ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන

විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද (16) නියෝගයක් නිකුත් කළේය.

බොරැල්ල කන්තේ නවතා තිබූ ඩබ්ලිව් පී කේ වයි 8732 දරන මෝටර් රථය තුළ ගෙල සිරකර සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් එම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සහාය සදහා බ්‍රයන් තෝමස් යන අයගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ 07 මල්පාරේ පිහිටි නිවසින් ඉකුත් 15 වැනිදා සවස පිටත්ව ඇති දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ බිරිඳ දුරකතනයට ලද සංඥාවලට අනුව ආයතන නිලධාරියකු බොරැල්ල කනත්තට පිටත් කර යවා ඇති බවත්, එහිදී මෝටර් රථය තුළ දෙඅත් බැද වයරයකින් ගෙල සිරකර සිටි දිනේෂ් මහතා සොයාගෙන ඇති බවත් බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනයේ පසුබිම :

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.

ඊට අමතරව බුද්ධි අංශ මගින් ද විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට බොරැල්ල පොලිසිය මගින් ඔහුගේ බිරිඳ වන ටානි ශාෆ්ටර්ගෙන්, විධායක නිලධාරියෙකුගෙන්, සුසාන භූමියේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ සේවකයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඊට අමතරව අධ්‍යක්ෂවරයා පැදවූ බව කියන මෝටර් රථයේ විද්‍යුත් දත්ත පරීක්ෂා කිරීමට ද, ඔහු පරිහරණය කළ ජංගම දුරකතනය පරීක්ෂා කිරීම මෙන් ම විශේෂයෙන්, සීසීටීවී කැමරා දර්ශන දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන සිදුකරන නිලධාරීන් විසින් මේ වන විට පියවර ගනු ලැබ ඇතැයි එම නිලධාරියා පැවසීය.

ඔහු ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිව ම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළේ ය.

වසර තුනකට පමණ ඉහතදී ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ට සභාපතිවරයා විසින් රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දී ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් පැවති මතභේදාත්මක තත්ත්වයක් මත සභාපතිවරයා විසින් එම ක්‍රිකට් විස්තර විචාරකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් කාලය තුළදී පැමිණිලි තුනක් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ද දැනගන්නට ඇත.

අදාළ මුදල් ලබා ගත් ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයා හමුවීම සඳහා යන බව බිරිඳට හා විධායක නිලධාරිවරයාට පවසමින් කුරුඳුවත්ත, මල් පාර නිවසින් ඔහු ඊයේ (15) දහවල් 1.30ට පමණ පිටත්ව ගොස් තිබූ බව පොලිසිය පැවසීය.

ඔහුගේ බිරිඳ මද වේලාවකදී ඔහුට දුරකතන ඇමතුම් ලබාගෙන ඇති අතර එවිට ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබී ඇති අතර බිරිඳගේ ජංගම දුරකතනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

ඒ අනුව, බිරිඳ සමාගමේ විධායක නිලධාරිවරයෙකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත යවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී අධ්‍යක්ෂවරයා පැමිණි මෝටර් රථයේ රියැදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙළට වයරයක් දමා සිර කර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ වන විට සිහිසුන් තත්ත්වයකින් අධ්‍යක්ෂවරයා පසුවුණු බැවින් වහා ක්‍රියාත්මක වී ඇති විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයෙකුගේ උදව් උපකාර ඇතිව ඔහුගේ අත් දෙක සහ ගෙළ තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේ ය.

ඒ වන විට සවස 5.15ට පමණ වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අසාධ්‍ය තත්ත්වයක පසු වූ අධ්‍යක්ෂවරයාට වෛද්‍යවරුන් කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ සවිකර දැඩිසත්කාර ඒකක දෙක වෙත වෙත යොමු කළ ද අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු කිසිදු ප්‍රකාශයක් නොකර පැය කිහිපයක් තුළදී ඊයේ රාත්‍රී මිය ගිය බව ද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

මිය යන විට 51 වන වියේ පසු වූ ඔහු තිදරු පියෙකි.

ඉතා සැලසුම්සහගතව අධ්‍යක්ෂවරයා සුසාන භූමිය වෙත කැඳවා පිරිසක් එක්ව මෙම සාහසික අපරාධය සිදු කරන්නට ඇතැයි සැකකරන බව විමර්ශන කටයුතු සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ අතර, දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගෙළ සිරකර සිදු කළ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය කියයි.

කොළඹ අංක 2 දෙක අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන ගේ නියෝග මත ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී රූල් හක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.


මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැඩි ස්ථාවරයක !

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ගේ කුරිරු සහ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශන වල ප්‍රගතිය විමසා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත අද (16) පෙරවරුවේ කැඳවා තිබිණ.

දිනේෂ් ෂාෆ්ටර් ගේ කුරිරු ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් දී ඇති ඇමතිවරයා,  මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි එහිදී පොලිසිය වෙත නියෝගකර තිබිණ.

Tiran 1

Tiran 2

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගැන සහෝදරයෙකු පළ කළ ට්විටර් පණිවිඩය

ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු වන රමේෂ් ශාෆ්ටර් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සහ පවුලේ සාමාජිකයින් කරුණු තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවය.

ඒ හේතුවෙන්, ඔවුන්ගේ හැඟීම්වලට සහ පෞද්ගලිකත්වයට හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස ත් සත්‍ය කරුණු හෙළිවන තෙක් සිටින ලෙස ත් ඔහු එහි දක්වා තිබේ.

එම පණිවිඩය පහතින් දැක්වේ

cghgh

 


සබැඳි පුවත් :
 
 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්