theleaderlk 01

මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට අමෙරිකානු තානාපතිනිය ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.



චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරන බවට ජනවාරි 17 දා නිකුත්කර ඇති එම නිවේදනයෙන් මෙරට චීන තානාපති කාර්යාලය චෝදනා කරයි.

අමෙරිකානු තානාපතිවරිය තමන්ට හුරුපුරුදු කුප්‍රකට මන්ත්‍රය නැවත ජපකරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර ඇමෙරිකාව පදනම් විරහිත ප්‍රකාශ නිකුත්කරන බව චීන තානාපති කාර්යාලය එමගින් චෝදනා එල්ල කර තිබේ.

චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට සහ දේශන පැවැත්වීමට පෙර මූල්‍ය අරමුදලේ තීරණ සම්බන්ධයෙන් විශාලතම නිෂේධ බලය පවතින්නේ අමෙරිකාවට බව තානාපතිනිය වටහාගත යුතු බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අතුරින් 40%ක් පමණ නියෝජනය කරන ඉහළ පොළී ලැබීමේ අපේක්ෂාවෙන් මෙරට ස්වෛරීත්ව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ කවුරුන්ද යන්න තානාපතිනිය තමාගෙන්ම විමසා ගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ වහාම අධිකරණයට ගියේ කවුරුන්ද යන්න විමසිය යුතු කරුණක් බවත් චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවත් කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.


(lankaleadnews.com)


 JW


නවතම පුවත්