ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් අද පෙරවරුවේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් විය.
තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
තමන් වෙත අසූ හාර දහසකට වැඩි මනාප ඡන්ද ප්‍රකාශ කරමින් තමන්ව දෙවන වරටත් පාර්ලිමේන්තුවට එවූ ජනතාවට සිය කෘතවේදීත්වය පළකරන බව පැවසූ මුජිබර් මන්ත්‍රීවරයා, මේ රටේ සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටින බවද පැවසිය.
සැලසුම් කොට ඇති පරිදි වහාම මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බලකරන බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන ලෙස ද ලෙසද ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඔහු ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මුජබර් රහුමාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදුන්නේය.
මුජුබර් රහුමාන් ගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් තමාගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන බව එහිදී විපක්ෂ නායකවරයා පැවසීය
මුජුබර් ගේ දේශපාලන පසුබිම ...
මුජිබර් රහුමාන් 1991 දී සිය දේශපාලන ආරම්භ කරන්නේ 'ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ' ගොඩනගමිනි. එහිදී ඔහු එජාපයේ ලලිත් - ගාමිණී පාර්ශවයේ අරගලයට සහය පළකරමින් ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකරනු ලැබිය. අනතුරුව 1994දී නව සම සමාජ පක්ෂයට එක්වූ මුජිබර් රහුමාන්, 1996 දී 'මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ' පිහිටුවනු ලැබිය. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් වූ එම පක්ෂය 1999 ජනාධිපතිවරනයේදී සහය පලකලේ ජවිපෙ අපේක්ෂකයා වූ නන්දන ගුනතිලකටයි. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගිය ඔහු යලි මෙරටට පැමිණීමෙන් පසු 2005 දී එජාපයට එක්විය. 2006 පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරඟ කිරීමට ඔහු නාමයෝජනා ලබාදී තිබුනද එජාප නාමයෝජනා පත්‍රය අවලංගුවිම නිසා ඔහුට නගර සභාවට තේරී පත්වීමට තිබු අවස්ථාව අහිමිවිය. කෙසේවුවද 2009 දී හා 2014 එජාපයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ මුජිබර් පළමුවරට එජාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ 2015 වසරේදී කොළඹ දිස්ත්‍රීක්කයෙනි. 2020 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට පත්වුයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙසයි.
මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති කොළඹ දිස්ත්‍රීක්කයේ එම පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය ඒ.එච්. එම්. ෆවුසි පත්වීමට නියමිතය.