කැසිනෝ ක්‍රීඩාවේ නිරතවීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් මෙරටට නීත්‍යානුකූලව ලැබිය යුතු කෝටි ගණනක විදෙස් මුදල් අහිමි වන බවත්
ඒ ගැන සොයා බලා එම මුදල් මෙරට සමාජශාලාවලින් (කැසිනෝ) අයකර ගන්නා ලෙසත් ඉල්ලමින් 'සත්‍ය ගවේෂකයෝ' සංවිධානයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත ඊයේ (16 දා) පොලිස් මූලස්ථානයට පැමිණිලි කළේය.
විශේෂයෙන්ම කැසිනෝ ක්‍රීඩාවේ නිරත වීමට පැමිණෙන විදෙස් සංචාරකයන් ඉලක්ක කරගෙන මෙම සමාජශාලා සහ ඒවායෙහි දේශීය හා විදේශීය තැරැව්කරුවන් මෙම මූල්‍ය වංචාව සිදුකරන බව ද දොලවත්ත මන්ත්‍රීවරයා පැවසීය.
කැසිනෝ ක්‍රීඩාව සඳහා යොමුවන විදෙස් සංචාරකයන්ගේ මුදල් කැසිනෝ ශාලා හා ඒවායේ නියෝජිතයන් විසින් උණ්ඩියල් සහ හවාලා ක්‍රම හරහා මෙරටට අහිමි කරන බව සාක්ෂි සහිතව හෙළි වී ඇතැයි ද ඔහු කීය. රටේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවකදී රටට ලැබිය යුතු විදෙස් ප්‍රේෂණ බැංකු පද්ධතිය හරහා සංසරණය වීමට ඉඩ අහුරා ඒ වෙනුවට භාවිත කරන උණ්ඩියල් සහ හවාලා ක්‍රම නිසා මෙසේ අහිමි වී යෑම, රටේ ආර්ථිකයට බරපතළ හානියක් බව ද ඔහු පෙන්වා දෙයි.
මෙරට කැසිනෝ සමාජශාලා මෙසේ කටයුතු කිරීම මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන මූල්‍ය අපරාධයක් වන බැවින් මේ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර චූදිත කැසිනෝ සමාජශාලාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියෙන් ඉල්ලා සිටි බවද දොලවත්ත මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
(divaina.lk)