලංකාවේ බොහෝ මිනිසුන්ගේ මෙන්, රට මධ්‍යයේ පිහිටි, හන්තාන ප්‍රදේශයේ තේ වතු ගම්මානයක සිටින මෙම පවුලේ ද ආර්ථිකය කඩා වැටී තිබේ.
"බත් එක්ක අල නැත්නම් පරිප්පු - එක ම දේ එක්ක අපි යන්තම් දවසකට වේල් දෙකක් පිරිමහ ගන්නවා. වෙන කිසි දෙයක් ගන්න අපිට පුළුවන් කමක් නෑ,"
නිතීෂාගේ මව හර්ෂිනී පවසයි. ඇය පැවසුවේ, සති ගණනික් ඇයගේ පවුලේ අය කිරි හෝ බිත්තර ආහාරයට ගෙන නොමැති බව ය.
මාසයක් පමණ වයසැති හර්ෂිනීගේ බාල දියණිය උපත ලැබුවේ ද අඩු බරකිනි. ප්‍රධාන වර්ධක හෝමෝනයක් වන තයිරොක්සින් ඌණතාවකින් බිළිඳිය පෙළෙයි.
ගර්භණී පෝෂණය අඩු වීමේ සෘජු බලපෑම හේතුවෙන් ඉහළ යන අඩු උපත් බරකින් උපදින ළදරුවන්ගේ ලැයිස්තුවට ඇය ද ඇතුළත් වී සිටියි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලික ගැටලුව බවට ආහාර පත් වී තිබේ. ආදායම් අඩුවෙමින් පවතින අතර ආහාර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත. ඒ හේතුවෙන් ආහාර වේල් මගහැර බඩගින්නේ සිටීමට පවුල්වලට බල කෙරී ඇත.
නිතීෂාගේ ගමේ බොහෝ දරුවෝ දැන් නිතර රෝගී වෙති. ප්‍රදේශයේ වෛද්‍යවරුන් පවසන්නේ, ප්‍රමාණවත් ආහාර නොලබන රෝගී දරුවන් වැඩි වශයෙන් ඔවුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බව ය.
අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි වෛද්‍යවරයෙකුට අනුව, "මන්දපෝෂණයේ බලපෑම් පේන්න කාලයක් ගත වෙනවා." "දැනට ප්‍රමාණවත් ලෙස ආහාර නොලබන බොහෝ දරුවන් ශරීරයේ ගබඩා කර ඇති සංචිත භාවිත කරන නමුත් අඛණ්ඩ පෝෂණ ඌණතාවක් දිගුකාලීන බලපෑමක් ඇති කරාවි."
යුනිසෙෆ් ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි රටේ ළමුන් 56,000ක් පමණ දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති.
ලෝක ආහාර වැඩසටහනේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ පවුල්වලින් තුනෙන් එකකට පමණ සුරක්ෂිත ආහාර ප්‍රභවයක් නොමැති අතර 70%ක් පමණ ආහාර වේලේ ප්‍රමාණය අඩු කරයි.
මන්දපෝෂණය සහ මව්වරුන්
සිව්මස් ගැබිනියක වන හන්තාන ප්‍රදේශයේ 24 හැවිරිදි කාංචනා නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින්නී ය.
"නිවුන් දරුවෝ නිසා මට නිතරම බඩගිනි වෙනවා, ඉතින් මම බත් කනවා. මාළු, බිත්තර, පලතුරු හොඳයි, ඒත් ගණන් වැඩියි. ගණන් වැඩි කෑම ජාති ගන්නවා ද පරීක්ෂණ සහ බෙහෙත්වලට වියදම් කරනවා ද කියන දෙකෙන් එකක් අපිට තෝරා ගන්න වෙලා."
කිලෝමීටර් කිහිපයක් එහා තවත් ගමකදී අපි දේවි හමුවුණෙමු. සිය දෙවන දරුවා අපේක්ෂාවෙන් ගැබ්බරව සිටිය ද ඇය දැඩි ලෙස රක්තහීනතාවෙන් පෙළෙන අතර අඩු බරින් යුක්ත ය. බත් සහිත ආහාර වේලක් සහ රජයේ සායනයෙන් නොමිලේ ලැබෙන විටමින් අතිරේක හැරුණු විට ඇගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඇති විකල්ප සීමිත ය.
නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින කාංචනා
"මට ඕනෑ වුණේ මගේ දෙවන දරුවා නිරෝගී වෙන්න, ඒත් තත්ත්වය හරි ම නරකයි. මම හරියට කෑවේ නැත්නම් ඒක මගේ දරුවාගේ වර්ධනයට බලපානවා කියලා දොස්තර කියනවා."
තත්ත්වය අනාරක්ෂිත ය. ප්‍රදේශයේ ගර්භණී කාන්තාවන් 10 දෙනෙකු සමග බීබීසීය කතා කළේ ය. සෑම කෙනෙක් ම තම දෛනික ජීවිතය පවත්වා ගෙන යාමට උපකාර සොයමින් සිටියහ. ගර්භණී කාන්තාවන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ පෝෂණ වැඩසටනහක් අරමුදල් නොමැති වීම හේතුවෙන් පසුගිය වසරේ අත්හිටුවීය.
පසුගිය මාසයේදී එය නැවත ආරම්භ කළ ද ප්‍රතිලාභ ලැබී ඇත්තේ සුළු පිරිසකට පමණි.
"අපි ගොඩක් දෙනෙක් ඒකට ඉල්ලුම් කළා, ඒත් මගේ ගර්භණී කාලයෙන් භාගයක් ගෙවිලත් මට තාම එක පැකට් එකක්වත් ලැබිලා නෑ," දේවි පැවසුවා ය.
යුනිසෙෆ්හි ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් ප්‍රකාශ කළේ: "මව්වරුන් ඔවුන් පෙර සිටි පරිදි පෝෂණය හෝ හොඳින් ආහාර හෝ ලබන්නේ නැහැ. ඒ වන විටත් එය ප්‍රශ්නයක් වී තිබුණු අතර, දැන් නරක අතට හැරිලා. ගර්භණී සමයේදී කාන්තාවන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන නිසා අඩු බර දරු උපත් ශ්‍රී ලංකාවේ විශාල ප්‍රශ්නයක් වෙලා."
කුසගින්නෙන් පෙළෙන පාසල් දරුවෝ
මතුගම පිහිටි හොරවල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය, අනෝමා ශ්‍රියාංගි ධර්මවර්ධනට අනුව, "ප්‍රාථමික ශ්‍රේණිවල සිට මේ ළමයින්ගෙන් වැඩි දෙනෙක් පාසල් ආවේ කිසි ම දෙයක් නොකා." "මාස තුනකට හතරකට කලින් පාසල් රැස්වීමේදී අඩු ම තරමින් ළමයින් 20-25ක් දිනපතා ක්ලාන්ත වුණා."
ඉවුම් පිහුම් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දෙමාපියන්ගේ සහයෝගය ඇතිව පාසල කැඳ ලබා දීමේ සහ දිවා ආහාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළේ ය. වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊට ලැබෙන පරිත්‍යාග අවශ්‍ය ය.
ප්‍රජා මුළුතැන්ගෙවල් සහ මෙවැනි ආහාර ලබා දීමේ වැඩසටහන් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ආහාර ගැටලු විසඳීමට උපකාරී වන නමුත් තවමත් බොහෝ දරුවෝ කුසගින්නේ සිටිති.
ශ්‍රී ලංකාවේ Food First Information & Action Networkහි (FIAN) සභාපති එස්. විශ්වලිංගම්ට අනුව, "අවම වශයෙන් ළමුන්ගෙන් 20%ක් උදේ ආහාරය නොගෙන හිස් බඩ පාසල් යයි."
ප්‍රාථමික සහ ද්විතීයික පාසල් ළමුන් සඳහා පසුගිය මාස හය තුළ, FIAN ආහාර වැඩසටහන් සංවිධානය කරමින් සිටියේ ය.
ළමයින් උදේ ආහාරය නොගෙන බඩගින්නේ පාසල් යන බව විශේෂඥයෝ පවසති
විශ්වලිංගම් මහතා ප්‍රකාශ කළේ, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ශ්‍රී ලංකාවේ දරුණුතම බලපෑමට ලක් වූ තේ වතු ප්‍රදේශවල වැඩි සිසුන් පිරිසක් පාසල් හැර යන බව ය.
දිනකට සහතික ආහාර වේලක් ලබා දෙන, මෙම පාසල් ආහාර වැඩසටහන්, දරුවන් නැවත පාසල් වෙත ගෙන එන්න උදව් කරනවා," ඔහු පැවසීය.
"ජීවිත බේරා ගන්න සහ දේවල් නරක අතට හැරීම වළක්වන්න ආහාර වැඩසටහන් උදව් කරනවා. ඒත් ඒක තවමත් තාවකාලික පියවරක්," ස්කූග් මහතා පැවසීය.
මුලදී එය ප්‍රතික්ෂේප කළ ද වර්ධනය වෙමින් පවතින අර්බුදයක් වන උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් පිළිගෙන තිබේ. නිසි ලෙස වර්ධනය නොවීම, වයසට සරිලන උස නොමැති වීම, කෘෂ වීම සහ උසට සරිලන බර නොමැති වීම පසුගිය වසර තුළ ළමුන් අතර සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දුන්නේ ය.
ඔක්තෝම්බර් මාසයේදී රජය කියා සිටියේ, පාසලේදී නොමිලේ දිවා ආහාර ලබා දීම සහ කුඩා දරුවන් සඳහා පෝෂණ අතිරේක ලබා දීමේ සිය වැඩසටහන දෙගුණ කරන බව ය.
කෙසේ වෙතත්, විශ්වලිංගම් මහතා අනතුරු අඟවූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට විසඳුම් ලැබීමටත් පෙර ඒවා උග්‍ර වීමට ඉඩ ඇති බව ය.
"ආර්ථික අර්බුදය කෙටි කාලීනව විසඳන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ නෑ, සහ මේ කාලය තුළදී පෝෂණය පිළිබඳ ඇති ගැටලුව තවත් නරක අතට හැරෙන එක විතරයි වෙන්නේ," ඔහු පැවසීය.
(BBC සිංහල සේවය)