අබිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නොමග යැවීමේ

උත්සහයක් ඇතැම් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන්නේ දැයි සාධාරණ සැකයක් මතුව ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.


ඒ අනුව එවැනි නොමග යැවීම් පිටුපස සිටින පාර්ශව කෙරෙහි ද පොලිස් විමර්ශනවල අවධානය යොමුව ඇතැයි එම නිලධාරියා කියා සිටියේය.


මෙම ඝාතන සිද්ධියට අදාළව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ගෙන තිබිණ.


ඔහු ඉකුත් සිකුරාදා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙකු වන කීර්ති රත්නායක සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී මෙම ඝාතනයට අදාලව අනාවරණය කළ කිසිඳු කාරණයක් සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කිරීමට චමුදිත සමරවික්‍රම අසමත්ව ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.


ඝාතනයේ තවත් රහස් එළියට


දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව සීසීටීවී කැමරා 42ක පමණ දර්ශන මේවනවිට පරීක්ෂා කර තිබේ.


ඔහු පදිංචිව සිටි කුරුඳුවත්ත, මල් පාර නිවස අසල සිට බොරැල්ල සුසාන භූමිය දක්වා දිවෙන මාර්ගයේ සීසීටීවී කැමරා එලෙස පරීක්ෂා කර ඇත.


බොරැල්ල සුසාන භූමි පරිශ්‍රයේ ඉකුත් 15 වන දින සවස පහට පමණ දිනේෂ් ශාෆ්ටර් මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙළ තදවන සේ වයර්වලින් සිර කර තිබෙනු දුටු විධායක නිලධාරියෙකු කනත්තේ සේවකයෙකු සමග එක්ව එම බැමි ලිහා ඔහු කොළඹ ජාතික රෝහලේ වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැය පහකට පමණ පසු ජීවිතක්ෂයට පත්විය.


විධායක නිලධාරියා එලෙස සුසාන භූමියට පැමිණ තිබුණේ ඝාතනයට ලක්වූ දිනේෂ් ශාෆ්ටර් ගේ බිරිය කළ දැනුම්දීමකට අනුව බව පොලිසිය කියයි. 

 

ඝාතනයට ලක්වූ සභාපතිවරයාගේ බිරිය මෙන් ම විධායක නිලධාරිවරයෙකු සහ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් යන අයගෙන් මෙන් ම බොරැල්ල සුසාන භූමියේ සේවකයන් ඇතුළු පුද්ගලයන් විසි පස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

තව ද ඝාතනයට ලක්වූ දිනේෂ් ශාෆ්ටර් ගේ ජංගම දුරකතනය මෙන් ම ඊට අදාළ විමර්ශන කරන තවත් ජංගම දුරකතන කිහිපයක විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද විමර්ශන ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය. දිනේෂ් ශාෆ්ටර් ඉකුත් 15 වන දා දහවල් එකයි තිහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබූ අතර පැය භාගයක පමණ රැස්වීමකට යන බව බිරියට පවසා ඇතැයි පොලිසිය කියයි.


තව ද විධායක නිලධාරිවරයා වන ක්‍රිස් පෙරේරා යන අයට මෙම අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, බ්‍රයන් තෝමස් හමුවීමට යන බවට යැයි පොලිසිය කියයි.
 

ඝාතනයට ලක්වූ අධ්‍යක්ෂවරයා මොඩල් ෆාම් ප්‍රදේශයේදී විධායක නිලධාරියාගේ ජංගම දුරකතනයට (tower location) ටවර් ලොකේෂන් දමා ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
 
දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සිදුවූ දින රාත්‍රි 8.15ට පමණ ඔහුගේ බිරිය සමග එංගලන්තය බලා යාමට සියලු කටයුතු සූදානම් කර තිබී ඇතැයි ද ඒ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සවස 4.00 පමණ වන විට යාමට තිබෙන බැවින් බිරිය ඔහුට වරින් වර ඇමැතුම් ලබා ගෙන ඇතැයි ද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
 
 
 
අධ්‍යක්ෂවරයාගේ අබිරහස් ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ ඇතුළු කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වයි.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්