පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ලබන මාර්තු මාසයෙන් පසු ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

 


පසුගිය වසරේ දී ගම්පහ දිස්ත්‍රිකයේ ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් 75 දෙනෙකුට රියැදුරු පුහුණු බලපත්‍රය ලබා දී ඊට අදාළ නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

එහි සාර්ථකත්වය මත අදාළ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර ශ්‍රවණාබාධිත පුද්ගලයන් ලක්ෂ 6 - 8ත් අතර සංඛ්‍යාවක් සිටින බවට අනුමාන කෙරේ.

එමෙන්ම 2023 ජනවාරි 01 වන දා සිට වාහන ලියාපදිංචිය සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව තීරණ කිහිපයක් ක්‍රියාත්මක වේ.


Driving license 825x380

# ලකුණු ක්‍රමයක් අනුව රියැදුරු බලපත්‍රය අහෝසි කිරීම දක්වා ක්‍රියා කිරීම. (ලකුණු 24ක් අඩු වූවිට වසරකට රියැදුරු බලපත්‍රය අහෝසි කෙරේ)

# වාහන ලියාපදිංචියේදී අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කිරීම

# වාහනයක අයිතිය පැවරීමේදී අවශ්‍ය පෝරමය ඉන්ටර්නෙට් ඔස්සේ බාගත කිරීමට ඉඩ දීම

# සෆාරි වාහන ලියාපදිංචි කිරීමේදී නව ක්‍රමවේදයක් හඳුන්වා දීම

# ශ්‍රී ලංකාව පුරා පිහිටි ගරාජ් ශ්‍රේණිගත කර ලියාපදිංචි කිරීම තුළින් නියාමනය කිරීම

# වාහන ලියාපදිංචි කරන ක්‍රමවේදය ඩිජිටල්කරණය කිරීම


sk 21

දිනෙන් දින වැඩිවන මාර්ග අනතුරු හේතුවෙන් ජීවිත දහස් ගණනක් අහිමි වීම හේතුවෙන්, එම අනතුරු අඩුකර ගැනීමේ වැඩපිළිවෙළක් ලෙස රියදුරු බලපත්‍රයට අවාසිසහගත ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව, රියදුරු සිදු කරන වැරදිවලට බලපත්‍රයේ ලකුණු අඩු කිරීමට බලාපොරොත්තු වන අතර, එමඟින් රියදුරු බලපත්‍රය අහිමි කිරීමට ද යෝජනාවී තිබේ.

මෙම රියදුරු අවාසිසහගත ලකුණු ක්‍රමය 2023 පළමු කාර්තුවේ සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.

නව ක්‍රමයට අනුව රියදුරු බලපත්‍රයට ලකුණු 24ක් ලැබෙන අතර, සිදු කරන වරදෙහි ස්වභාවය අනුව එම ලකුණු අහිමි වේ. අදාළ වරදේ ස්වභාවය අනුව ලකුණු අහිමි කිරීම පොලිසිය විසින් සිදුකරනු ඇත.
 
 
2023 පළමු කාර්තුවේ දී ලකුණු ක්‍රමවේද ආරම්භ කරන බවත්, මේ වසරේ පළමු සතියේ එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත්, මාර්තු මාසයට පෙර ළකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
 
 
"ලකුණු ගැසට් කරලා තියෙනවා. සම්පූර්ණ ලකුණු ගාන 24 යි. කැපෙන ලකුණු ගානක් සඳහන් කරලා තියෙනවා. ලකුණු 24 ඉවර වුණහම රියදුරු බලපත්‍රය අවලංගු කරනවා. නැවත රියදුරු බලපත්‍රය ගන්න නම් මුල ඉදලා ඉල්ලුම් කරන්න වෙනවා," මාධ්‍ය හමුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ ය.

අලුතින් හඳුන්වාදීමට නියමිත ‘අවාසිසහගත ලකුණු ක්‍රමය’ යටතේ වැරදි 32කට ආසන්න ප්‍රමාණයකට ළකුණු කැපීම මෙවසරේ පළමු කාර්තුවේ සිට ආරම්භ වනු ඇත.


ලකුණු අහිමිවන වැරදි:


මෙම ක්‍රමය යටතේ වැඩිම ලකුණු ප්‍රමාණයක් (ලකුණු 10ක්) මාර්ග අනතුරකින් පසු රථය නතර නොකිරීම (hit and run), අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම, තුවාල ලැබූවන් වහාම රෝහල වෙත හෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන නොයාම සහ ළඟම ඇති පොලිස් ස්ථානයට අනතුර වාර්තා නොකිරීම සඳහා අහිමිවනු ඇත.

150% වඩා වැඩි අධික වේගය (141 වගන්තිය) වරද යටතේ අහිමිවන ලකුණු ගණන අටකි.

වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම (99 වගන්තිය), අධික වේගය (30% සිට 50% දක්වා), මාර්ග යෝග්‍යතාව නොමැති ආකාරයේ රියක් ධාවනය, අපරික්ෂාකාරී ධාවනය හා නොසැලකිලිමත් ධාවනය නිසා ලකුණු සයක් අහිමිවෙයි.

20% සිට 30% දක්වා අධික වේගය යටතේ ලකුණු පහක් අහිමිවෙයි.

එමෙන්ම, නියමිත වේග සීමාව කඩ කිරීම (20% දක්වා), මාර්ග නීතිවලට අවනත නොවීම, වාහනය දිගු දුරක් පස්සට ගැනීම, සුළු අනතුරු ළඟම පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම, පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් / හස්ත සංඥා අනුගමනය නොකිරීම වැනි කරුණු මත අහිමිවන ලකුණු ගණන 4කි.

මෙහිදී, මාර්ග නීතිවලට අවනත නොවීම යටතේ නියමිත මංතීරුවේ ධාවනය නොකිරීම, වැරදි ලෙස ඉස්සර කිරීම, ඉස්සර කිරීමට ඉඩ ලබානොදීම, මංසන්ධියකට අදාළ නීති, එක් මාර්ගයක සිට වෙනත් මාර්ගයකට ගමන් කිරීමට අදාළ නීති ආදී වැරදි 14කි ලැයිස්තුගතකර ඇත.

නියමිත සංඥා ලබානොදීම හෝ වැරදි සංඥා ලබාදීම (153 වගන්තිය), ජංගම දුරකථන භාවිතය (152 A වගන්තිය), අනතුර වලක්වා ගැනීමට අසමත්වීම (149 වගන්තිය), ආසන පටි නොපැළඳීම (157 වගන්තිය) හා අධික ශබ්දය ආදිය නිසා අහිමිවන ලකුණු සංඛ්‍යාව තුනකි.

මෙම රියදුරු අවාසිසහගත ලකුණු ක්‍රමය සදහා මූලික නෛයිතික ප්‍රතිපාදන 2018 අංක 18 දරන මෝටර් වාහන සංශෝධන පනත මඟින් හදුන්වා දී ඇතිබවට ඔහු පැවසීය.


(BBC සිංහල සේවය)
 

 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්