කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුක්ත ස්මාරකය සොරා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.



සොරකම් කරන ලද ඓතිහාසික “සඳගල“ මහනුවර ප්‍රදේශයේ ප්‍රබලතම දේශපාලකයකුගේ පුත්‍රයකුගේ මෙහෙවීමෙන් කොළඹට තදාසන්න ප්‍රදේශයේ ස්ථානයක් වෙත ප්‍රවාහනය කර ඇති බවට මේවනවිට තොරතුරු අනාවරණය වී ඇතැයි lankasara.com වාර්තා කරයි.

එම සොරකමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති පුද්ගලයන් සමඟ පොලිසියේ ඇතැම් නිලධාරීන් ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වන බැවින් සැකකරුවන් අත්අඩංගුවට නොගෙන විමර්ශන වෙනත් මාර්ග ඔස්සේ රැගෙන යන බවට විවිධ පාර්ශ්වලින් පොලිස්පතිවරයාට ලැබී ඇති තොරතුරු රැසක් පදනම් කරගෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් විමර්ශන නිසියාකාරව නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිස්පතිවරයා සූදානමින් සිටින බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

මේ සොරකමට සම්බන්ධ පුද්ගලයන්ට මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින් සමඟ කිට්ටු සම්බන්ධකම් ඇතත් එම දේශපාලනඥයන්ගෙන් පවා කිසිදු බලපෑමක් එල්ල වී නැති පසුබිමක පොලිසිය මෙසේ හැසිරීම ගැටලුසහගත බවද එම තොරතුරු සඳහන් කළේය.

පසුගිය 14 වැනිදා රාත්‍රී කාලයේ මේ සොරකම සිදු වන්නේ ඩිෆෙන්ඩරයකින් එම ස්ථානයට පැමිණි පිරිසකගේ ආරක්ෂාවක් යටතේ බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත. බූම් ට්‍රක් රථයක සඳගල පටවාගෙන ගොස් ඇති අතර අදාළ ඩිෆෙන්ඩරයේ හිමිකරුව පවා මේ වන විට හඳුනාගෙන තිබේ.

ඩිෆෙන්ඩරය ලියාපදිංචි කර ඇත්තේ කාන්තාවකගේ නමට බවද සඳහන්ය. එම ඩිෆෙන්ඩරය මහනුවර තාමත් තිබෙන බවද පොලිස් අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.

 

Untitled 1 24

සඳගල සොරකම් කිරීමට පිරිස පැමිණි ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය…

 

සොරකම සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද සම්බන්ධ වී ඇති බවට මේවනවිට තොරතුරු අනාවරණය වේ.

දුරකථන ජාල පරීක්ෂාවෙන් සහ සීසීටීවී දර්ශන නිරීක්ෂණයෙන් මේ පුරාවිද්‍ය අපරාධය සම්බන්ධව තොරතුරු රැසක් හෙළි වී ඇත.

පුරාවස්තු සොරකමට පසුදා මේ සොරකම පසුපස ඉන්නා ප්‍රධාන චරිතයක් බවට සැක කරන දේශපාලකයා ගේ පුත්‍රයාගෙන් පුරාවස්තුව නිවසේ තබාගෙන සිටි ඩිෆෙන්ඩර් රථ හිමිකරුට දුරකථන ඇමතුමක් ලැබී තිබේ. විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඊට පසුදා එනම් දෙසැම්බර් ම 15 වැනිදා මෙම දේශපාලකයාගේ පුත්‍රයා මෙම සැකකරුවන්ගේ නිවසට පැමිණ ඇති බවය.

එදිනම මෙම පුරා විද්‍යා ස්මාරකය ලොරියක පටවා එම නිවසින් පිට කර ඇත. එය අදාළ දේශපාලක ප්‍රතුයාගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි lankasara.com වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

සඳගල ලෙස ජන වහරේ පැමිණි මෙම පුරාවිද්‍යා ස්මාකරය තිබුණු භූමිය ක්‍රිස්තුවර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32ක් පමණ රජ කළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටියේ යැයි පැවසෙන ප්‍රදේශයකි. කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ සඳගල අඩි හතරක් පමණ දිගින් හා අඩි තුනක පමණ උසකින් යුක්තය.


(මුලාශ්‍රය - lankasara.com)


 

JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්