ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ප්‍රකාශ මුළුමනින්ම

අසත්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

''ජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ බොරු....''  යයි ඔහු කියා සිටියේ, අද (14 ) දින පැවති මාධ්‍ය හමුවක දී ය.


එහෙම කියන්නේ ඇයි?

''අපේ ණය ප්‍රධාන කොටස් 4ක් තිබෙනවා.  

# දේශීය ණය,
# ද්විපාර්ශවීය ණය,
# බහුපාර්ශවීය ණය,  
# ජාත්‍යන්තර වෙළඳපොල ණය කිය
න්නේ ඒ හතරටයි.


ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන වලින් ගත් ණය තමයි බහුපාර්ශවීය ණය කියන්නේ. බහුපාර්ශවීය ණය ‍ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ දක්වා කිසිම ඵලදායි සාකච්ඡාවක් පවත්වා නැහැ. සිම්බාබ්වේ වැනි රටවල් මෙම ජාත්‍යන්තර ආයතනත් එක්ක සාකච්ඡා කරලා සිය ණය ප්‍රතිව්‍යුහගත කරගෙන අවසන්.  අපි තවම ඒ ගැන සාකච්ඡා ආරම්භ කරලාවත් නෑ.  

ද්විපාර්ශවීය ණය කියන්නේ විවිධ රටවල් වලින් ගත් ණය. පැරිස් ක්ලබ් කියන සංවිධානය නම් ලංකාව විසින් ණය ආපසු ගෙවීම වසර දහයකට අත්හිටුවන්න යෝජනා කරලා තිබෙනවා. නමුත් ඒ සංවිධානයේ ඉන්නා බටහිර රටවල් අපට ණය දීලා තිබෙන්නේ සොච්චමයි. ජපානය, චීනය සහ ඉන්දියාව තමයි අපට දැවැන්ත ලෙස ණය දුන් රටවල්. මේ කිසිම රටක් සමග අවසන් එකඟතාවයකට පැමිණීමට තවමත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.


ණය වලින් 35%ක් කපා හැරීමේ යෝජනාවක්


වඩාත් දුෂ්කර සාකච්ඡාව තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ බැඳුම්කර හිමියන් සමගයි. ඒ අය විවිධ ආයෝජකයින්. නැතිනම් අන් අයගේ ආයෝජන බලා ගන්නා කළමනාකරුවන්. එතැන දහස් ගණනක් ඉන්නවා. ඒ සියළුම දෙනා එකඟ වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ. ලබා ගත් ණය වලින් 35%ක් කපා හරින මෙන් ආණ්ඩුව ඉල්ලා තිබෙනවා. එයට එකඟ වෙලා තිබෙන්නේ බැඳුම්කර හිමියන්ගෙන් 40%යි. 100% එකඟ නොවී මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්න බැහැ. බොහෝවිට සියළුම දෙනා එකඟ වෙන ණය කපා හැරීම 10%ක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේම සියළුම දෙනාගේ එකඟතාවය ගන්න තව මාස තුනකට වඩා යන්න පුළුවන් කියන එක තමයි විශේෂඥ මතය.



වඩාත්ම අභියෝගාත්මක දේ තමයි ණය කපා හැරීමකට යන්න නම් දේශීය ණය ද යම් ප්‍රමාණයක් කපා හැරිය යුතු බවට බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරන කොන්දේසිය. දේශීය බැඳුම්කර මිල දී ගෙන තිබෙන්නේ රාජ්‍ය බැංකු, රක්ෂණ සංස්ථා, අර්ථසාධක අරමුදල් වගේ අය. ඒ නිසා දේශීය ණය කපා හැරීමකට ගියොත් රාජ්‍ය බැංකු ඇද වැටෙන්න පුළුවන්. විශ්‍රාම යන අයට ගෙවීම් කරන්න අර්ථසාධක අරමුදල් වලට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා දේශීය ණය කපා හැරීමක් කරන්න බෑ කියලා ආණ්ඩුව ඉතාම නිවැරදිව කියනවා. නමුත් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඒකට එකඟ නෑ. ඔවුන් අහනවා ඇයි අපේ ණය කපා හරිනවා නම් ඇයි දේශීය ණය කපා හරින්නේ නැත්තේ කියලා. මේකත් ණය ප්‍රතිව්‍යුහකරණයට තිබෙන ලොකුම බාධාවක්.

 


ආණ්ඩුවේ එකම බලාපොරොත්තුව ඩයස්පෝරාවයි !

ericජනාධිපති උපදේශක එරික් සෝල්හයිම්


මේ සියළු ගැටළු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් ජනවාරි මාසයේ තියා මාර්තු මාසයේ වත් ලැබෙයි කියා ආණ්ඩුවට ලොකු විශ්වාසයක් නෑ. ඒ නිසා අද ආණ්ඩුවේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ මේ රට දෙපළු කරන්න දස දහස් ගණනින් අහිංසක ජනතාව ඝාතනය කරන්න රණවිරුවන් ආබාධිත කරන්න අරමුදල් යෙදවූ දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයගෙන් සල්ලි ගන්න තමයි එරික් සෝල්හයිම් ජනාධිපති උපදේශක වෙන්නේ. විදේශ අමාත්‍යාංශයේ ඩයස්පෝරා අංශයක් පිහිටුවන්නේ. ඒ වගේම ඊයේ දිනයේ බලය බෙදීම පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ.



රටම සමගි වෙන්න ඕනි අවස්ථාවක ජනතාව බෙදන්නේ ඇයි?

රට පෙඩරල් කරන දෙමළ බෙදුම්වාදින්ගේ ඉල්ලීම වසර 70කට වඩා පරණයි. මුලින්ම ඒ ඉල්ලීම ඉටු කරන්න හැදුවේ 1957. රට පෙඩරල් කිරීම තරම් මේ රටේ ජනමතය දෙකට බෙදන රට ඇවිස්සෙන යෝජනාවක් තවත් නෑ. පසුගිය වසර 65 පුරා හැමදාමත් ආණ්ඩු සිදු කලේ දෙමළ ඉල්ලීම මත රට පෙඩරල් කිරීමේ යෝජනාව ගෙන ඒමත් සිංහල සමාජයෙන් මතු වන විරෝධය නිසා ඒක හකුලා ගැනීමත්. ඒ අත්දැකීමෙන් පාඩමක් ඉගෙන නොගෙන මේ අර්බූදයක් මැද ඒ දේම නැවත කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.  



මේ ආර්ථික අර්බූදය තමයි අපි නිදහසින් පසු මුහුණ දෙන ලොකුම අභියෝගය. එය විසඳා ගන්න සමස්ත ජාතියම සමගි වෙන්න ඕනි. සමස්ත ජාතියම එක මිටියට ඇවිත් අභියෝගයන්ට මුහුණ දිය යුතු මොහොතක ජාතිය වඩාත්ම තියුණු ලෙස බෙදී සිටින ප්‍රශ්නය ඉදිරියට ගන්න ආණ්ඩුව කටයුතු කරන්නේ ඇයි කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. ඒ වගේම ජනාධිපතිතුමා කියන්නේ පෙබරවාරි 4දා නිදහස් දිනය වන විට බලය බෙදීමේ යෝජනාවලියකට එකඟතාවයක් ඇති කර ගන්න ඕනි කියලා. අද සිට නිදහස් දිනයට තිබෙන්නේ දින 52යි. වසර 65ක් එකඟතාවයකට එළැඹෙන්න බැරි වුණු ප්‍රශ්නයක් දින 52කින් විසඳන්න පුළුවන් කියා කවුරු හරි හිතනවා නම් එයා ජීවත් වෙන්නේ මේ ලෝකයේ නොවේ.



ආණ්ඩුව හැසිරෙන්නේ පිස්සෙක් වගේ

එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් නැවත නැවත කරන්නේ පිස්සන් පමණයි කියලා ඇල්බට් අයින්ස්ටයින් කියලා තිබෙනවා. වසර 65ක් පුරා පරීක්ෂණයේ ප්‍රතිඵලය දනිමින් වෙනස් ප්‍රතිඵලයක් ආණ්ඩුව මෙවර බලාපොරොත්තු වෙනවා නම් ඇත්තටම ආණ්ඩුවට පිස්සු.  කියන්නේ මම නොවේ.  ඇල්බට් අයින්ස්ටයින්.


මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හා ගම්මන්පිල ගේ ප්‍රතිචාර


ප්‍රශ්නය:
ඔබතුමන්ලා අලුත් සන්ධානයක් හදන්නද හදන්නෙ. කවුද ඒ සඳහා දායක කර ගන්නේ ?

පිළිතුර:
අපි විපක්ෂය ඇතුලේ හදන්නට පුළුවන් පුළුල්ම දැවැන්තම සන්ධානය හදන්න මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නවා. ඊට එකතු වෙන්නේ කවුද කියන එක මූණ බලලා නෙවෙයි තීරණය කරන්නේ. මත වාද බලලයි. මේ සඳහා සිදු කෙරෙන සාකච්ඡා තුළ ඇතිවෙන මතවාදී එකඟතාවන් මතයි එකතුවෙන පිරිස තීරණය වෙන්නේ.


 ප්‍රශ්නය:
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි ඔබතුමා විශ්වාස කරනවාද ?

පිළිතුර:
අපි තුන් ආකාරයට ත්‍රස්තවාදයකට මුහුණ දී තිබෙනවා. මුලින්ම අපි මුහුණ දුන්නේ මතවාදී ත්‍රස්තවාදයට. ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 87 ගෙනාවෙ මතවාදී ත්‍රස්තවාදයක්. ඔවුන් තමන් දරන මතය අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදුණා. ඒ අතර උතුරෙන් ආවා බෙදුම්වාදී ත්‍රස්තවාදය. 2019 සහරාන් ගෙනාවෙ අන්තවාදී ත්‍රස්තවාදය. ලෝකයේ පවතින බරපතලම ත්‍රස්තවාදී උවදුරු තුනකට අප පසුගිය වකවානුවේ මුහුණ දුන්නා.

මේ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අපිට අවශ්‍යයි. ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවලත් මෙවැනි පනත් ක්‍රියාත්මකයි. අද කොටි ත්‍රස්තවාදය මහපොලොවේ ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවන නිසා මෙම පනත් යාවත්කාලීන විය යුතු යැයි අප විශ්වාස කරනවා.


ඒ වගේම විශ්වවිද්‍යාලය කියන්නේ මේ රටේ තියෙන මුදා නොගත් ප්‍රදේශ නොවේ. විශ්ව විද්‍යාල කියන්නේ ද මේ රටේ නීතියට යටත් ප්‍රදේශ. මේ රටේ වන්නිකරය ද නීතියේ ආධිපත්තියට ගත්තා වගේම මේ රටේ විශ්වවිද්‍යාල ද ඇතුළු, අස්සක් මුල්ලක් නෑර රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. කාටවත් අයිතියක් නැහැ විශ්වවිද්‍යාල භූමියේ තමන්ට ඕනෙ නීතියක් ක්‍රියාත්මක කරන්න. නීතිය අතට අරගෙන පුද්ගලයන්ට පහර දෙන්න දේ පල විනාශ කරන්න කිසිවෙකුට අයිතියක් නෑ. එහෙම අයිතියක් තියෙනවා කියලා විශ්වාස කරන දේශපාලන ව්‍යාපාර රටට කරන්නෙ දැවැන්ත විනාශයක්.



මෙම මාධ්‍ය හමුව සදහා මොරටුව නාගරික මන්ත්‍රි කුමාර රාජරත්තන, මැදකොළඹ සංවිධායක මේනක නිරංජන් යන මහකත්වරුන්ද එක්ව සිටියහ.

 

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්