රටට අවශ්‍ය වන්නේ රටේ තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික

රණවක පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ සන්ධානගත වීම ඒ ඒ දේශපාලන පක්ෂවල අයිතියක් වන නමුත්, ඇති වූ අරගලය සහ රට මුහුණ පා තිබෙන බංකොලොත්භාවයෙන් පෙන්නුම් කරන්නේ නව දේශපාලන බලවේගයක අවශ්‍යතාවය බවයි.
 

රණවක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමිනි.


ප්‍රශ්නය:
ඡන්දයක් සම්බන්ධයෙන් බොහෝ පක්ෂවල යම්කිසි පිබිදීමක් ඇතිවෙලා තියෙනවා. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 15 ක් සමඟ පොහොට්ටුව සන්ධානගත වෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහතාත් කියනවා පුළුල් සන්ධානයක් හදනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මහතාත් පෙරේදා අනුරාධපුරයේදී සඳහන් කළා අපි දැවැන්ත සන්ධානෙකින් තමයි එන්නෙ කියලා. ඔබගේ ඉදිරි මැතිවරණයක් සම්බන්ධයෙන් මොන වගේ වැඩපිළිවෙළක් ද තියෙන්නේ?



පිළිතුර:
 
 
ඇත්තටම මේ රටට දැන් ඕනේ විකල්පයක්. සන්ධානගත වීම හොඳයි. ඒ ඒ පක්ෂවල තියෙන අයිතියක්. නමුත් මේ පසුගිය අරගලයෙන් සහ මේ රට අද මුහුණපාලා තියෙන මේ බංකොලොත්භාවයෙන් පෙන්නලා තියෙන්නේ නම්, මේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කරන්න නව දේශපාලන බලවේගයක්, නව දේශපාලන සන්ධානයක්, විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ඕනයි කියන එක. හැබැයි ලංකාවේ බොහෝ විට මේ පළාත් පාලන මැතිවරණ කියන ඒවා එහෙම ජාතික දේශපාලනික අදහස් වලට ගොනු වෙන ඒවා නෙමෙයි. ඒවා බොහෝ දුරට ඒ ඒ ප්‍රාදේශීය අවශ්‍යතා හා දේශපාලන පක්ෂ මත ක්‍රියාත්මක වෙන දේවල්. පොදුවේ ගත්තම ශ්‍රී ලංකා දේශපාලනයට අද අවශ්‍යවෙලා තියෙන්නේ පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදායයක්. ඒ දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමයි අපි නම් කැප වෙන්නේ.
 
 
 
ප්‍රශ්නය:
ඒ කියන්නේ ඔබ  මේ වන විට යම්කිසි සන්ධානයකට සම්බන්ධ වෙලා නැද්ද?  
 

පිළිතුර:
අපි තාම එහෙම සන්ධානයකට සම්බන්ධ වෙලා නෑ. අපිට එහෙම ආරාධනාවක් ලැබිලත් නෑ. ඉතින් ඉදිරි කාලේ බලමු එන තත්ත්වයත් එක්ක. තාම ඡන්දයක් ප්‍රකාශයට පත් වෙලා නෑනේ.



ප්‍රශ්නය:
සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා බලය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ගැන ඇත්තටම රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි, ආර්ථික ප්‍රශ්න එක පැත්තකින් සල්ලි නැති අතරේ මැතිවරණයක් තියාගන්න බැරි අපිට මේ වගේ අවස්ථාවක ඇයි මේ කඩිමුඩියෙ බලය බෙදීමක් ගැන කතා කරන්නේ?
 

පිළිතුර:
ඇත්තටම දැන් අවු. 100 ක් වෙනවා මේ රටේ පළවෙනි දේශපාලන පක්ෂය බිහිවෙලා. ලංකා ජාතික සංගමය කඩාගෙන ගිහිල්ලා, පොන්නම්බලම් අරුණාචලම් මැතිතුමා, දෙමළ ජනයාට විශේෂ අසාධාරණයක් වෙනවා, දෙමළ ජනයාට අභිලාෂයක් තියෙනවා කියලා. දෙමළ මහජන සභාව කියන ආයතනය පිහිටවලා. ඉතින් ඒ ප්‍රශ්නයට අවු. 100 ක්, ඒ ප්‍රශ්නය අපි දන්නවා, පහුගිය මේ අවුරුදු 100 ඇතුළත, විවිධ විදිහට.ලංකා රාජ්‍යය පිළිබඳව ඒක තමන්ට හිමිවිය යුතුයි කියලා පොන්නම්බලම් අරුණාචලම් මහත්මයලා, පොන්නම්බලම් රාමනාදන් මහත්තයලා කල්පනා කළා. ජී ජී පොන්නම්බලම් මහත්තයා රාජ්‍ය බලය 50 ට 50 බෙදාගන්න ඕනෙයි කියලා කල්පනා කළා. එස්. ඩී. චෙල්වනායගම් මහත්මයා වෙනම රාජ්‍යයක් හදලා ෆෙඩරල් ක්‍රමය ඉල්ලුවා. ඔහොම ඔහොම ආවා. අප්පාපිල්ලෛ අමිර්තලිංගම් මහත්තයා වෙනම රාජ්‍යයක් බිහි කරන්න ගියා. ප්‍රභාකරන්, ත්‍රස්තවාදී ක්‍රියාවලියක් මගින් බලහත්කාරයෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කරන්න ගියා. එතකොට මෙහෙම ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ඉන්දියාව මැදිහත්වෙලා, ඉන්දු ලංකා ගිවිසුම ඇතිකරලා, පළාත් සභා ක්‍රමය පිහිටෙව්වා. ඒක දැන් අපේ ව්‍යවස්ථාවේ කොටසක්. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් කරන්න ඕන. මොකද අද මේ රටේ ප්‍රශ්නය දුප්පත් මිනිහා බෝට්ටුවෙන්, (දෙමළ, සිංහල මුස්ලිම් භේදයක් නෑ) රටින් පැනලා යනවා. තියෙන මිනිහා දෙමළ, සිංහල, මුස්ලිම් භේදයකින් තොරව එයාපෝට් එකෙන් පැනලා යනවා. අනික් අය ජීවිතයට ශාප කරමින්, අනාගතය ගැන බොහොම දුක්වෙමින්, දරුවන් ගැන දුක්වෙමින් ඉන්නවා. ඉතින් එවැනි තත්වයක් තුළ, මේක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. හැබැයි, හිරකාරයෝ හැටියට ඉන්න එල්. ටී. ටී. ඊ.  31 දෙනා, ඔහොම තබාගෙන ඉඳීමේ කිසිම තේරුමක් නෑ. මොකද එල්. ටී. ටී.ඊ නායකයෝ එළියේ. ප්‍රභාකරන්ගෙන් පස්සේ ඉන්න එල්. ටී. ටී. ඊ. නායකයා කුමාරන් පද්මනාදන් ඔහු එළියේ. රජිව් ගාන්ධි ඝාතනයේ පිරිසක් ලඟදි නිදහස් කළා. ඉතින් එම නිසා අනිවාර්යෙන්ම ඒ අය තියාගෙන සිටීමෙන් කිසිම ඵලක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නිදහස් කරලා ඉවරවෙලා අපි මේක අමතක කළ යුතුයි. ඒ වගේම කාලතුවක්කු ප්‍රහාර ආදිය පිළිබඳව බියෙන් දෙමළ ජනයාගේ පුද්ගලික ඉඩම් හමුදා කඳවුරු වලට අත්පත් කරගත්තා නම් යුධ කාලේ ඒවා දෙමළ ජනතාවට ලබා දිය යුතුයි. හැබැයි මේ වන සංරක්ෂණ භූමි කපලා අපිට දෙන්න ඕන, පුරාවිද්‍යා භූමියත් කපලා අපිට දෙන්න ඕන කියන ඉල්ලීම නම් කිසිසේත් අපි අනුමත කරන්නෙත් නෑ, ඒවට ඉඩ දිය යුතුත් නෑ. ඒවායේ  සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් නෑ. රටට අවශ්‍ය නිසා තමයි වන සංරක්ෂණය. පුරාවිද්‍යාවත් එහෙමයි. කළ හැකි දේවල් තියෙනවා, කළ නොහැකි දේවල් තියෙනවා. රටේ පෙඩරල් රාජ්‍යයක් බිහි කරන්න බැහැ. ඒකට ජනමත විචාරණයක් ඕනේ. හිතාගන්න ජනමත විචාරණයක් තිබ්බොත්, උතුරයි, දකුණයි දෙකට බෙදෙනවා. මහා බ්‍රිතාන්‍යය හොඳ ආර්ථික තත්ත්වයක් තියෙන වෙලාවේ ජනමත විචාරණය තියලා රාජ්‍යය කෑලි කෑලි වලට කඩාගෙන වැටෙන තත්ත්වයකට පත් කර ගත්තා. බොලීවියාවේ අලුතෙන් පත්වුණු වාමාංශික ජනාධිපතිතුමා අලුත් ව්‍යවස්ථාවක් හදන්න ගිහිල්ලා තිබුණු බලයත් අහිමි කරගෙන රට බොහොම බෙදුම්කාරී තත්ත්වයකට ගෙනිච්චා. ඉතින් ලංකාවේ එහෙම දේවල් කරන්න බෑ. කරන්න පුළුවන් දේවල් කරන්න. පළාත් පාලන ඡන්දේ තියන්න. ඒක ජනතාවගේ අයිතියක්. ඒ වගේම පළාත් සභා ඡන්ද තියන්න. තියලා උතුරේ පළාත් සභාවට ඔය ඔක්කොම පක්ෂ තරඟ කරලා ජයග්‍රහණය කරන කෙනෙකුට පාලන බලය බාර දෙන්න. ඒ ඇරෙන්න  කරන්න බැරි දේවල් ඉස්සරහට දාගෙන රටේ නිකන් නැවත වතාවක් විවිධ මතවාද, ගැටුම් නැති ප්‍රශ්න ඇති කරන්න ඕන නෑ. මිනිස්සුන්ට අද ඕනේ බෙහෙත්. මිනිස්සුන්ට අද ඕනේ කන්න. මිනිස්සුන්ට අද ඕනේ තෙලුයි, විදුලියයි, මිනිස්සුන්ට අද ඕනේ පහසුවෙන් ගමන් යන මාර්ගයක්. ඕවා තමයි මිනිස්සුන්ට ඕනේ.  ඒ කරුණු හොඳයි. අදට වැඩිය හෙට අමාරුයි. අදට වැඩිය අනිද්දා අමාරුයි කියන තත්ත්වයක් තමයි මේ ජන ජීවිතය ගොඩනැගෙන්නේ.



ප්‍රශ්නය:
නමුත් අපිට පේනවා මාධ්‍ය ඔස්සේ ජනාධිපතිතුමා රටේ ජනතාව ඉල්ලන ඉල්ලන දේ ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා එයට මේ විසඳුම් නෙමෙයි ලබා දෙන්නේ. මේ පිළිබඳ ඔබ මොකද කියන්නෙ?
 

පිළිතුර:
රටේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. රටේ ආහාර හිඟයක් තියෙනවා. ආහාර මිල ගණන් ගිහිල්ලා ගිහින් තියෙනවා. මහ කන්නයේ අස්වැන්න 40% කින් අඩුයි. ජනතාව බඩගින්නේ. අත්‍යවශ්‍ය ඖෂධ 300 කින් 50 ක්  තුන්සීයකින් පනහක් නැහැ. රටේ විදුලි බලය අද පැය දෙකහමාරක් කපනවා. විදුලි ඉංජිනේරුවෝ කියලා තියෙනවා මේ ජනවාරි මාසේ අවශ්‍ය ගල් අඟුරු තොග ගෙනල්ලා නැහැ කියලා. ඩීසල් අද පාවිච්චිය 50% කින් අඩුවෙලා තියෙනවා. මිනිස්සු ගමන් බිමන් යන්නේ නැහැ. මේ තුන්වෙනි කාර්තුවේ ආර්ථිකය 11% කින් හැකිළිලා තියෙනවා. ඉතින් මේවා තමයි ප්‍රශ්න. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. බැංකුවල ණය ගොඩ ගැහිලා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියැලුණු අය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලුණු අය සහ විදුලිබල සැපයුම් කරපු අයගේ ණය බිලියන 1000 කට වැඩිය තියෙනවා බැංකුවල. බැංකු පද්ධතිය ඉතාම අමාරු තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේවා තමයි ඇත්ත ප්‍රශ්න.
 
 
කොහෙවත් අපිට ඇහිලා නෑ දෙමළ ජනතාව අපිට ෆෙඩරල් රාජ්‍යය ඕනැයි කියන ඔය දෙමළ නායකයෝ තුන් හතර දෙනා ඇරෙන්න. කොහෙවත්  සිංහල ජනතාව කියලා නෑ මේ රටේ යන්න උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවනවා නම් අපි ඒකට යන්න ඕනයි කියලා. කොහෙවත් ඒවා සඳහන් වෙලා නෑ මෙහෙම න්‍යාය පත්‍ර වෙනස් කරන්න රටේ. රටේ න්‍යාය පත්‍රයක් ආර්ථික අර්බුදය විසින් ඇති කරලා තියෙනවා. බෙහෙත් ටික දෙන්න, කන්න ටික දෙන්න, විදුලි බලය, තෙල් ටික දෙන්න. ප්‍රවාහනය ශක්තිමත් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් සංවර්ධනය හා දේශපාලන කාරණා ගැන කියන්න. හැබැයි අනිවාර්යයෙන් මේ පොලිස් රාජ්‍යය වෙනුවට මේ මර්දනය නවත්තලා ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් විදියට පළාත් පාලන ඡන්දය තියන්න. ඒ වගේම පළාත් සභා ඡන්දය තියන්න.
 
 
ප්‍රශ්නය:
ඔබ සඳහන් කළා ද්‍රවිඩ ජාතීන්ගේ 31 දෙනා නිදහස් කරන්න. ඊට අමතරව ඔවුන්ගේ ඉඩම් කඩම් නිදහස් කරන්න. ඔබ සඳහන් කරන්නේ 13 වෙනි සංශෝධනයට අනුව ඒ තියෙන පොලිස් හා ඉඩම් බලතල, අධිකරණ බලතල සියල්ලම දෙන්න කියලද?
 

පිළිතුර:
නෑ මෙහෙමයි. ඉඩම් බලතලය දීලනේ තියෙන්නේ. ඒ වගේම ඔය පොලිස් බලතලය කියන කාරණය එනකොට රටේ තිබුණ තත්ත්වය නෙමෙයිනේ අද තියෙන්නේ. එදා පොලිස් බලතලය කියන තත්ත්වය තිබුණේ රටේ වෙනම හමුදාවක් හිටියා. එල්ටීටීඊ කියලා. ඒ වගේම ඉන්දියාවේ පුහුණුව ලබපු තවත් සන්නද්ධ කණ්ඩායම් හිටියා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොලිසියට එහි ආධිපත්‍යයක් තිබුනේ නැහැ. ඒ තත්ත්වය යටතේ තමයි ඔය පොලිස් බලතල කියන ප්‍රශ්නය ආවේ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට අවශ්‍ය මේ පොලීසිය, සිංහල, දෙමළ පොලීසියක් නෙමෙයි. මේ පොලීසිය, රාජ්‍ය බලය ස්වාධීන කරන එක. රාජ්‍ය බලය ස්වාධීන කරන දෙමළ කතා කරන පොලිසියක් උතුරට දීම. මිසක් දෙමළ පොලීසියක් හැදීම නෙවෙයි. ඒ අවස්ථාවේ 87 තිබුණු තත්ත්වය නෙමෙයි අද ලංකාවේ තියෙන්නේ. ඒක අමතක කරන්න හොඳ නෑ.


ප්‍රශ්නය:
දැන් අයි. එම්. එෆ් එකේ සල්ලි ඩොලර් බිලියන 2.9 ක් ගැන කතා කර කර ඉන්නවා. දැන් මාස ගානක් කතා කරනවා. දැන් මේක කල් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙය පදනම් කරගෙන, රටේ අනාගතය, මේ IMF එක කියන විදියට ජනාධිපතිතුමා හැඩ ගස්සන්න උත්සාහ කරනවා කියන එකත් මාධ්‍ය තුළ යම් යම් ප්‍රකාශ නිකුත් වෙනවා. මේ අයි.එම්.එෆ් ණය මුදල මොන වගේ වෙයිද? ලැබෙයිද? නැද්ද?
 

පිළිතුර:
IMF එකේ සල්ලි ලැබෙනවා නම් ලැබෙන්නේ, අපි IMF එකත් එක්ක, අධ්‍යක්ෂ මණ්ඩල ගිවිසුමකට එකඟ වුණා. ඒ ගිවිසුමකට අපිට යන්න පුළුවන් වෙන්නේ, අපි අපේ ණය බර අපට දරාගත හැකි මට්ටමකට පත්කර ගත්තොත් ඒකට සාකච්ඡා කෙරීගෙන යනවා, ඒවායේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ තාමත් පැහැදිලි භාවයක් නෑ. ඉතින් ඒ නිසා මන් හිතන්නේ අයි. එම්. එෆ්. එක තිබුණත්, නැතත් රට ඉදිරියට ගෙන යාම ගැන ඕනේ දැන් සාකච්ඡා කරන්න. මොකද සාමාන්‍යයෙන් ලෝකේ ඔය අයිඑම්එෆ් එකත් එක්ක රටකට සාකච්ඡා කරන්න මාස 19 ක් ගිහින් තියෙනවා සාමාන්‍යයෙන්. අනිත් පැත්තෙන් අපි අයි. එම්. එෆ්. එකට ගියේ අපේ සංචිත බිංදුව උනාට පස්සේ. දැන් බංගලිදේශය ගියේ තමන් සතුව ඩොලර් බිලියන 30 කට අධික සංචිත තියාගෙන. පාකිස්තානය ගියේ තමන් සතුව ඩොලර් බිලියන 8 කට වැඩි සංචිත තියාගෙන. අපි ඩොලර් බිලියනයක් නෙවෙයි මිලියනයක් නෙවෙයි සෘණ සංඛ්‍යාවක් තියාගෙන තමයි සාකච්ඡාවට ගියේ. ලෝකයේ එහෙම ගිය එක ම රට අපි. ඉතින් ඒක නිසා අයි. එම්. එෆ්. එකත් එක්ක සාකච්ඡා එහෙම ලේසියෙන් මේ මාසේ අවසන් වෙන්නෙ නෑ. ඒක දිගට ඇදෙයි. ඉතින් ඒ හින්දා අයිඑම්එෆ් එක තිබුණත් නැතත් ඉදිරියට යන්න අපි වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි.


ප්‍රශ්නය:
ටෙලිකොම් එක ලාභ ලබන ආයතනයක් බවට විවිධ වෘත්තීය සමිති ඒ ආයතන වෘත්තීය සමිති කියනවා. ටිකෙන් ටික මේ ජාතික සම්පත් මේ පහුගිය හිටපු අගමැතිතුමාගේ ඒ කාලේ න්‍යාය පත්‍රය දැන් ජනාධිපති ධූරය දරමින් ක්‍රියාත්මක කරන්න හදනවා. මේකට ඔබතුමාලගේ ආශිර්වාදය තියෙනවද?
 

පිළිතුර:
ඔය තැනින් තැනින්, අතනින්, මෙතනින් රාජ්‍ය ආයතන කිහිපයක් විකුණලා, තාවකාලික සල්ලි ටිකක් හොයාගෙන, රට ඉදිරියට ගෙන යාම නෙවෙයි අද අපි ඉදිරියේ තියෙන අභියෝගය. අපි රටේ කවුරුත් පිළිගන්නවා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යයි. වරායටත්, විදුලි බලයටත්, තෙල් සංස්ථාවටත්, රක්ෂණයටත්, ටෙලිකොම් එකටත් ඒක අවශ්‍යයි. එහෙම නැතුව මේ තැනින් තැනින් ආයතන කිහිපයක් විකුණලා, කැටය පුරෝගෙන මේ අවුරුද්ද කොහොමහරි ගෙවාගන්න, තෙල් ටික ගෙන්න ගන්න කටයුතු කිරීම නෙවෙයි සිදු කල යුත්තේ රාජ්‍ය අංශයේ පූර්ණ ප්‍රතිසංස්කරණයකට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන එක. ඒකේ මුල් පියවර වෙන්න ඕනේ රාජ්‍ය අංශයට ආයතන 2200 ක් අවශ්‍ය ද?  රාජ්‍ය අංශයට මේ පහළොස් ලක්ෂයක් සෙනග අවශ්‍ය ද? අවශ්‍ය කණ්ඩායම මොනවද? මොනවද අවශ්‍යම සේවා? ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය පරිපාලනය කිරීමේදී මොනවද තියෙන ගැටළු?
 
 
මම කියනවා. ලංකා විදුලිබල මණ්ඩලය ස්වාධීන කළ යුතුයි. එයට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කිරීමෙන් ඕනේ පටන් ගන්නවා. වරායටත් එහෙමයි. දේශපාලන පත්වීම් නැති තැනකින් ඕනි පටන් ගන්න. රක්ෂණ සංස්ථාවත් එහෙමයි. ඒ වගේම අ ආයතනයත් එහෙමයි. ටෙලිකොම් ආයතනය කොහොමත් ලංකා ආණ්ඩුවට තියෙන්නේ 49% නෙ. එතකොට මේ ආයතන මුලින් වෘත්තීය මට්ටමට පත් කරගත යුතුයි. විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාව කරන හැටි කාටහරි ඉගෙන ගන්න ඕන නං මම 2015 දින සීය ඇතුලේ දේශපාලන බලපෑම් තියෙනකොට කරලා පෙන්නපු ක්‍රමවේදය අනුගමනය කළා නම් ඇති.
 
 
ප්‍රශ්නය:
මේ වන විට දැන් යම්කිසි මැතිවරණයක් උදෙසා මොළ හතක් තියෙන බව කියන බැසිල් රාජපක්ෂ මහතා නැවතත් මැතිවරණ මෙහෙයුම සඳහා ලංකාවට ගෙනල්ලා තියෙනවා. එතකොට ඔවුන්ගේ පොහොට්ටු පක්ෂයේ නැවත පුනර්ජීවයක් ඇති කරගන්න කියලා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ?
 

පිළිතුර:
බැසිල් රාජපක්ෂ මහත්මයා පොහොට්ටු පක්ෂයේ අයගේ ධෛර්යය පිනවන්න කියනවා. අපිට තව පොඩ්ඩක් වෙලාව තිබුණා නම් හරි. රට බංකොලොත් කරපු එක වැරදියි කියලා. රට බංකොලොත් කළේ එතුමලා. එතුමලට මාස තිහක් දීලා තිබුණා ජනතාව. රටේ මිනිස්සුන්ට තෙල් ටික නැතුව, පැය දහහතරක් විදුලිය කප්පාදු කරන තත්වෙට පත්වෙලා. මිනිස්සුන්ට බෙහෙත් ටික ගෙන්න ගන්න බැරුව, මිනී කල්තබා ගන්න අවශ්‍ය කරන බෙහෙත් ටිකවත් නැතුව මළකඳන් කුණු වෙච්ච රටක තවත් කල් දෙන්න බැරි හින්දා තමයි මිනිස්සු පාරට බැස්සේ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයා හිතන් ඉන්නවා නම් පොහොට්ටුව නැවත පුනර්ජීවනය කරන්න සන්ධානගතව හෝ නැතුව ඒ යුගය අවසන්. එතුමාට ඕකේ ප්‍රශ්නයක් නෑ. මං එතුමා ගැන දන්නවා. එතුමා ඔය උත්සාහය දරලා පොඩ්ඩක් මේක පුළුවන්ද කියලා බලන්නෙ. එතුමාට ඕන වෙලාවක ටිකට් එක තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට ගියහැකි. ඒ නිසා පොහොට්ටු පක්ෂයේ අයට අපි කියන්නේ ඔය පක්ෂය හෝ රාජපක්ෂවාදය දැන් මේ රටේ තවත් ගෙනියන්න බෑ. ඒ නිසා මේ රටේ ඉදිරි ගමනක් කරන්න පුළුවන් අවංක හැඟීමක් තියෙන පිරිස් දැන් මේ රට ගොඩනගන්න පුළුවන් දේශපාලන බලවේගයක් ගොඩනගන්න එකතු කරගන්න ඕනේ. ඒක තමයි සිදුකළ යුත්තේ. එහෙම නැතුව ඔය දැන් දරන උත්සාහය එතුමත් දන්නවා. එතුමා හොඳටම දන්නවා. ඔය පොහොට්ටුවට නැවත රාජ්‍ය බලය ලබාගන්න බෑ කියන එක බැසිල් මහත්තයා දන්නවා. නොදන්නවා නෙමෙයි. මේ නමුත් මේ පොඩි කාලේ පැවැත්ම සඳහා කරන දෙයක්. ඊළඟ මැතිවරණයෙන් තේරෙයි පොහොට්ටුව කොහෙද තියෙන්නේ කියලා.
 

ප්‍රශ්නය:
රට දාලා ගිය කට්ටිය ජනාධිපතිතුමා ආශිර්වාදයෙන්  තනතුරු අරගෙන  කියනවා දැන් අපිට ජනාධිපතිතුමා පාරේ බැහැලා දේශපාලනය කරන්න වටපිටාව හදලා දුන්නා කියලා. ජනාධිපතිතුමා පූර්ණ සහයෝගයෙන් ඔවුන්ට ලැබෙනවා නේද?
 

පිළිතුර:
මෙහෙමයි ඉතින් ජනාධිපතිතුමාගේ බහුතරය පවතින්නේ පොහොට්ටුවේ ඡන්ද වලින්නේ. ඉතින්. ඒ අනුව එතුමා ඒ අනුව ක්‍රියා කරන්න එපැයි. එහෙම නැතුව එතුමාට බහුතරයක් පාර්ලිමේන්තුවේ නැහැනේ. නැත්නම් එතුමාට ජනාධිපතිකම ලැබෙන්නෙත් නැහැනේ පොහොට්ටුවේ ආශිර්වාදය නැතුව. ඉතින් ඒ නිසා ඒක රැකගත හැකි. හැබැයි මේ රටේ ජනතාව පොහොට්ටුව හෝ රාජපක්ෂවාදය නැවත මේ රටේ ස්ථාපිත කරන්න ඉඩ දෙන්නෙ නෑ.


ප්‍රශ්නය:
ඇමැතිවරුන් 12 දෙනෙක් පමණ දිවුරුම් දෙන කොට ඔබතුමාගේ නමත් ඒ අතර තියෙනවද?

පිළිතුර:
 
 
අනේ නෑ. කැබිනට් ඇමතිකම් දරන්න අපේ උත්සාහයක් නෑ. මොකද ජනවරමක් නැති ආණ්ඩුවක. නමුත් අපි කියනවා අපි මේ බාල දේශපාලනය කරන්නේ නෑ. අපේ පාලනයක් ආවාත් වෙන කාගේ පාලනයක් ආවත්. ඔය කයිවාරු ගැහුවට අපි ආවට පස්සේ මෙහෙම කරනවා අරම කරනවා කියලා. එහෙම කිරීමේ හැකියාවක් නෑ. ඒ වගේම ඔය කතා කරන හුඟ දෙනෙක් ඇමතිකම් කරන කාලේ කරපු ටික ඒගොල්ලන්ට එහෙම අත්දැකීමක් නෑ. ඒක නිසා මේ පුළුල් කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් හා ඒකට අවශ්‍ය කරන වෘත්තීය මට්ටමේ පිරිසක් ගොඩනගා ගැනීමයි අපි මුල්කරගෙන ඉන්නේ. එහෙම නැතුව අපි මේවට පක්ෂ වෙන්නවත්, විරුද්ධ වෙන්නවත්, ඇමතිකම් ගන්නවත්, රාජ්‍ය බලයට සම්බන්ධ වෙන්නවත් සූදානමක් නෑ.
 
 
ප්‍රශ්නය:
පළාත් පාලන ආයතන විසුරුවා හරිනවා කියනවා. ඒ එක්කම හිටපු මැතිවරණ පළාත් පාලන නියෝජිතයෙක් තෝරා පත්කර ගැනීමේ යම්කිසි වෙනසක් කරනවා කියලා. ඉදිරියේ මේ ඡන්දයට ඒ වෙනස යම්කිසි බලපායිද? එහෙම නැත්නම් ඉදිරි මැතිවරණය අනුපාත ක්‍රමයමද?
 

පිළිතුර:
ඒක ගැන ඉතාම පැහැදිලියිනේ. තාම මැතිවරණ ක්‍රමයේ එහෙම වෙනසක් නෑ. පැරණි 2018 තිබුණු මැතිවරණ ක්‍රමයමයි තියෙන්නේ. තාම එහෙම වෙනසක් පිළිබඳව කිසිම අණ පනතක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නෑ. ඒ අනුව විසුරුවා හැරියොත් පරණ ක්‍රමයට තමයි ඡන්දේ තියන්න වෙන්නේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්