හිටපු කතානායක කරු ජයසූරිය ගේ මූලිකත්වයෙන් “ජන සභා සංකල්පය” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා ලද තීරණය “බොදු බල සේනා” සංවිධානයේ පැසසුමට ලක්ව ඇත.



ලංකාවේ යහපත වෙනුවෙන් කැපවුණු, බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති, එනම් සැමට එක හා සමානව සලකන, චතුරාර්ය සත්‍ය මත පදනම්ව හේතු ඵල ධර්මය පිළිගෙන කටයුතු කරනු ලබන තම සංවිධානය ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් කෘතඥතාවය පලකර සිටින බව  “බොදු බල සේනා” සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

උන්වහන්සේ එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමිනි.

 

'ජන සභා' වැඩසටහන ග්‍රාම සේවා වසම් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම නිවැරදි තීරණයක් බව පවසන උන්වහන්සේ, එසේ වුවත් ජන සභා සංකල්පය දැනට රට මුහුණ පා සිටින නොයෙක් අර්බුද ඉදිරියේ වඩාත් කාර්යක්ෂම ලෙස උපයෝගී කරගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ බව කියා සිටිති.

 

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

''රටේ බිම් මට්ටමේ සිවිල් පරිපාලන ඒකකය වන ග්‍රාම සේවා වසම් 14,026, ස්වාභාවික (Natural) මායිම් සහිත ඒකක වශයෙන් යළි ප්‍රතිසංස්කරණය කල යුතු යැයි අපි සිතමු.

මේ අනුව 1832 දී සිට පැවත එන කෝල්බෲක් කෘතිම සූත්‍රය වෙනුවට, රටේ ග්‍රාම සේවා ඒකක ස්වාභාව ධර්මය හා එකඟවන සිවිල් ඒකක (Organic) බවට පෙරලෙන්නේය.

 

කච්චේරියේ සිට ඇති දුර හා ජන සංඛාව අනුව මුලින් ඇතිකල පාලත් පහ, පසුව පලාත් නවයක් විය. ඒවා තුල දිස්ත්‍රික්, උප දිස්ත්‍රික් හා ග්‍රාම සේවා වසම් මායිම්වූයේද කෝල්බෲක් සූත්‍රයට අනුවය. මේ අන්දමට බිහිවූ ග්‍රාම සේවා වසම් 4,000, හදිසියේම 1980 දශකයේදී 14,000 ක් ලෙස වැඩිකරණ ලදී. මෙම අධික වැඩිකිරීමට හේතුව පැහැදිලි නැත. ඒ නිසා රටට හෝ මහජනයාට ලැබුණ වාසියක් හෙලිවීද නැත.

 

ඇමෙරිකාව, කැනඩාව වැනි විශාල රටවල භූමිය ගංඟා නිම්න හා භූගත ජල ද්‍රෝණි වශයෙන් සීමා නිර්ණය කර කළමනාකරණය කරන්නේය. ලංකාව මෙන් කුඩා රටක් වන නවසීලන්තයේ පහලම සිවිල් පරිපාලන ඒකක ජල ද්‍රෝණි වශයෙන් මායිම් කල යුතුයයි රටේ ව්‍යවස්ථාවෙන්ම නියම කර ඇත.

අවුරුදු දහස් ගණනක සිට ලංකාවේ පැවතියේ ගම-වැව-දාගැබ යන භෞතික-සාමාජික-ආර්ථික දේශපාලන ත්‍රිත්වයයි (Trinity). සෑම ජනාවාසයක්ම, ගම්මානයක්ම ජලය හා බැඳුණ මිනිස් ඒකක විය. අතීත රාජාණ්ඩු සමවලදී මෙන්ම මහවැලි වැනි වත්මන් යෝධ ව්‍යාපාර වලදීද, ජලය (Hydrology) මූලික භූගෝල විද්‍යාත්මක සාධකය විය.

ජලය මූලික කරගෙන ග්‍රාම සේවා වසම්වල සීමා මායිම් කිරීම මඟින් දැනට ඇති අති විශාල වසම් සංඛ්‍යාව බෙහෙවින් අඩුවනු නිසැකය. මේ නිසා යම් වසමක භූමි ප්‍රමාණය විශාල වන්නේ නම් එවැනි වසමකට නිලධාරීන් එක් අයෙකුට වැඩියෙන් පත් කල හැකිය. වැදගත් කරුණ වන්නේ එම වසම අනිත් වසම් මෙන් ස්වාභාවික ඒකකයක් වීමය.


ස්වාභාවික මායිම් සහිත ග්‍රාම සේවා වසම් ක්‍රමයක ඇති වාසි


1. ගසක අතුමෙන් මතුපිට ජලය ඉහල සිට පහලට ගලා බසිනා හෙයින්, මෙම ග්‍රාම සේවා වසම් එකතුකර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රදේශද, ඒවා එකතුකර දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ඉන් පසු පලාත් ද සීමා මායිම් කර ගත හැකිය.

මේ අනුව යමින් දිවයිනේ ඇති ගංඟා නිම්න 103 ප්‍රධාන ගංඟා නිම්න හතකට බෙදූ සිතියමක් මහාචාර්ය මද්දුම බණ්ඩාර විසින් පිළියෙල කර ඇත. දේශපාලන අවශ්‍යතාවයට අනුව, රුසියන් බෝනික්කෙක් මෙන් ඕනෑ තරම් දිස්ත්‍රික් හෝ පලාත් වශයෙන් මෙම ග්‍රාම සේවා වසම් ගොනු කරගත හැකිය.

2. මධ්‍යම රජයේ ආයතන වල (අධ්‍යාපන, පොලිස්, සෞඛ්‍ය, කෘෂිකර්ම, ආපදා කළමනාකරණය, ගොවිජන සේවා, අලි-මිනිස් ගැටුම් යනාදි) ප්‍රාදේශීය බල ප්‍රදේශ මායිම්ද මෙසේ ග්‍රාම සේවා වසම් වල මායිම් සමඟ ගලපා ගත හැකිය.

3. රාජ්‍ය සිවිල් පරිපාලන ඒකක වලට අමතරව දේශපාලන භූමි ඒකක වල සීමා මායිම් කිරීම සඳහාද මෙම ස්වාභාවික ග්‍රාම සේවා වසම් ක්‍රමය උපයෝගී කරගත හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද බල ප්‍රදේශ, ප්‍රාදේශීය සභා ඒකක හා ඒවායේ කොට්ඨාශ මෙසේ සීමා මායිම් කිරීමෙන්, දැනට ඇති සීමා නිර්ණය කිරීමේ කොමිෂම් සභා ක්‍රමය අහෝසි කල හැකිය. මෙය “එක රටක් එක නීතියක්” යන සංකල්පය භූමිය මතු පිට දර්ශණය කිරීමක් වැනිය.

ස්වාභාවික ඒකකයක් (Organic/Natural Unit) යන රාමුව තුල භූගෝල විද්‍යාත්මකව අවශ්‍යවන යම් සාධාරණ සංශෝධන (Reasonable Adjustments)  කල හැකිය.

4. මෙවැනි පදනමක් යටතේ ග්‍රාම සේවා වසම්වල සීමා මායිම් කරන්නේ නම්, පක්ෂ දේශපාලන වියවුල නිසා හෙම්බත්ව, කළකිරී, වියරුවැටී  සිටිනා  සමාජයකට ඈත අතීතයේදී පැවතියා මෙන් සම්මුති දේශපාලන ක්‍රමයක් හඳුන්වා දීමට අවකාශයක් ලැබේ.

 

ජන මූල සභා පිහිටුවීමක් ගැන 2019 ගෝඨාභය ඡන්ද ප්‍රකාශණයේ සඳහන් විය. නිර්පාක්ෂික යයි පෙනී සිටි ගෝල්පේස් අරගලකරුවන් මහජන සභා ක්‍රමයක් ඉල්ලා සිටියේය. එයට රිංගා ගත් පෙරටුගාමීන් මහජනයාට බලය දිය යුතුයයි පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණ රටපුරා ජනයා සංවිධානය කරන බවට උදම් අණිමින් සිටී. පක්ෂ දේශපාලනයෙන් තොරව තෝරා පත්කර ගන්නා නියෝජිතයින්ගෙනුත්, පන්සල/පල්ලිය/කෝවිල හා පොලිසිය/යුදහමුදා නාමිකයිනුත් යන තුන් කොටසින් සමන්විත ජන සභාවකට බිම් මට්ටමින් පාලන බලතල පවරා දීම මඟින් “රට ගොඩ ගැනීමේ, ගොඩ නැඟීමේ ව්‍යාපාරයක්” දියත් කිරීමට ඉඩක් තිබේ.

 

නියමාකාරයෙන් මහජනයා බලවත් කිරීම (Meaningful Empowerment of People) හැර වෙනත් දේශපාලන විකල්පයක් ඇතැයි අපි නොසිතමු. නොයෙක් අන්දමේ බලය පැවරීමේ (Devolution of Power to Politicians) යෝජනා වලින් පක්ෂ දේශපාලන නායක පිරිස් උත්සාහ කරන්නේ රට කැබලි කිරීමට බව සිංහල හා දෙමළ පොදු ජනයා වටහාගෙන තිබේ.  මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සැලැස්මක්ද අප සතුව තිබේ.

මෙම කරුණ සම්බන්ධව ඔබතුමා සමග සාකච්ජා කිරීමට අප සංවිධානය කැමැත්තෙන් සිටින අතර ඒ සඳහා ඉක්මනින් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

 

ජාතික වශයෙන් අතිශය තීරණාත්මක මේ මොහොතේ රට ගොඩ ගැනීමට, ගොඩ නැඟීමට නම් විවිධ බේද අමතක කොට කුහක නොවී “රට එකට” යන පදනමින්  සියලු දෙනාගේ සමගිය හා එක්වීම අතිශය වැදගත් බව අවධාරණය කරමු.''

 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්