එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සිවකුමාර් නඩේසන්
මෙම වසරේ (2023) ප්‍රවාසි භාරතීය සම්මානය සඳහා ඉන්දියානු රජය තෝරාගෙන ගෙන තිබේ.

ප්‍රවාසි භාරතීය සම්මානය ඉන්දියානු ඩයස්පෝරා සාමාජිකයන් වෙත ඉන්දීය රජය පිරිනමන ඉහළම සම්මානය වේ.

ඉන්දෝර්හිදී මේ මස 8 සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන 17 වැනි ප්‍රවාසි භාරතීය දිවාස් සමුළුවේදී ඉන්දියානු ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය අතින්  සිවකුමාර් නඩේසන් ලබාගැනීමට නියමිතය.



ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් ගේ සභාපතීත්වයෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ගේ උප සභාපතිත්වයෙන් යුත් සම්මාන කමිටුව සිවකුමාර් නඩේසන් මෙම සම්මානය සඳහා තෝරා ගත් අතර ඉන්දියානු ඩයස්පෝරා සාමාජිකයන් ලොව පුරා විවිධ ක්ෂේත්‍රයන්හි ළඟා කරගත් විශිෂ්ටත්වය අගයමින් ප්‍රවාසි භාරතීය දිවාස් සම්මානය පිරිනැමේ.
 

ප්‍රජා සුබසාධනය සඳහා නඩේසන් ගේ දායකත්වය අගයමින් මෙම සම්මානය පිරිනමන අතර ඉන්දියානු සම්භවයක් ඇති ජනතාවගේ ගෝලීය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපතිවරයා ද වන නඩේසන් ප්‍රජා සුබසිද්ධිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරයි.

‘කොවිඩ්’ වසංගත සමයේදී ශ්‍රී ලංකාව තුළ අතරමංව සිටි ඉන්දීය ජනතාවට සහයෝගය ලබාදීම සඳහා අරමුදල් රැස් කිරීමේ කාර්ය ද ඒ මහතා ආරම්භ කළ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සක්‍රීයව කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ වැඩසටහන් ඉදිරිපත් කිරීම් සඳහා ඉන්දියානු කලාකරුවන් රැසකට ආරාධනා කිරීමේදී පුරෝගාමීව කටයුතු කළ ඒ මහතා ශ්‍රී  ලංකාවේ කර්ණාටක සංගීතය වැනි සම්භාව්‍ය සහ සාම්ප්‍රදායික ක්ෂේත්‍රයන්ට අදාළ විවිධ වැඩසටහන් සඳහා ද සහයෝගය දුන්නේය.

ඒ මහතා විවිධ ප්‍රවාසි භාරතීය දිවාස් සමුළු අමතා ඇති අතර 2019 කුම්භ මේලා උත්සවයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද ආරාධනා ලැබීය.

මෙම සම්මානය හිමි කරගන්නා දෙවන ශ්‍රී ලාංකික පුරවැසියා සිවකුමාර් නඩේසන් වන අතර 2011 වසරේදී මනෝ සෙල්වනාදන් ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා දුන් අනගි දායකත්වය වෙනුවෙන් ප්‍රවාසි භාරතීය දිවාස් සම්මානයෙන් පිදුම් ලැබීය.

(lankadeepa.lk)
 
 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්