ලෝක බැංකු ණය යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති වසර හතහමාරක් තිස්සේ ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඩොලර් කෝටි 10ක එනම් රුපියල් කෝටි 1840ක දඩමුදලක් නියම කර ඇති බව විගණන වාර්තා උපුටා ගනිමින් 'ලංකාදීප' පුවත්පත කරයි.



”මෙහෙම පාඩු කරගැනීම් නවත්වාගන්න බැරිද? ” යන සිරස්තලයෙන් යුතුව එම පුවත්පතේ පසුගිය 10වන දින පළවූ කතුවැකියෙ හි සඳහන් වන්නේ රුපියල් කෝටි 1840ක මුදල මෙයට වසර කිහිපයකට පෙර පැවති විදේශ විනිමය අනුපාතය අනුව ගණනය කර තිබෙන බවයි.

කාලින වැදගත්කම සලකා ලංකාදීප එම පුවත් කතුවැකිය පහත පලකෙරේ.

''ශ්‍රී ලංකාවට ලබාදුන් සංවර්ධන ව්‍යාපෘතියක් වසර හත හමාරක් තිස්සේ ප්‍රමාද කිරීම හේතුවෙන් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සෑහෙන දඬුවමක් ලබා දී තිබේ. දඬුවමකට වඩා එය දඩයකි. දඩයේ වටිනාකම ඩොලර් කෝටි 10කි.

විගණන වාර්තාවකින් හෙළිකර ඇති පරිදි ලෝක බැංකුව මෙසේ ශ්‍රී ලංකාවට දඬුවම් පමුණුවා ඇත්තේ විදේශ ආධාර යටතේ ඇරඹු මහනුවර, ගාල්ල සහ යාපනය නගර සංවර්ධන ව්‍යාපෘතිය වසර හතහමාරක් තිස්සේ ප්‍රමාද කිරීම හේතුවෙනි. එසේ ප්‍රමාද කළ බවට චෝදනා කරමින් ලෝක බැංකුව රුපියල් කෝටි 1840ක මුදලක් කපා හැර ඇතැයි විගණන වාර්තාව කියා තිබේ. එම මුදල ඩොලර් කෝටි 10කි.

 

ලංකාවට ඩොලර් යනු අසීමිත වටිනාකමක් සහිත මුදල් ඒකකයකි. අපේ රටේ විදේශ සංචිතය අන්තිම බින්දුවටම සිඳී ගොස් ඇත්තේ ඩොලර් නොලැබීම හේතුවෙනි. එසේ තිබියදීත් රටට ආධාර වශයෙන් ලැබෙන ව්‍යාපෘති ප්‍රමා ද කර කෝටි ගණනින් ඩොලර් අහිමි කර ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එසේම ලෝක බැංකුව වැනි ශ්‍රී ලංකාවට ආධාර සපයන ජාත්‍යන්තර ආයතන මෙවැනි තීන්දු ගැනීමට තල්ලු‍ කිරීම රටට මහත් පාඩුවකි. එය ඔවුන් අප රටට ලබාදෙන ආධාර හෑල්ලු‍ කිරීමකි.

 

2014 වසරේ මැයි මාසයේ දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 3491ක් බව සඳහන්ය. එම ව්‍යාපෘතිය 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදාට අවසන් කළ යුතුව තිබිණි. මෙම ව්‍යාපෘතියට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධන සංගමය ඩොලර් කෝටි 20ක් හෙවත් රුපියල් කෝටි 2750ක ආධාර මුදලක් ලබා දීමට එකඟ වී තිබුණත් 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිටත් ප්‍රයෝජනයට ගෙන තිබුණේ සියයට 48කටත් අඩු මුදලක් වීම හේතුවෙන් ඉතිරි මුදල ලෝක බැංකුව මගින් ඉවත් කරගෙන තිබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි විශාල ගණනක ආධාර අහිමි වූ බව 2021 විගණකාධිපති වාර්තාව කියයි.

වසර 05ක කාලයක් තිස්සේ මේ ආකාරයට ඩොලර් කෝටි 20ක් වටිනා ව්‍යාපෘතියක් නිම කර ගන්නට නොහැකි වූ හේතු වහාම සොයා බැලිය යුතුය. මෙම ව්‍යාපෘති භාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමකින් තොරව මේ සිද්ධියේ වගඋත්තරකරුවන් සොයා ගැනීම පහසු නොවනු ඇත. අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ රටට අහිමිව ගිය ආධාර මුදල් යළි ලබා ගැනීමට අවස්ථාවක් නොතිබිය හැකි වුවද මෙවැනි අකාර්යක්ෂම හා නොසැලකිලිමත් කරුණු හේතුවෙන් මින් ඉදිරියට හෝ මේ ආකාරයට ආධාර අහිමි කර ගැනීම වළක්වා ගත යුතුය. ඒ සඳහා නිසි පියවර නොපමාව ගැනීමට වගකිව යුතු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුය.

 

නගර තුනක් සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික දුෂ්කරතා මතුවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිසි කලට අවසන් කිරීම ඊට සම්බන්ධ නිලධාරීන්ගේ වගකීමකි. වෙලාවට වැඩ අවසන් නොකෙරුණොත් ඊට ආධාර ලැබීම නවතින බව මේ නිලධාරීන් නොදැන සිටීමට හේතුවක් නැත. වසර 05කට ඉලක්ක ගත ව්‍යාපෘතියක් වසර 07ක් යනතුරුත් අවසන් කර ගැනීමට නොහැකි වීම එකී නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව පෙන්නුම් කිරීමකි. ඒ සඳහා වෙනත් බාහිර සාධාක හේතු වී දැයි සොයා බැලීම ද අවශ්‍යය.

 

විශේෂයෙන් එය දකුණු මධ්‍යම සහ උතුරු යන පළාත් තුනක ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වීමත්, 2014 සිට 2021 වනවිට ආණ්ඩු 03ක පාලනයක් තිබීමත් එකි ව්‍යාපෘතියට ඍණාත්මක ලෙස බලපෑවා දැයි අපි නොදනිමු. එහෙත් ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘතියක් ආධාර මුදල් ලැබී තිබියදීත් අවසන් කර ගැනීමට නොහැකි වීම රටටම සිදු වූ පාඩුවක් බව පැහැදිලිව පෙනී යයි.

අපේ රට තුළ මින් පෙරද ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති තිබේ. ඒවායින් බොහොමයක් සාර්ථකව නිම වූ ඒවා බවද කිව යුතුය.

මෙවැනි ව්‍යාපෘති අවසන් නොවීමේත් ආධාර ආපසු යාමේත් වින්දිතයන් වන්නේ මේ රටේ මහජනතාවය. අහිමිව යන්නේ මහජනතාවට භුක්ති විඳිය හැකි යටිතල පහසුකම්ය. එය එසේ නොවිය යුතුය. රටට ලැබෙන කුමන ව්‍යාපෘතියක් වුවද අකාර්යක්ෂම, නුසුදුසු, නොසැලකිලිමත් නිලධාරීන් අතට පත්වීම වළක්වා ගැනීම මින් ඉදිරියට හෝ එම තත්ත්වය වෙනස් කිරීමටත් විදෙස් ආධාරවලින් උපරිම ඵල නෙළා ගැනීමටත් මහෝපකාරී වනු ඇත.

( උපුටා ගැනීම - lankadeepa.lk)


JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්