ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයාට ඊයේ (21) නියෝග කළාය.

බොරැල්ල පොලිසිය මගින් අධිකරණයට වාර්තා කර තිබූ මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන භාරගැනීමෙන් පසු පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යනු ලබන බවත් ඒ හේතුවෙන් මෙහි ඉදිරි විමර්ශන එම දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසත් බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් ප්‍රකාශ මෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තා අඩංගු ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලබන බව ද බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයාට නියෝග කළාය.


CCTV 06 ඔස්සේ පරීක්ෂණ


දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ ජංගම දුරකතන දත්ත පරීක්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (20) අවසර ලබාදුනි.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් ගේ ජංගම දුරකථනයට අමතරව ඔහුගේ බිරිඳ වන ටානි ෂාෆ්ටර් ගේ දුරකථනයේ සහ ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේදී සොයාගැනීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගත් ක්‍රිෂ් පෙරේරා ගේ දුරකතනයේ දත්ත පරීක්ෂා කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබේ.

ෂාෆ්ටර් මහතා සිය නිවසේ සිට බොරැල්ල සුසාන භූමිය දක්වා පැමිණි ආකාරය දැක්වෙන තවත් සීසීටීවී දර්ශන පෙළක් මාධ්‍ය ඔස්සේ ඊයේ ප්‍රචාර කෙරින.

මීට අමතරව ෂාෆ්ටර් මහතා සමග මූල්‍ය ගනුදෙනුවක් පැවති ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතන දත්ත ද පරීක්ෂා කිරීමට නියමිතය.

බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෑත් සහ ගෙල සිරකර බැඳ දමා සිටියදී ෂාෆ්ටර් සොයාගැනුණේ පසුගිය 15 වනදා වන අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදින රාත්‍රියේම ජීවිතක්ෂයට පත් වුණි.

දිනේෂ් ෂාෆ්ටර් ගමන්ගත් මාර්ගයට අදාළ සීසිටීවී 06ක දර්ශන ඊයේ දිනයේත් විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව ෂාෆ්ටර් සිය නිවසේ සිට සුසාන භූමිය දක්වා පැමිණෙන අතරවාරයේ එක්තරා අවන්හලකට ගොස් කෙටි ආහාර වේලක්ද ලබාගෙන තිබූ බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් සිටී.

පොලීසිය සඳහන් කළේ මේ දක්වා පුද්ගලයින් 42 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates