ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ පොදු යහපත උදෙසා පෙනීසිටින සමාජ බලවේගයන්හි දැඩි පරිශ්‍රමය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  21 වැනි සංශෝධනය සම්මත කර මේ වන විට මාස දෙකක කාලයක් ඉක්මවා ඇතත්

එකී සංශෝධනය මගින් අපේක්ෂා කරන ලද ඇතැම් මූලික හා ප්‍රධාන අරමුණු ඉටු කිරීම සඳහා රජය මේ දක්වා පියවර ගෙන නොතිබීම පිළිබඳව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' කනස්සල්ල පළකරයි.

ඒ සම්බන්ධයෙන් සිය සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

ව්‍යවස්ථා සභාව සඳහා පත්කර ගත යුතු සිවිල් සමාජ නියෝජිතයන් මේ වන තෙක් පත්කර නොමැති වීම දැඩි ලෙස විවේචනය කරන කරු ජයසුරිය, එය ජාතියට කරනු ලබන බලවත්ම ද්‍රෝහිකමක් වනු ඇතැයි අවධාරණය කර සිටියි.

21 වැනි සංශෝධනයට ගරු කරමින් ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජනය පදනම් කරගනිමින් පත්කරගත යුතුව ඇති සාමාජිකයන් නොපමාවම පත්කරන ලෙසත්, එමෙන්ම 21 වැනි සංශෝධනයේ විදිවිධානයන්ට යටත්ව සියළුම ස්වාධීන කොමිෂන් සභා සඳහා දැනට සිටින සුදුසු සාමාජිකයන් ද ඇතුළත් වන ආකාරයට නැවත පත්කිරීම් සිදුකරන ලෙසත් හිටපු කතානායකවරයා රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.


21 වැනි සංශෝධනයේ අපේක්ෂාවන්ට පිටුපාලා !


21 වැනි සංශෝධනය සම්මත කරගනිමින් අපේක්ෂා කරන ලද්දේ 20 වැනි සංශෝධනය හරහා රටේ ව්‍යවස්ථාව දුර්වල කරමින් ඒක පුද්ගල බල අධිකාරයක් වෙත තහවුරු කරගන්නා ලද අසීමාන්තික බලය ඉවත් කරමින් සමස්ථ සමාජයයේ අදහස් ද නියෝජනය වන පරිදි  සිවිල් සමාජ නියෝජනයක් ද සහිත ව්‍යවථා සභාවක් හරහා  විනිවිදභාවයකින් හා සාමුහිකතවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සඳහා උපරිම දායකත්වය ලබාගැනීමය.

ඒ අනුව 21 වැනි සංශෝධනය වීමත් සමගම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පූර්ණ ව්‍යවස්ථා සභාවක් පත්කර ගැනීම හා 20 වැනි සංශෝධනයේ බලතල යොදාගනිමින් පත්කර ඇති කොමිෂන් සභා 21 වැනි සංශෝධනය අනුව පත්කරනු ලබන ව්‍යවස්ථා සභාවක එකගත්වයට යටත්ව නැවත පත්කිරීමය.

 

එම ප්‍රමුඛ කරුණු සලකා බැලීමේදී ව්‍යවස්ථා සභාව සඳහා පත්කර ගත යුතු සිවිල් සමාජ නියෝජිතයන් මේ වන තෙක් පත්කර නොමැත. එමෙන්ම 21 වැනි සංශෝධනයට යටත්ව  ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමක්ද සිදුකර නොමැත. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවන්ට අදාළව සැලකීමේදී එවැනි අවශ්‍යතාවයක් වඩාත්ම මතුවන්නේ 20 වැනි සංශෝධනය යටතේ පත්කර ඇති කොමිෂන් සභාවන්හි ඇතැම් සාමාජිකයන් පක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයන් හා දේශපාලන පක්ෂ ප්‍රවර්ධකයන් ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරුවලට පත්කර ඇති බවට සාධක පවතින නිසාය.

 

මෙවැනි තත්වයක් අතිශයින්ම ශෝචනීය ය. විශේෂයෙන්ම රටේ යහ පැවැත්ම හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේගයන්හි දැවැන්ත කැපවීම හා බලපෑම මත ජයග්‍රහණය කරගත් රටේ මූලික නීතියට යටත් අවකාශයන් නොසලකා හැරීම හෝ අවභාවිතා කිරීම යනු  රාජ්‍යයේ පැවැත්මට  සිදු කරනු ලබන බරපතල අවමානයකි. මෙවන් තත්වයන් හමුවේ අප අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කල යුතුමය. නොඑසේ නම් එය ජාතියට කරනු ලබන බලවත්ම ද්‍රෝහිකමක් වනු ඇත.

ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප ඉල්ලා සිටින්නේ 21 වැනි සංශෝධනයට ගරු කරමින් ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජනය පදනම් කරගනිමින් පත්කරගත යුතුව ඇති සාමාජිකයන් නොපමාවම පත්කරන ලෙසටය. එමෙන්ම 21 වැනි සංශෝධනයේ විදිවිධානයන්ට යටත්ව සියළුම ස්වාධීන කොමිෂන් සභා සඳහා දැනට සිටින සුදුසු සාමාජිකයන් ද ඇතුළත් වන ආකාරයට නැවත පත්කිරීම් සිදුකරන ලෙසටය.''


JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates