ශ්‍රී ලංකාව ඉදිරි වසර 5 තුළ බරපතළ ආර්ථික අභියෝග රැසකට මුහුණ පෑමට නියමිතය. විදෙස් ණය වාරික ගෙවීම් වැඩි වීම,

ජනාධිපතිවරණ පොරොන්දු ඉටු කිරීම ආදී කරුණු හේතුවෙන් එහි බරපතළ බව තවත් උග්‍ර වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.‍

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මුහුණ දීමට සිදුවන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඔහුට ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව වැනි ආර්ථික බලවතුන්ගේ සහය ලබා ගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලනික ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන කරුණක් වන්නේ, ආසියානු රටවල් දෙකක් වන චීනය සහ ඉන්දියාව ආර්ථික මෙන් ම දේශපාලනික වශයෙන් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට බලපා ඇති බවය.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී වැඩි වශයෙන් චීනය සමග ආර්ථික සබඳතා පැවැත්වූ බවක් දක්නට ලැබිණි. 2015 දී බලයට පත්වූ රජය ද හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති හරහා ඉන්දියාවේ "හිත රිදවූ" බව දේශපාලනික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වී දින දෙකක් ගත වන්නටත් පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිය නියෝජිතයෙකු ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද්දේ මෙවැනි වටපිටාවක් මධ්‍යයේය.

පසුගිය නොවැම්බර් 20 වන දා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශුභාශිංසන පිරිනැමීය.

එම හමුවෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ, "මගේ පළමු විදේශ සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීමට ඔහු කළ ආරාධනය පිළිගැනීමටත්, සම්බන්ධතාව ශක්තිමත් කිරීමටත්, කලාපීය ආරක්ෂාව, සාමය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු සාකච්ඡා කිරීමට ලැබීමත් ගෞරවයක්," බවය.

HE Twite

 

ඉන්දීය විශ්ලේෂකයින්ගේ අදහස්

කලාපයේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට සමීප වීමට පෙර නව ජනාධිපතිවරයා සමග සබඳතා තර කර ගැනීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී ඇති බව ඉන්දීය දේශපාලනික විශ්ලේෂකයින් රැසකගේ අදහස වී තිබේ.

චෙන්නායිහි ඔබ්සර්වර් රිසර්ච් පදනමේ ප්‍රධානී එන්. සත්‍යමූර්ති පෙන්වා දුන්නේ, චීනය, පාකිස්තානය වැනි බලවේගයන්ට බලපෑම් කිරීම සදහා එම රටවල් ශ්‍රී ලංකාවට සමීප වීමට පෙර ශ්‍රී ලංකාව සමග සබඳතා තහවුරු කිරීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇති බවය.

"චීනයේ අපේක්ෂා නොතකා හැර ඉන්දියාවට හිතවාදී ලෙස ක්‍රියා කිරීමට කටයුතු නොකළ නිසා ඉන්දීය රජය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලනය ගැන සතුටින් හිටියේ නැහැ. ඉන්දියාවට උපායමාර්ගික වශයෙන් වැදගත් වුණු ත්‍රිකුණාමලය වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගැන ඉන්දියාව අවධානයෙන් හිටියේ. ඒත් මෛත්‍රීපාල සිරිසේන පාලනය යටතේ ඒකවත් ඉටු වුණේ නැහැ," ඔහු පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ද කලක් සේවය කර ඇති ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන නිරූපමා සුබ්‍රමනියන් පැවසුවේ, "මීට පෙර ශ්‍රී ලංකාවේ අලුතින් පත්වන ජනාධිපතිවරයාට සුබ පැතුම් පළ කළ ද මෙවර නියෝජිතයෙකු යවන ලද්දේ චීනය නිසා," බවය.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම පදවියට පත්වීමෙන් පසු නිරත වන පළමු විදේශ නිල සංචාරය මෙය වන අතර, මෙම හමුවේදී ගැඹුරු සාකච්ඡා සිදු නොවනු ඇතැයි ඉන්දීය විශ්ලේෂකයෝ අනුමාන කරති.

 

ඉන්දියාව ඉක්මන් වුණේ ඇයි?

ඉන්දියාව මීට පෙර පැවති අවස්ථාවන්ට වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැඩිපුර අවධානයක් යොමු කිරීමට හේතුව කුමක් විය හැකි ද? යන්න පිළිබදව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලායේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාරගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය.

ඇය ප්‍රකාශ කළේ, පසුගිය රජයයන් ඉන්දියාව වෙනුවට චීනය සමග වැඩි වශයෙන් සබඳතා පැවැත්වීම නිසා එම තත්ත්වය වෙනස් කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවය.

"පසුගිය රජයයන් වැඩිපුර ගනුදෙනු කළේ චීනයත් එක්ක. ඒ නිසා ඉන්දියාව යම් කණස්සල්ලකින් හිටියා වෙන්න පුළුවන්. ඒ වගේ ම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනික චරිතයක් නොවන නිසා ඔහු ජාත්‍යන්තර සබදතාවලදී යම් මධ්‍යස්ථ ස්වභාවයකින් කටයුතු කරයි කියලා ඉන්දීය අගමැතිවරයා හිතනවා ඇති. ඒ නිසයි නරේන්ද්‍ර මෝදි ඉක්මනින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනා කළේ."

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ෂැංග්‍රිලා හෝටලය, වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ ආදී මහා පරිමාණ ව්‍යාපෘති රැසක් චීනයට ලබා දී තිබිණි.

කෙසේ වෙතත්, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොට වරාය වැනි චීනය සමග පසුගිය රජය කළ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය දා කළ ප්‍රකාශය තුළින් ඔහු ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් යම් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඉගි පළ කළ බව ද ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.

 

"දැලි පිහියෙන් කිරි කන්න වෙලා තියෙන්නේ"

දකුණු ආසියාවේ කුඩා රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව කලාපයේ බලවතා මෙන් ම අසල්වැසියා වශයෙන් ඉන්දියාව සමග මිත්‍රත්වය වර්ධනය කර ගැනීම අතිශය වැදගත් වන බව ආචාර්ය විශාකා සූරියබණ්ඩාරගේ අදහසය.

modi trump

"දුර තියෙන චීනයට වඩා ළඟ තියෙන ඉන්දියාව වැදගත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඒ ගැන අවධානයක් යොමු කරල තියෙන බව පේනවා. මුහුදෙන් වටවුණ කුඩා රටක් විදිහට ශ්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමග මධ්‍යස්ථ ප්‍රතිපත්තියක ඉඳගෙන කටයුතු කළ යුතුයි."

ඇය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා රජය චීනය සහ ඉන්දියාව සමග ගනුදෙනු කරන ආකාරය මත ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය රඳා පවතින බවය.

"මේක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. චීනය සහ ඇමෙරිකාව විරසකයක පසුවෙද්දී ඇමෙරිකාව ඉන්දියාව සමග දැන් ඉතා සමීපව කටයුතු කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ඉන්දියාව පැත්තට වැඩිපුර යොමු වුණොත් ඇමෙරිකාව සමීප කර ගන්නත් ලේසියි. ඒක ශ්‍රී ලංකාවට දේශපාලනික වශයෙන් වාසිසහගත තත්ත්වයක්."

 

"නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්"

මේ අතර, ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේදී නව රජයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත බ්‍රහස්පතින්දා (නොවැ: 28) සිය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

ඔහු එහිදී පැවසුවේ, රජය කිසිදු බල කඳවුරකට එක් නොවී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිය පළමු නිල විදෙස් සංචාරය අරඹමින් ගෝඨාභය රාජපක්ෂ බ්‍රහස්පතින්දා (නොවැ: 28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වීමට නියමිතය.

ඔහු නොවැම්බර් 30 වන දා තෙක් ඉන්දියාවේ රැඳී සිටිමින් සාකච්ඡා පවත්වනු ඇත.

(කුමුදු ජයවර්ධන - නවදිල්ලි නුවර සිට... BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්