පළාත් පාලන මැතිවරණය යම් හේතුවක් මත කල් ගියහොත් මෙම වසර (2023) අවසානයේදී මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.
එලෙස ජනාධිපතිවරණයක් සඳහා අවස්ථාව උදාවනුයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට වසරකට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ අවස්ථාව ව්‍යවස්ථාවෙන් සැලසෙන බැවිණි.
මීළඟ පළාත්පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරනු ලබන පාර්ශ්වය පරාජයට පත් වුවහොත් එය ඊළඟ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට සෘජුව බලපාන බැවින් කෙලෙස හෝ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වනු ඇතැයි විපක්ෂයේ පක්ෂවල අදහස වී ඇත.
මීළඟ ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2024 වසරේ නොවැම්බර් මස 17 වැනිදායින් පසුව වුවත් දැනට බලයේ සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට 2023 වසරේ නොවැම්බර් මස 17 වැනිදාට පසුව මීළඟ ජනාධිපතිවරණය කැඳවීමේ බලය හිමිවන බවත්, මෙම සුවිශේෂී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂවල ද අවධානය යොමුවී ඇති බවත් 'දිවයින' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
''හදිසි ජනාධිපතිවරණයකට කිසිඳු ඉඩක් නැ '' - මහාචාර්ය චරිත හේරත්
කෙසේවුවද විපක්ෂයේ 'නිදහස' කණ්ඩායමේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසන්නේ, ඉක්මන් ජනාධිපතිවරණයකට අභිලාෂ කැඳවීමේ ව්‍යවස්ථාමය ඉඩක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (ඉ) වගන්තිය මගින් නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තේ ‘අභිලාෂය ප්‍රකාශ කර ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය’ පාර්ලිමේන්තුවෙන් පත්වෙන අනුප්‍රාප්ත ජනාධිපතිවරයකුට හිමි නොවන බවයි.
එම වගන්තිය වන්නේ" (31-ඉ) 40 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයට පත්වන අනුප්‍රාප්තක තැනැත්තෙකුට මේ අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය මගින් ජනාධිපතිවරයකු වෙත පවරා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ හිමිකමක් නොමැත්තේය" කියාය. ඒ නිසාම හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳව ඉදිරිපත් වන අදහස් පදනමක් නැත.
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වත්මන් ජනාධිපතිරයාට හා මේ ආණ්ඩුවට බරපතළ ආකාරයෙන් බලපාන බව සැබෑවක්ය. එහෙත් ඒ බලපෑම නිසාම ඉක්මන් ජනාධිපතිවරණයකට අභිලාෂ කැඳවීමේ ව්‍යවස්ථාමය ඉඩක් ඇත්තේ නැත. ''
සබැඳි පුවත් :
හදිසි ජනාධිපතිවරණයකට කිසිඳු ඉඩක් නැ ! - මහාචාර්ය චරිත හේරත්