ලිබරල් පක්ෂයේ සිදුකර ඇතැයි කියන නීතිවිරෝධී පත් කිරීම් සම්බන්ධ ප්රශ්නය නිසි බලය ඇති අධිකරණයකට යොමු කළ යුතු බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ ජාතික කාරක සභා සාමාජිකයන්ට දන්වා ඇත.
මැතිවරණ කොමිසම විසින් මේ බව දන්වා ඇත්තේ එම පක්ෂයේ ජාතික කාරක සභා සාමාජිකයන් වන මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ, ලැසිල් ද සිල්වා ඇතුළු පිරිසක් එම පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී සිදුකළ නීතිවිරෝධී පත්කිරීම් 07කට එරෙහිව ගොනු කරන ලද පැමිණිල්ලකට පිළිතුරු වශයෙනි. එම පක්ෂයේ ජාතික කරක සභාවේ සාමාජිකයන් 14 දෙනාගෙන් 11 දෙනෙකු එම පැමිණිල්ලට අත්සන් කොට තිබේ.
මේ මතු වී තිබෙන ප්රශ්නය ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ලෙස පෙනෙන බව ද මැතිවරණ කොමිසම එම ලිපියෙන් උතුමන්ගේ ඇතුළු පිරිසට දන්වා ඇත. මෙමෙ කාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, උතුමන්ගේ සහ ලැසිල් ද සිල්වා සමග සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි සහකාර මැතිවරණ කොමසාරිස් (නීති, විමර්ශන හා සැලසුම්) බී.පී.සී. කුලරත්න විසින් මෙම ලිපිය යොමු කොට ඇත.
එහිදී කොමිසමේ සභාපතිවරයා පවසා ඇත්තේ ලිබරල් පක්ෂයේ නව පත්කිරීම් සම්බන්ධ අවුල නිවැරදි කරගත යුත්තේ අධිකරණමය ක්රියාමාර්ගයකින් බවයි.
උතුමන්ගේ ඇතුළු පිරිස විසින් කරන ලද පැමිණිල්ලට අනුව පක්ෂයේ පසුව වාර්ෂික මහා සම්මේලනයේ දී පක්ෂයේ ප්‍රධාන තනතුරුවන සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික ඇතූව 07 දෙනෙකු ම පත්ව ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය වන අයුරිනි. මෙලෙස තනතුරු සඳහා අලුතින් පත් කරගත් කිසිවෙකු ගේ පක්ෂ සාමාජිකත්වය ජාතික කාරක සභාවක දී නිසිපරිදි සම්මත වී නැත. මෙය පක්ෂ ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි.
මේ අනුව පක්ෂයේ නව මහලේකම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන අමල් රන්දෙණිය පත්කොට ඇති අතර පක්ෂයේ නව සභාපතිවරයා ලෙස කේ.එස්.ටී පෙරේරා ගේ මස්සිනා පත්කොට තිබේ. කේ.එස්.ටී පෙරේරා පක්ෂය යනු ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය "මිල දී ගත්" ව්‍යාපාරිකයා ලෙස සැලකෙන අතර මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් අක්කර 100ක් නීතිවිරෝධී ලෙස ගොඩකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඔහු විසින් ලිබරල් පක්ෂයට ඇතුළු කරගෙන සිටින සියලු දෙනාම බැසිල් රාජපක්ෂගේ හිතවතුන් වන අතර ඒ හරහා රාජපක්ෂවරුන් වසර 35ක් පැරණි ලිබරල් පක්ෂය මහ දවල් කොල්ල කා ඇතැයි ආරංචිමාර්ග කියයි.
මේ අවුල හෙළිදරව් වීමත් සමග රසික ජයකොඩි නායකත්වය දරන ලිබරල් ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයෙන් ලිබරල් පක්ෂය ඉවත් කොට තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සමීපතම පිරිසක් විසින් රුපියල් මිලියන 50කට ලිබරල් පක්ෂය මිලදී ගෙන ඇතැයි රාවයක් පවතී.