පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මැතිවරණය කල් දැමීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය බව ද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
බරපතල ආර්ථික අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුදල් වියදම් කළහොත් මාස කිහිපයකට රජයේ නිලධාරීන්ට වැටුප් ගෙවීම පවා අසීරු විය හැකි බව රජය අවධාරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වැය වනු ඇති බවටත්, එම මුදල් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීමට ඉදිරියේ දී මහා භාණ්ඩාගාරය වෙත යෝජනා කිරීම සඳහා සූදානම්වන බවත් 'ලංකාසර' කළ විමසුමක දී මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ හිටපු ප්රධානියෙකුගෙන් 'ලංකාසර' (lankasara.com) කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ, රජය රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්නේත් දැඩි අසීරුතාවයක බවය. එවැනි පසුබිමක මැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීම විශාල ගැටලුවක් වනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. රජය අද ප්රමුඛ අවධානය යොමු කර ඇත්තේ මැතිවරණයකට නොව, ජනතාව ජීවත් කිරීම සඳහා ඔවුන්ගේ එදිනෙදා කටයුතු පවත්වා ගැනීම වෙනුවෙන් බව එම ද නිලධාරියා සඳහන් කර ඇත. මුදල් නොමැතිකම කඩදාසි හිඟය, විදුලිබල අර්බුදය, ඉන්ධන ප්රශ්නය, දේශපාලකයින්ට නිසි ආරක්ෂාවක් සැපයීම ආදී ප්‍රශ්න රැසක් මැතිවරණයත් සමග මතුවිය හැකි බව ද ඔහු තවදුරටත් කියා තිබේ. මේ ප්‍රශ්න එකිනෙක නිරාකරණය කරගනිමින් මැතිවරණය පවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ ගොඩනැගෙන්නේ නම් ඒ සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මැතිවරණයට මුහුණ දීම සඳහා මේවනවිට ප්‍රධාන හා සුළු පක්ෂ සූදානම් වෙමින් සිටිති.
පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් ජනතාව සමග පාරට බසින බවට සමගි ජනබලවේගය මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය බදාදා ජනාධිපතිවරයා මුණගැසුණු පොහොට්ටුව පක්ෂයට සම්බන්ධ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 47 දෙනකු මෙම ඉල්ලීම කළ බව වාර්තා වෙයි.
පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ජනතාව ඡන්දයකට මුහුණ දීමට තරම් සුදුසු වාතාවරණයක නොමැති බව ප්‍රකාශ කර ඇති පළාත් පාලන ප්‍රධානීන් මැතිවරණය සඳහා රජයට මෙන්ම තමන්ටත් විශාල වියදමක් දැරීම අපහසු බව පෙන්වා දී ඇත.
ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා පවත්නා ආර්ථික තත්ත්වය ගැන ද සලකා බලා අදාළ අංශ මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කරන වග සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මෙම හමුවට එක්ව සිටියහ.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න