ආචාර්‍ය චානක අමරතුංග විසින් ආරම්භ කරන ලද ලිබරල් පක්ෂයේ නම 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' ලෙස නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී අන්දමින් වෙනස් කොට ඇතැයි ලිබරල් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කොට තිබේ.



ලිබරල් පක්ෂයේ නම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස වෙනස් කර ඇත්තේ ජාතික කාරක සභාවේ අනුමැතියකින් තොරව බව ද එය නිසි ඝණ පූර්ණයක් ඇතිව පැවැත්වුණු වාර්ෂික මහ සභා රැස්වීමකින් අනුමත වී නැති බව ද එම සංවිධානය විසින් මැතිවරණ කොමිසමට දන්වා ඇත.

 

ලිබරල් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිතවත් ව්‍යාපාරිකයෙකු වන කේ.එස්.ටී පෙරේරා විසින් ලිබරල් පක්ෂය මිලදී ගැනීමට පෙර එහි ක්‍රියාකාරීව කටයුතු කළ පිරිස බව වාර්තා වේ. එම ව්‍යාපාරය චෝදනා කරන්නේ මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති මේ ව්‍යාපාරිකයා පක්ෂයේ මහලේකම්ව සිටි නීතිඥ කමල් නිශ්ශංකගෙන් රුපියල් මිලියන 50කට ලිබරල් පක්ෂය මිල දී ගෙන ඇති බවය.

 

එමෙන්ම මෙම නම වෙනස් කිරීම සම්මත කළ පක්ෂයේ වාර්ෂික මහා සභා රැස්වීම පිළිබඳව පුවත්පත් දැන්වීමක් පළ කොට සාමාජිකයන් දැනුවත් කොට නැති බවත්, ඒ අනුව එය හොර රහසේ කැඳවන ලද ව්‍යවස්ථා විරෝධී වාර්ෂික මහා සභා රැස්වීමක දී ගන්නා ලද තීරණයක් බවත් එම ව්‍යාපාරය චෝදනා කරයි.

වාර්ෂික මහා සභා රැස්වීමට අඩු ම තරම සාමාජිකයන් 20ක ගණ පූර්ණයක් තිබිය යුතු බවත්, එම රැස්වීමේ සිට ඇත්තේ සාමාජිකයන් 10 දෙනෙකු පමණි. ඒ අනුව ව්‍යවස්ථානුකූල වලංගුභාවයක් එම වාර්ෂික මහ සභා රැස්වීමට නැති බව ද එම ලිපියේ සඳහන් වේ.

ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලිය සිදුවී ඇත්තේ ලිබරල් පක්ෂ ව්‍යවස්ථාවේ 11, 37 සහ 43 යන වගන්ති උල්ලංඝණය වන අයුරින් වන අතර මෙය පක්ෂ මහලේකම්ව සිටි කමක් නිශ්ශංක විසින් සිදු කරන ලද සටකපට ගනුදෙනුවක් බව ද ලිබරල් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය චෝදනා කරයි.

ප්‍රකට බුද්ධිමතෙකු වන ආචාර්‍ය චානක අමරතුංග විසින් 1987 දී ලිබරල් පක්ෂය 1987 දී ආරම්භ කරන ලද අතර ඉන්පසුව මහාචාර්‍ය රජීව් විජේසිංහ එහි නායකත්වය දැරීය. රජිව් විජේසිංහගෙන් පසු පක්ෂයේ මහලේකම් වන කමල් නිශ්ශංක විසින් ලිබරල් පක්ෂය විකුණා ඇති අතර එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මේ වන විට නීතිමය ගැටලුවක් උද්ගත වී තිබේ.

 

එමෙන්ම ජාත්‍යන්තර සහ ආසියානු ලිබරල් සංවිධාන ජාලය ද මේ වන විට ශ්‍රී ලංකාවේ ලිබරල් පක්ෂය සිය සංවිධාන ජාලයෙන් නෙරපා හැර තිබේ. රසික ජයකොඩි විසින් නායකත්වය දරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය ද ලිබරල් පක්ෂය සිය එකමුතුවෙන් ඉවත් කොට ඇතැයි දැනගන්නට තිබේ.

 

"පසුගිය කාලයේ ලිබරල් පක්ෂයේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ අන්ත දූෂිත විදියට. ලිබරල් පක්ෂය හොර ගුහාවක් බවට පත්වෙලා තියෙනවා. මුන් වැඩකරන විදියට ආචාර්‍ය චානකට මිනීවළේවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නෑ," මේ පිළිබඳව 'ලීඩර්' වෙත කරුණු දැක්වූ ලිබරල් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයේ සාමාජිකයෙකු සඳහන් කළේය.



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්