ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සමාජ ජාලා, වෙබ් අඩවි අවභාවිතා කිරීම පිළිබඳ දැනුවත් කරමින් සියලුම යුධ හමුදා සාමාජිකයින් වෙත තහනම් නියෝග
කිහිපයක් නිකුත්කර තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ගේ අත්සනින් යුතුව 2022 දෙසැම්බර් මස 10 වෙනිදා එම නියෝග නිකුත්කර ඇත.
සමාජ ජාලා වෙබ්අඩවි, මෘදුකාංග භාවිතයේදී යුධ හමුදා සමාජ ජාලා ප්‍රතිපත්තිය හා ඉහත සඳහන් කරුණු වලට අනුකූලව කටයුතු කිරීම පිළිබඳ සියලුම යුධ හමුදා නිලධාරීන් සෙසු නිලයන් දැනුවත් කරන්නයි එම නියෝගය මගින් හමුදාවේ සියලු අංශ ප්‍රධානින් දැනුවත් කර තිබේ.
එම නියෝගයේ මෙසේ සඳහන් වේ.
(01) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් හට වෙබ් අඩවි/මෘදුකාංග පරිශීලනයේදී යුද්ධ හමුදා විනය හා යුද්ධ හමුදා ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම පිළිබඳ උපදෙස් යොමුව "අ" දරන හමුදා නියෝගය මගින් ලබාදී ඇති අතර, සයිබර් ආරක්ෂණ ඒකකය මගින් නිලධාරී/සෙසු නිලයන් විසින් යුද්ධ හමුදා සමාජ ජාලා මාධ්‍ය භාවිතය උල්ලංඝනය කිරීම නිරීක්ෂණය කිරීම හා ඒ සබැඳිව වාර්තා කිරීම් සිදු කරනු ලැබේ.
(02) - තවද යොමුව "අ" දරන හමුදා නියෝගය මගින් සමාජ ජාලා වෙබ් අඩවි/මෘදුකාංග යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව පහත සඳහන් කරුණු අන්තර්ගත කොට ඇත.
අ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියන් හි නිල නිවේදන පළකිරීමේ අයිතිය පවතින්නේ අධ්යක්ෂ ජනමාධ්‍ය හා යුද්ධ හමුදාපති විසින් බලය පවරන ලද නිලධාරීන්ට පමණි.
ආ.) නිල ඇඳුම හෝ හමුදා ආයතන/උපකරණ පෙන්නුම් කරන පැතිකඩ ඡායාරූප (profile pictures) හෝ පසුතල ඡායාරූප (cover photograph) ප්‍රදර්ශනය තහනම් ය.
ඇ.) සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතුය. නිල අනන්‍යතා හා තොරතුරු යන්නට තනතුර, ඒකකය, නිල නාමය, පත්වීම හා මූලස්ථානය මෙන්ම රාජකාරි ස්ථානය යන කරුණුද ඇතුළත් වේ.
ඈ). පහත සඳහන් ආකාරයේ කරුණු පිළිබඳ සබැඳුමක (link) හෝ කිසියම් හුවමාරුවක් සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි වල උත්පතනය කිරීම (uploading) පෝස්ට් කිරීම (posting) එමගින් යොමුකිරීම (forwarding) සහ බෙදා හැරීම (sharing) තහනම්ය.
1). ජාතික ආරක්ෂාව, යුදමය කරුණු හෝ හමුදාවේ නිලධාරියකු පිළිබඳ රහස්‍ය තොරතුරු මුදා හැරීම.
2). අපහාසාත්මක අසභ්‍ය කාමුක දේශපාලනික හෝ ඒ හා සම්බන්ධ වෙනත් කරුණු.
3). වාර්ගික-ආගමික සුසංවාදය ට හානි පමුණුවන කරුණු.
4). කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් පිළිබඳ අපකීර්ති කර ප්‍රකාශ.
5). ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන ඕනෑම නීතියකින් තහනම් කළ කිසියම් කරුණක් සයිබර් අවකාශයෙහි පෝස්ට් කිරීම (posting) හෝ හුවමාරුවක් සිදු කිරීම.
(03 )- එමෙන්ම IMO live, tik tok, Viber, WhatsApp, Facebook, WeChat වැනි මෘදුකාංග භාවිතා කරමින් තම යුද හමුදා අනන්‍යතාවයන් පිළිබිඹු වන ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම ද මේ වන විට බහුලව නිරීක්ෂණය වන අතර එයද යුධ හමුදා නියෝග වලට අනුව පටහැනි කරුණක් බැවින් එවැනි ක්රියාවලීන්ගෙන්ද යුධ හමුදා සාමාජිකයින් වැළකී සිටින ලෙස දන්වා සිටිනු ලැබේ.