ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන
වලට අදාළව ඍජුව සැකකරුවෙකු හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ෂාෆ්ටර්ගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 50 කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කර මේවන විට දින 6 ක් ඉකුත්ව ගොස් තිබේ.
ඔහුව මරා දැමීමේ පරමාර්ථය කුමක්ද? ඝාතකයින් කවුද? එය තවමත් අභිරහසකි.
ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රමුඛ කණ්ඩායම් කිහිපයක් විමර්ශන මෙහෙයවති. එහෙත් මෙතෙක් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
දිනෙෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්ත වෙත පැමිණීමට පෙර ගිය ස්ථානයක් පිළිබඳව ද විමර්ශන කණ්ඩායම් මේවන විට අනාවරණය කර ගෙන තිබේ.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් ප්‍රකාශ 8ක් ලබා ගෙන ඇත.
ඒ අතරට දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ ටානි ෂාෆ්ටර් ද අයත්ය.
බිරිඳ කළ දැනුම් දීම අනුව එදින බොරැල්ල සුසාන භූමිය වෙත ගිය විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබේ.
පැය 24 පුරාම විමර්ශනය ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, පැය 24 පුරාම මෙම දීර්ඝ විමර්ශනය ක්‍රියාත්මක බවය.
“විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වනවා. කිසිම පුද්ගලයෙක් අපි සැක කරලා නැහැ. සුවිශේෂී සැකයක් ඇති කරගෙන නැහැ. පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කිරීමට තරම් මේ විමර්ශනය අවසන් වී නැහැ” ඔහු සඳහන් කළේය.
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වූ දිනයේ පස්වරු 1.55ට පමණ මල්පාරේ නිවසෙන් පිටව ගොස් ඇත.
පස්වරු 2.42ට පමණ දිනේෂ් ෂාෆ්ටර්ගෙන් වට්ස් ඇප් පණිවිඩයක් ලැබුණු බව ක්‍රිකට් විස්තර විචාරකයකු මෙන්ම ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන බ්‍රයන් තෝමස් අනාවරණය කර තිබේ.
“ඔබ පැමිණෙන තුරු මම බලා සිටිනවා” යනුවෙන් එහි දක්වා තිබේ. එහිදී බ්‍රයන් තෝමස් ප්‍රතිචාර දක්වා ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ව හම්බවෙන්න තමාට හේතුවක් නොමැති බවය.
පොලිස් විමර්ශනවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් පස්වරු 2.45 වන විට බොරැල්ල සුසාන භූමිය වෙත පැමිණ තිබේ.
විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරාට සිහසුන්ව සිටි දිනේෂ් ෂාෆ්ටර්, හමුවී තිබුණේ පස්වරු 3.30ට පමණය.
පස්වරු 3.55ට පමණ දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණි.
මෙම ඝාතනයේ යම්කිසි අභිරහස් බවක් ඇති බවත් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකුගේ නායකත්වයෙන් කුඩා කණ්ඩායම් කිහිපයක් විමර්ශන සඳහා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.
දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල ප්‍රදේශයට යන බව තම බිරිඳට පවසමින් දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණි.
හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් හමුවීමට යන බව ඔහු නිවැසියන්ට පවසා තිබේ.
දුරකතන 04ක විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන...
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව දුරකතන 04ක විශ්ලේෂණ වාර්තා බොරැල්ල පොලීසියට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා දුරකතන සමාගම් 4 කට (දෙසැම්බර් 20 වැනිදා) නියෝග කළේය.
අදාළ විශ්ලේෂණ වාර්තා ඔස්සේ වැඩිදුර විමර්ශන කර විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තාකරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ පොලිසියට නියෝග කළේය.
ඝාතනය සම්බන්ධයෙන් කරන විමර්ශනය සඳහා දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ සහ සේවකයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
අබිරහස් මරණය
ඔහුගේ දෑත් පිටුපසට කර ප්ලාස්ටික් වලින් තැනූ දෙයකින් ගැටගසා තිබී ඇති අතර ඔහුගේ ශරීරය සහ ගෙල වයරයකින් වාහනයේ ආසනයට තබා ගැටගසා තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
ගෙල සිර කිරීමෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි වෛද්‍ය වාර්තා අනුව පෙනී යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.
බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී (දෙසැම්බර් 15වැනිදා) පස්වරුවේ ෂාෆ්ටර් සොයා ගැණුනි.
පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එදිනම රාත්‍රියේ මිය ගියේය.
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය )