ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා

ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට බලවත් සැකයක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මතුවී තිබේ.  


බොරැල්ලට යනවා යැයි කියා දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 07, මල් පාරේ නිවසින් හදිසියේම පිටත්වයාම සහ ඔහුගේ මෝටර් රථය කෙළින්ම බොරැල්ල කනත්තට පැමිණීම කෙරෙහි මෙන්ම දුරකතන විශ්ලේෂණවලින් මතුවී ඇති කරුණු මෙම සැකයට මුල්වී ඇත.

පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් මෙහිදී විමර්ශකයන්ගේ සැකයට භාජනය වී ඇති අතර, ඔවුන්ගේ පෙර සහ පසු හැසිරීම් දැඩි නිරීක්ෂණයට ලක් කරමින් ඒ අයගේ ද ජංගම දුරකතන ජාල පරීක්ෂාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බොරැල්ල පොදු සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය ඇතුළු කර එම මෝටර් රථය නතර කර තිබුණු ස්ථානය ගැන විමසිලිමත්වීමේදී මෝටර් රථය පදවාගෙන පැමිණි අය බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතුළත ඇති මාර්ග ගැන හොඳ අවබෝධයකින් සිටින අයෙක් බව ද එම නිලධාරියා කීය. එවන් අවබෝධයක් ලැබීමට නම් සුසාන භූමියට අවස්ථා කිහිපයක පැමිණ තිබිය යුතු බවත් දිනේෂ් ෂාෆ්ටර් මහතා විසින් සිය මෝටර් රථය නිවසේ සිට දිගටම සුසාන භූමිය වෙත පදවාගෙන පැමිණ තිබේ නම් ඔහු බොරැල්ල සුසාන භූමියට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙය නොවන බව ද එම නිලධාරියා කීය.



“දිනේෂ් ෂාෆ්ටර් වැනි සමාජයේ ඉහළ ව්‍යාපාරිකයකු යම් පුද්ගලයකු මුණගැසීමට සුසාන භූමියකට පැමිණෙනවා යැයි කියන්නේ අසාමාන්‍ය සිදුවීමක්. අනික ඔහු නිවසින් එන්නේ තනියම. රියැදුරෙක් එක්ක ඔහුට එන්න තිබුණා. එහෙම ආවේ නැහැ. ඒ නිසා පෙනී යනවා ඔහු මේ ගමන ඇවිත් තියෙන්නේ අතිශය පුද්ගලික කරුණක් වෙනුවෙන් බව. මෙවැනි ගමනක් පවා ඇවිත් ඇත්තේ ඉතාමත් විශ්වාසවන්තයෙක් මුණ ගැසෙන්න වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රැවටීමකට ලක් කරල ගෙන්වා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. අතර මඟදී ඔහුගේ වාහනයට යම් පුද්ගලයෙක් ගොඩවී ඔහු විසින් සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව රැගෙන එන්නටත් පුළුවන්කමත් තියෙනවා. මෙතෙක් කර ඇති විමර්ශනවලින් එවැනි දෙයක් තවමත් අනාවරණය වෙලා නැහැ. තවදුරටත් විමර්ශකයන් ඒ ගැන සොයා බලනවා. මෝටර් රථයට අතර මඟින් අයෙක් ගොඩවුණේ නැති නම් සුසාන භූමිය තුළ ඔහු මුණ ගැහෙන්න සූදානමින් යම් අයෙක් රැඳී ඉඳල තියෙනවා. ඔහු තමයි දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා” යැයි ද එම නිලධාරියා කීය.



සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගත් පුද්ගලයා ඔහුව එහි ගෙන්වාගෙන ඇත්තේම ඔහුව මරා දැමීමේ සැලසුම ඇතිව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට පෙනී ගොස් ඇත. මෙම ඝාතනය ක්ෂණික කෝපය හෝ ක්ෂණිකව ඇති වූ යම් සිදුවීමක් මත වූවක් නොවන බව ද විමර්ශකයන්ට පෙනී ගොස් තිබේ.

“දිනේෂ් ෂාෆ්ටර් මහතාට මෙම අපරාධය සිදු වෙලා තියෙන්නේ රියැදුරු අසුනේ සිටියදීයි. ඔහුව හමුවන විට සිට ඇත්තේ රියැදුරු අසුනේ. ඒ බව ඔහුගේ ව්‍යාපාරික සගයා මෙන්ම සුසාන භූමියේ සේවකයෙක් ලබාදීල තියෙන ප්‍රකාශවලින් ද පෙනී යනවා. ඒ අනුව තවදුරටත් පැහැදිලියි දිනේෂ් ෂාෆ්ටර් මහතා තමයි මෝටර් රථය පදවා තිබෙන්නේ කියල. දිනේෂ් ෂාෆ්ටර් මහතාව සුසාන භූමියේ මෝටර් රථය තුළදී අපරාධයට ලක්ව සිටියදී සොයා ගන්නා විට ඔහුගේ දෑත් තිබිල තියෙන්නේ ගැටගහලයි. ඒ සුසාන භූමියේ අවටින් සොයා ගැනීමට හැකි ලණු පොටවල් වැනි දේකින් නෙමෙයි. ප්ලාස්ටික් කේබල් ටයිවලින්. ලණු පොටවල්වලින් ගැට ගසනවාට වඩා වේගවත් මෙන්ම පහසුවෙන් කේබල් ටයිවලින් ගැට ගැසීම් කරන්න පුළුවන්. අනික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කරල තිබුණේ වයරයකින්. බැලූ බැල්මට එම වයරය බිම තිබිල අහුල ගත්තු එකක් හැටියට පේන්නේ නැහැ. ඒක අලුත් එකක්. වයරයෙන් බෙල්ල සිර කරල රියැදුරු අසුනට හිර කරල ගැට ගහලයි තිබිල තියෙන්නේ. කේබල් ටයි සහ වයර් සුසාන භූමියේ තිබෙන දේවල් නෙමෙයි. මේවා අරගෙනම ඇවිල්ල තියෙනවා කියන්නේ සැලසුම් සහගතවම දිනේෂ් ෂාෆ්ටර් මහතාව මරා දැමීමටමයි. ඒ අනුව පෙනී යනවා සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගෙන තියෙන්නෙම ඝාතනය කිරීම සඳහාම බව” යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන පවත්වන අතර, වැඩි කල් නොගොස් මෙම ඝාතන අබිරහස විසඳාලමින් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.



දිනේෂ් ෂාෆ්ටර් නිවෙසේ සිට ගමන් ගත් මාර්ගය ආරක්ෂක කැමරා මඟින් නිරීක්ෂණය කරන විට ඔහුගේ වාහනය සමඟම පිටුපසින් ගමන් ගත් වාහන කිහිපයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ. එම වාහනවල අංක ඔස්සේ එහි හිමිකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

 


බිරියගෙනුත් පැය දෙකහමාරක ප්‍රකාශයක් ගනී

ෂාෆ්ටර් මහතා ගමන් කළ මෝටර් රථයේ තිබූ සොයා ගත් ඇඟිලි සලකුණු වාර්තාව අද (20) ලැබීමට නියමිත බැවින් එම ඇඟිලි සලකුණු අපරාධකරුවන් හා සසැඳෙන්නේ දැයි සොයා බලන බවද එම නිලධාරියා කීවේය.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව ඔහුගේ බිරිඳ ටානි ෂාෆ්ටර් මහත්මියගෙන් පළමු වරට ඊයේ (19) පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.


ෂාෆ්ටර් ඝාතනයේ දුරකතන වාර්තා කැඳවයි

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (20) බොරැල්ල පොලිසියට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ දුරකථන අංක හතරක විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

මරණයට පත් වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිඳ සහ ඔහු සේවය නියුතුව සිටි ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට බොරැල්ල පොලිසියට නියෝග කරමින් නඩුව කල් තැබීය.


සැකකටයුතු කාරනා 4ක් !

මේ අතර SL Deshaya නාලිකාවේ දර්ශන හඳුන්ගොඩ සමග ඊයේ (19) පැවති සාකච්ජාවකදී ආරක්ෂක හා බුද්ධි අංශ විශ්ලේෂකයකු වන කීර්ති රත්නායක මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් කරුණු කාරනා රාශියක් හෙළිදරව් කළේය.

එහිදී ඔහු දිනේෂ් ශාෆ්ටර් මහතාට ජිවිත තර්ජනයක් එල්ලවිය හැකියයි සැකකළ හැකි කාරණා හතරක් සම්බන්ධයෙන් බරපතල අනාවරණයක් කළේය.

# ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක දකුණේ දෙමල වල නායකයින් ගොනුකරමින් පිහිටුවා ඇති දෙමල ප්‍රගතිශීලි සන්ධානයට  (තමිල් ප්‍රෝග්‍රසිව් එලයන්ස්) මුල්‍යාධාර සපයන්නේ ශාෆ්ටර් පවුල විසින් බව ඔහු එහිදී කියා සිටියේය.

# එසේම, දිනේෂ් ශාෆ්ටර් මහතාට එංගලන්තය තුළ ද ව්‍යාපාර තිබෙන බවත්, එහි හවුල්කාර පාර්ශ්ව සහ දිනේෂ් ශාෆ්ටර් මහතා ගැටුම් තිබුන බවත් කීර්ති රත්නායක පැවසුවේය.

# එසේම, හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් හා දිනේෂ් ශාෆ්ටර් මහතා අතර පැවතුන මුදල් ආරවුල් සම්බන්ධයෙන් ද කීර්ති රත්නායක කරුණු රාශියක් ගෙනහැර දැක්විය.

# එසේම, දිනේෂ් ශාෆ්ටර් කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දරන 'ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගම'  2015 මෙරට සිදු වූ ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ඇති සම්බන්ධය ගැනද ඔහු කරුණු රැසක් අනාවරණය කළේය. එහිදී එම බැඳුම්කර සිද්ධියට සිරස මාධ්‍ය ජාලයේ මැදිහත්වීම සම්බන්ධත්වය මෙන්ම එවකට රාජ්‍ය ඇමැතිවරයකුව සිටි අයකුගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔහු කරුණු කාරණා රැසක් ප්‍රකාශ කළේය.
 

 

(උපුටා ගැනීම් - dinamina.lk)


සබැඳි පුවත් :

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : විමර්ශන නොමග යැවීමේ මාධ්‍ය මෙහෙයුම් ගැන සෝදිසියෙන් !

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : හෝඩුවාවන් කිහිපයක් ! - බැඳුම්කර ගනුදෙනුවෙත් සාක්ෂිකරුවෙක් !

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්