සිංහල සංවිධානයකින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

සයිබර්' අපරාධ විමර්ශන අංශය (cyber crime division) විසින් ඊට අදාලව කටඋත්තරයක් ලබාගැනීම සඳහා 'voicetube.lk' වෙබ් අඩවියේ කතුවරිය වන තුෂාරා විතාරණ වෙත අද (28) පෙරවරුවේ රහස් පොලිසියේ 4වැනි තට්ටුවට පැමිණෙන්නැයි දැනුම්දීමක් කර තිබේ.

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ මාධ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළ තුෂාරා විතාරණ  theleader.lk වෙබ් අඩවියේ පුවත් පළකිරීම් වලට දායකවූ මාධ්‍යවේදිනියකි.

ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කණ්ඩායමක් සමග චීනයේ සංචාරයක නිරතව සිටි ඇය මසකට වැඩිකාලයකින් පසු යලි දිවයිනට පැමිණියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමාවීමට දින කිහිපයකට පෙරය.

 

මාධ්‍යවේදී නීතිඥ ධනුෂ්ක සංජයට ICCPR පනත යටතේ චෝදනා !

'සයිබර්' අපරාධ විමර්ශන අංශය විසින් ඇයව කැඳවීමේ හේතුව නිශ්චිතව ප්‍රකාශ වී නැතත්, එම ඒකකය විසින් පෙරේදා (නොවැම්බර් 26 ) ‘ද ලීඩර්’ විකල්ප රූපවාහිනී ප්‍රවෘත්ති මාලාව ඉදිරිපත් කළ මාධ්‍යවේදී නීතිඥ ධනුෂ්ක සංජය කැඳවා පැය 08කට වැඩි කාලයක් පුරා ප්‍රශ්නකර තිබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැක මතුකරමින් The Leader TV යු ටියුබ් චැනලය මගින් ප්‍රකාශයට පත්කළ වීඩියෝවක් සම්බන්ධයෙන් එහිදී ඔහුගෙන් ප්‍රශ්නකර ඇතැයි වාර්තාවේ.

ICCPR පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇති බවත් පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.

ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව අධිකරණයට 'බී' වාර්තාවක් ඉදිරිපත් වුවහොත්  ශක්තික සත්කුමාරට සේ ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුවනු වනු ඇතැයි ද පැවසේ.

 

NEWS HUB වෙබ් අඩවියට කඩා පනී!

ඒ අතර පෙරේදා (26) දහවල් newshub.lk වෙබ් අඩවි කාර්යාලයට කඩා වැදුන පොලිස් නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුන කණ්ඩායමක් ව්‍යාජ සෝදිසි වරෙන්තුවක් පෙන්වමින් එම කාර්යාලයේ පරිගණක යන්ත්‍ර පරික්ෂාවට ලක්කර
තිබිණ.

NEWS HUB වෙබ් අඩවිය පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පක්ෂපාති ස්ථාවරයක සිට කටයුතු කළේය.

එම බලහත්කාරය සම්බන්ධයෙන් කරුණ දැක්වීමට මාධ්‍ය හමුවක් කැඳවූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක, රට තුළ සියලු දෙනාටම බලපාන එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බව කියා සිටියේය.

පෙරේදා (26) සවස පැවැති එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණ සමයේ සිය දේශපාලන කටයුතු වෙනුවෙන් සේවාවන් සැපයූ ආයතනයක් පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

 

බියවැද්දීමට ගන්නා උත්සාහයන් !

වලංගු සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව එවැනි පරීක්ෂාවන් සිදුකරමින් එවැනි ආයතන බියවැද්දීමට ගන්නා උත්සාහයන් හෙළාදකින බව රාමනායක පෙන්වා කියා සිටියේය.

එසේම එය මර්දනකාරී පිළිවෙතක් බවද පෙන්වා දුන් රාමනායක සඳහන් කළේ, එවැනි පරීක්ෂාකිරීමක් සිදුවන්නේ නම් එහි විධිමත්භාවයක් තිබිය යුතු බවයි.

තම දේශපාලන ව්‍යාපාරය සෑම විටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය ඉදිරිපත් කරන රටට වැඩදායී ඕනෑම කාර්යයකදී ඊට සහාය දෙන බවත් ධනුෂ්ක රාමනායක එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම සියලු දෙනාටම එක නීතියක් ගෙන එන බවට ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉෂ්ට වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු අවධාරණය කර සිටියේය.

(ධනුෂ්ක රාමනායක පළ කළ එම අදහස් ඇතුළත් වීඩියෝව පහතින්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්