ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ කාට යහන්ගතවීමට දැයි සමගි

ජන බලවේගයේ පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී ඊයේ (9)  ප්‍රශ්න කළේය.

පෞද්ගලික ආයතනයක් පාර්ලිමේන්තුව ඇතුළට මෙලෙස භාණ්ඩ ගෙන ඒම ජනාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටද විශාල තර්ජනයක් බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

පතිරණ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

'' මේ පාර්ලිමේන්තුවට ජූලි මාසේ 28 දහවල් 11.00 ට භාණ්ඩ වගයක් ඇවිල්ල තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවෙන් මිලදී ගැනීමක් කරල නැහැ. මම ඒ රිසිට් සියල්ල සභාගත කරනවා. මේක ගෙනල්ලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනය මුදල් ගෙවලා තියෙන්නේ. ඒ භාණ්ඩ ඇවිල්ල තියෙන්නෙ ජනාධිපතිතුමාගේ කාර්යාලයට. එතකොට ඒ ඔක්කොටම අස්සන් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම්තුමා. මම ඒ ලියකිවිලි සභාගත කරනවා.

ඒ භාණ්ඩ අතර සුපිරි මෙට්ටයක් තියෙනව. ඝනකම අඩියකට වැඩියි. මෙහෙම මෙට්ටයක් මේ කාමරයට ගෙනාවෙ මොකටද. මම දන්න තරමට ජනාධිපතිතුමාගේ කාමරේ කවුරුත් බුදි යන්නේ නැහැ. එකේ කවුරුහරි යහන්ගත වෙනවද කියන එක බරපතළ ප්‍රශ්නයක්. නැත්නම් ජනාධිපතිතුමා යහන්ගත වෙන්න ඕන. එහෙම නැත්නම් කාර්ය මණ්ඩලය. මේ ගැන පරීක්ෂණයක් කරන්න. අගමැතිතුමනි ඕනිනම් අපිත් එන්නම් බලන්න. ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාවටත් හොඳයි. සභාවේ ආරක්ෂාවටත් හොඳයි. මේ විදියට මේ වගේ බඩු ගේන්න පුලුවන්ද. රුපියල් තුන්ලක්ෂ හතළිස් දෙදහසක ඩබල් බෙඩ් එකක්  ගෙනල්ලා තියෙනවා. සින්ගල් බෙඩ් එකක් නම් තව හිතන්න තිබුණා. ඊට අමතරව දෙලක්ෂ හැත්තෑ තුන් දහසක පුටුවකුයි එක්ලක්ෂ දහනව දහසක   මෙට්ටෙකුයි ගෙනල්ලා තියෙනවා.'' සජබ මන්ත්‍රීවරයා පැවසිය.



''වැදගත් දේවල් කතා කරන්න තියෙද්දි ඇඳක් ඇද ගන්නවා''



බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ කතාවට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මෙසේ පැවසිය.

''දැන් මේ කාරණය ඔබතුමාලා පුන පුනා කියනවා. කතානායකතුමා තීන්දුවක් ගත්තා. බලලා කියන්නම් කියලා කිව්වනේ. ඔබතුමා ඔය ඇඳේ නිදි යන්නේ නැහැනේ. මම දන්නේ නැහැ ඔබතුමා යනවද කියලා. ඕකට ඔච්චර උනන්දු නිසා කියන්නේ. වැදගත් දේවල් මෙතන කතා කරන්න තියෙද්දි ඇඳක් ඇද ගන්නවා. ඇඳවල් ගැන කතා කරන්නෙ නැතුව රටේ ප්‍රශ්න ගැන කතා කරන්න.''



''විපක්ෂ නායකවරයාටත් පාර්ලිමේන්තුවේ ඇඳක් තියනවා''


සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පාර්ලිමේන්තුවේදී පැවසුයේ, පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ දිරාපත් වී තිබූ හෙයින් වත්මන් ජනාධිපතිවරයා පෞද්ගලික මුදලින් එම ගෘහ භාණ්ඩ ලබාගෙන පාර්ලිමේන්තුවට එය පරිත්‍යාග කළ බවයි.



ජනාධිපතිට අගමැතිට මෙන්ම විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ විවේක ගැනීමට ඔවුන්ගේ කාර්යාලය කාමර වල ඇඳක් හාන්සි පුටුවක් ආදිය තිබෙන බව කී ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා, ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ කාලයක් තිස්සේ පාවිච්චි කිරීම නිසා දිරාපත් වී ඇතැයි දැනගන්නට ලැබී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මුදලින් ඒවා ලබා ගන්නට කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්