ගාල්ල ධීවර සංස්ථා අයිස් යන්ත්‍රාගාරය දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙකුගේ ගජ මිතුරකුට කුණු කොල්ලයට අලෙවි කිරීමේ සුදානමක් පවතින බවට ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ. එච්. නිශාන්ත චෝදනා කරයි.


ඊට එරෙහිව ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධතාවක් ආරම්භ කරන බව ඔහු කියා සිටියේය.

සේවකයින්ගේ මාසික වැටුප් නිසි පරිදි නොගෙවීම, ඊ. ටී. එෆ්. සහ ඊ. පී. එෆ්. හිඟ රුපියල් කෝටි 62 ක ගෙවීම් පැහැරහැරීම මගින් සේවක අයිතිවාසිකම් අහිමි කිරීම, විශ්‍රාමික 70 දෙනකුගේ පාරිතෝෂික මුදල් හා අධිභාර ගෙවීම් පැහැර හැරීම, ගාල්ල ප්‍රදේශයේ ධීවරයන්ට උසස් තත්ත්වයේ අයිස් කැටයක් රුපියල් 370 ක් වැනි සහන මිලට ලබා ගැනීමට තිබෙන අවස්ථා අහිමි කිරීම ඇතුළු කප්පාදු රැසක් සිදුවන බවද නිශාන්ත පැවසිය.

මෙම උත්සාහය හකුළාගන්නා ලෙස බලකරමින් පසුගිය සිකුරාදා (13 දා) දිවා ආහාර වේලාවේ විරෝධතාවක් දැක්වූ බවත් එයින්ද විසඳුමක් නොලැබුනහොත් ධීවර සංස්ථා කොළඹ ප්‍රධාන කාර්යාලය හා ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම විරෝධතාව සඳහා සමගි සේවක සංගමය, කාර්මික හා සාමාන්‍ය කම්කරු සංගමය, ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය යන සංගම්වල සාමාජිකයෝ එක්ව සිටියහ.


''මසකට එක්කෝටි දශ ලක්ෂයක පමණ අදායමක ලබාගන්න පුළුවන්'' -වෘත්තීය සමිති


“මෙම අයිස් නිෂ්පාදන යන්ත්‍රාගාරය සුනාමි ව්‍යසනයේ දි විනාශ වීමෙන් පසු ජපන් රජය විසින් තමයි නැවත ඉදි කරලා දුන්නේ. මෙම යන්ත්‍රාගාරයෙන් අයිස් ටොන් 50ක් පමණ දෛනිකව නිෂ්පාදන කරන්න පුළුවන්. ධීවර සංස්ථාව තමයි මෙම යන්ත්‍රගාරය මුලදි පාලනය කළේ. ඒ කාලයේ ලාභ ලැබුවා. ප්‍රමිතියෙන් යුතු අයිස් ධිවර ජනතාවට ලබා දීමට හැකිවුනා. පසුව ධීවර සංස්ථාවේ ඉහල කළමණාකාරිත්වය විසින් තම දේශපාලන හිතවතුන්ට අයිස් යන්ත්‍රගාරය භාරදීම නිසා අයිස් නිෂ්පාදනාගාරයේ දෛනික නිෂ්පාදනය හරි අඩකින් පමණ මේ වනවිට අඩු වෙලා තියෙනවා.

මෙම යන්ත්‍රගාරයෙන් දිනකට කිලෝ 50 අයිස් කැට 1024 නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ අනුව දිනකට අයිස් කැට 1000ක් නිෂ්පාදනය කළහොත් මසකට එක්කෝටි දශ ලක්ෂයක පමණ අදායමක ලබාගන්න පුළුවන්. එම නිසා අයිස්යන්ත්‍රාගාරය පුද්ගලික අංශයට ලබාදිම වහාම නතර කරන ලෙස ධීවර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යයි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු පැවසිය.

(මුලාශ්‍රය - divaina.lk)

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්