2023 ජනවාරි 14 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යවරයාගේ
හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ පාලනයකින් තොරව සිදුවන්නක් බවත්, එය මේවනවිට සිදුකෙරෙනුයේ අධිකරණයේ නියෝග හා තීන්දු තීරණ මත බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර පවසයි.
ඔහු එබව කියා සිටියේ, ''ක්‍රීඩා ඇමැතිගේ ගැසට්ටුවට එරෙහිව පළමු පැනල්ටි ප්‍රහාරය FIFA වෙතින්!'' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' හි අද (24) පලවී ඇති පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග ඇතිකර ගත් එකඟත්වය අනුව නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය විසින් කටයුතු කරමින් සිටියදී හිටපු සභාපතිවරයා අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණය වූ බවත්, ඒ අනුව ලබන මාසයේ 14දා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිලවරණයට අදාල සියලු කටයුතු සිදුකෙරෙනුයේ අධිකරණයේ මගපෙන්වීම හා උපදෙස් මත බවත් ඔහු අවධාරණය කළේය.
මෙතෙක් පැවති නිලවරණ ක්‍රීඩා අධ්යක්ෂවරයා යටතේ සිදුකෙරුනද මෙවර නිලවරණය පැවැත්වෙන්නේ අධිකරණයෙන් නිර්දේශමත බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත්කළ ගැසට් නිවේදන හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අතර මතබේදයක් නොමැති බවත් සුදත් චන්ද්‍රසේකර වැඩිදුරටත් කියා සිටියේය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර කළ එම කරුණු සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රතිචාර දැක්වූ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් පැවසුයේ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජේශ්ඨ උපදේශකවරයා පවසා සිටින කරුණු පිළිගත නොහැකි බවයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්තාව අවුරුදු 35කට වැඩිය පැරණි බවත්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ රෙගුලාසිවලට පටහැනි බවත්, FIFA ආයතනය දිගින් දිගටම හිටපු සභාපතිවරුන් හට පවසා තිබුනද මේ ව්යවස්ථාවා සංශෝධනය කිරීමට කිසිවෙකුටත් නොහැකි වූ බවත් ඔහු සඳහන් කළේය. කෙසේවුවද තමා කෙටිකාලයක් තුල දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සම්පූර්න එකඟත්වය මත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්තාව 2/3ක ඡන්දයකින් සම්මත කරගත් බවත් ඔහු කියා සිටියේය.
මෙම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පෙර තමා අවස්ථා දෙකකදී ජාත්‍යන්තර සහ ආසියානු පාපන්දු සම්මේලන වල වගකිවයුතු නිලධාරීන්ට මෙරටට ආරාධනා කර ගෙන්වා ගනිමින්, ක්‍රීඩා අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා, ක්‍රීඩා අධ්යක්ෂ, ක්‍රීඩා කවුන්සිලය, ක්‍රීඩා අභියාචනා කමිටු සභාපති සහ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසිරි ඇතුළු සියළු පාර්ශව සමඟ නිල සාකච්චා සංවිධානය කළ බවද හිටපු සභාපතිවරයා පැවසිය.
ඒ අනුව, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ FIFA ආයතනය සමඟ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට මාස දෙකක නිල කාලයක් දීර්ඟ කරමින් නව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය පැවැත්වීමට එකඟතාවය පලකර තිබු බවත් එයට අනුකූලව සියළු කරුණු අඩංගුව මාර්ග සිතියමක් (Road Map) සකසා තිබු බවත් ඔහු සඳහන් කළේය.
මෙම මාර්ග සිතියමට අනුව, පසුගිය සැප්තැම්බර් මස 22දින දෙවනි ජාත්‍යන්තර දූත පිරිස ලංකාවට පැමින විශේෂ මහ සභා රැස්වීමක් පවත්වා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්තාව FIFA රෙගුලාසි වලට අනුකූලව සාමාජිකයන්ගේ 2/3ක ජන්දයෙන් අනුමත කෙරුනු බවත්, එළබෙන නිලවරණය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවන්ගෙන් යුත් නිළවරණ කමිටුවක්ද පත්කර ගනු බවත් හිටපු සභාපතිවරයා කියා සිටියේය.
සැප්තැම්බර් මස 22වන දින මෙම සිදුවීම් සියල්ල සාර්ථකව අවසන් කර ජාත්‍යන්තර දූත පිරිස එදා රාත්රියේදී දිවයිනෙන් පිටත් වීමත් සමගම, පසුදා එනම් සැප්තැම්බර් 22වන දින ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රීඩා සංගම් සියල්ලටම කාලය මාස දෙකකින් දිගු කරමින් ලබාදී තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීමට හදිසියේ කටයුතු කෙරිනි. ඒ සමඟ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ එවකට කටයුතු කරමින් තිබූ නිලධාරී කමිටුව සහ සියළු පාපන්දු කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටින.
අභියාචනාධිකරණයේදී ඇතිවූ එකඟතාවය !
මේ සමගම ක්‍රීඩා අමාත්‍යංශය විසින් අතුරු කමිටුවක් පත් කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තාවීමත් සමග හිටපු සභාපති සහ ලේකම් විසින් අභියාචනාධිකරනයේදී නඩුවක් ගොනුකරනු ලැබිය.
පෙත්සමේ සඳහන් කරුණු සලකා බැලූ අභියාචනාධිකරනය, ප්‍රජාතාන්ත්‍රික රාමුව තුල කඩිනම් නිලවරනයක් පැවැත්වීමට යෝජනා කර තිබුණි.
මෙම නඩුවේදී ක්‍රීඩා ඇමතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තුමේන්තුව අධිකරණයට කරුණු දක්වා සිටියේ ක්‍රීඩා ලේකම්වරයාගේ උපදෙස් අනුව පාපන්දු නිලවරණය පැවැත්වීමට කටයුතු කරන්නේ පැරණි ව්‍යවස්තාවට අනුව බවයි.
පැරණි ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වීමට අකමැත්ත පළකර තිබූ පැමිණිලිකරුවන් ප්‍රකාශකර තිබුනේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් එකඟත්වය පලකළ නිර්දේශවලට අනුව නව ව්‍යවස්තාව යටතේ නිලවරණය පැවැත්විය යුතු බවයි. කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි නීතිපති දෙපාර්තුමේන්තුව අවධාරණය කර තිබුනේ පරණ ව්‍යවස්ථවට අනුව නිලවරනය පවත්වන බවයි. අනතුරුව පෙත්සම්කරුවන් පැරණි ව්‍යවස්තාවට අනුකූලව වසරක ධූර කාලයකට නිලවරනය පැවැත්වීමට එකඟත්වය පලකරනු ලැබිය.
අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය ඇමතු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් එදා කරුණු පැහැදිලි කර සිටි ආකාරය පහත වීඩියෝවේ දැක්වේ.
ලංකාව ජාත්‍යන්තර තහනමක් අබියස !
මේ අතර හිටපු සභාපති ජස්වර් උමාර් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ගොස් ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය විසින් පෙරේදා දිනයේ යොමුකර තිබු ලිපිය භාර දෙනු ලැබිය. අනතුරුව ඔහු මාධ්‍ය අමතමින් ලංකාවේ වත්මන් පාපන්දු අර්බුදයට පාදකවී ඇති කරුණු දෙකක් පිළිබඳව කරුණු ගෙනහැර දැක්වීය.
ඒ අනුව,
01. ගැසට් පත්‍රය අවලංගු කිරීමට හේතුව, ඒ වෙනුවෙන් කරණු ලබන වෙනත් ක්‍රියාමාර්ග, FIFA ආයතනය සමඟ එකඟ වූ මාර්ග සිතියමේ වෙනස්වීම නඩු කටයුතු සමබන්ධ තොරතුරු සහ 2023 ජනවාරි මස යෝජිත වී තිබෙන නිලවරණය යන මේ සියළු කාරනා පිළිබඳව කිසිදු දැනුම්දීමක් හෝ ලිපි හෝ වාර්ථා හෝ සාකච්ජා අද වෙනතුරු ක්‍රීඩා අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට දැනුම් දී නොමැත.
එමෙන්ම මේ සියළු දේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අනාවරනය වී තිබුනේ විවිධ මාධ්‍ය ඔස්සේ මිස නිල වශයෙන් කිසිම දැනුම් දීමකින් තොරවය.
තවද මාස 5ක දූර කාලයෙන් යුතු නිලවරනයක් ජාතික සංගමයට පැවැත්වීමේ උත්සාහය හාස්‍යට කරුණකි. මෙයින් අනාවරණය වන්නේ, ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීන් කිසිඳු වගකීමකින් තොරව කටයුතු කර තිබෙන බවයි.
02. මෙහි දෙවන ප්‍රධාන කරුණ වන්නේ, පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබූ නව ක්‍රීඩා රෙගුලාසි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මුලික මූලධර්ම වලට පටහැනි බවත්, ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වය අහිමි කරන බවත් අනාවරනය වී තිබීමයි.
මේ අනුව මේ අවස්තාවේදී එකිනෙකා හට ඇඟිලි දික් කිරීමෙන් තොරව රටක් හැටියට එකතු වී ශ්‍රී ලංකා පාපන්දුව ජාත්‍යන්තර තහනම බේරා ගැනීමට එක්වී කටයුතු කිරීම අවශ්‍ය බව ජස්වර් උමර් අවධාරණය කළේය.
සබැඳි පුවත් :
ක්‍රීඩා ඇමැතිගේ ගැසට්ටුවට එරෙහිව පළමු පැනල්ටි ප්‍රහාරය FIFA වෙතින්!
පාපන්දුවට පංච පුද්ගල 'අතුරු කමිටුවක්' ! - අභියාචනාධිකරණයේදී එකඟවේ