රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා
යැයි හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවී කරුණානායක පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක එබව කියා සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි සිය නිවසේ දී ඊයේ (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.
මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේයැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කී රවී කරුණානායක, ඒ අය ආණ්ඩු කරන්න හදනවා යැයිද එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්දැයි ප්‍රශ්න කළේය.
එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.
''මහ බැංකු නිලධාරීන්ට ප්‍රායෝගික දැනුමක් නැහැ''
''රට කඩා ගෙන වැටිලා. ඒ වගේම ලෝකය කඩා ගෙන වැටිලා. විපක්ෂය දේශපාලන වේදිකාවේ සුරංගනා කතා කියමින් ජනතාව රවටනවා. විපක්ෂයට වැඩ පිළිවෙළක්-දර්ශනයක්-ඉලක්කයක් ඇත්තේ නැහැ. මේ විපක්ෂයෙන් රටට-ජනතාවට කිසිම සෙතක් ඇත්තේ නැහැ.''
''ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ සෑම ප්‍රශ්නයකටම අලවන්න පුළුවන් පැලැස්තරයක් නොවෙයි. මේ අයත් එක්ක රටක් ගොඩනැගීම ඉතාම අසීරුයි. මේ අයත් එක්ක ගිහින් සාර්ථක වුණේ කොරියාව විතරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කතාව හොඳයි. නමුත් අප ඒ කොන්දේසි අනුව ක්‍රියා කළ යුත්තේ දේශීය මට්ටමේ වටිනාකම් ආරක්ෂා කර ගනිමිනුයි. සුද්දෝ ඇවිත් කිව්වා කියලා ඒ සියල්ල ගෙඩිය පිටින්ම අප බදා ගත යුතු නැහැ.''
''අවුරුදු හැත්තෑ හතරකට පසු රට කඩා වැටී තිබෙන්නේ උපතේ සිට විපත දක්වා සියල්ල නොමිලයේම ලබා දීම සහ සියල්ල නොමිලයේ බලාපොරොත්තු වන නිසයි. රටේ ආදායම රුපියල් ට්‍රිලියන දෙකක් වන විට රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් සඳහා රුපියල් ට්‍රිලියන 1.8ක වැය වනවා. ඒ අනුව අතේ ඉතිරි වන්නේ රුපියල් බිලියන 250ත් 300ත් අතර ප්‍රමාණයක් විතරයි. එවැනි සුළු මුදලකින් රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද..?''
''රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ. අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. ''
''උද්ධමනය පාලනය කිරීම සඳහා යැයි කියමින් පොලී අනුපාත වැඩි නොකර අලුත් මාර්ග, උපාය සහ උපක්‍රම පවිච්ච් කළ හැකියි. මහා බැංකුව දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළොත් රටේ ව්‍යාපාර සියල්ල වසා දමීට සිදු වේවි.''
''අලුත් ගමනක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න බැරි නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ කරන්න උමනාවක් නොමැතිකමයි. රජයේ නිලධාරීන්ට නිර්මාණශීලීත්වයක් ඇත්තේ නැහැ. ඒ අය අලුතින් හිතන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ත් 18ත් අතර ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අදායමෙන් 84%ක් ඒ අයගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වය වනවා. ඒ ගෙවීම් කළාට පසුව අතේ ඉතිරි වන බිලියන 350ත් 400ත් අතර මුදලකින් රට ගෙන යන්නේ කෙසේද..? විදේශ ණය රුපියල් ට්‍රිලියන එකක් ගෙවීමට තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක විතර පොලියක් ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් රට ඉදිරියට ගෙන යන්න බැහැ.
ආර්ථිකය "Digital" කළ යුතුයි
රටේ වියදම ට්‍රිලියන 4.5 දක්වා වැඩි වී තිබෙනවා. එම මුදලින් 35%ක ම වැඩි වී තිබෙන්නේ පොලී අනුපාතය නිසයි. හැම රුපියලක්ම වැඩි වන විට රජයේ වියදම අයවැයෙන් අවුරුද්දට රුපියල් බිලියන 40ක් වැඩි වනවා. පොලී අනුපාතය සියයට එකකින් වැඩි වන විට අවුරුද්දකට රුපියල් බිලියන 70ක් 80ක් විතර වැඩි වනවා. මේ පොලිය සියයට එකක් අඩු වන විට රටේ වියදම රුපියල් බිලියන 70ක් අඩු වනවා. පොලිය 5% දක්වා අඩු වුණොත් රටේ වියදමෙන් රුපියල් බිලියන 350ක් විතර අඩු වනවා.
මේ වගේ අලුතින් හිතන කට්ටිය ඉන්නවා. ඒ අයව පාවිච්චි කළ යුතුයි. මේ රටේ එක එක්කෙනාගේ පෞද්ගලික බූදලයක් විදිහට ගෙන යන්න ඉඩ නොදිය යුතුයි. මම ඇත්තටම කතා කරන්නේ හිතේ අමාරුවෙන්. අප වැඩ කරන විට සමහරුන් අපේ චරිතය ඝාතනය කර විවිධ ප්‍රශ්න ඇති කළා. ඒ චෝදනා සියල්ල පුස්සක් බව රට හමුවේ මේ වන විට ඔප්පු වෙලා තියෙනවා.
මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ රුපියල බාල්දු කර ඊට සමගාමීව පොලී අනුපාතය ද විශාල වශයෙන් වැඩි කිරීමයි. ඒ නිසා අලුතින් හිතන්න අවශ්‍යයි. සාමාන්‍ය ව්‍යාපාරයක් සිය ආදායමෙන් 30%ක පොලිය වෙනුවෙන් ද, 40%ක් විතර වැටුප් වෙනුවෙන් ද, විදුලිය සහ ජලය ඇතුළු අනෙකුත් වියදම් වෙනුවෙන් ද වෙන් කළාම එම ව්‍යාපාර ගෙන යන්නේ කෙසේද..?
''උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළ යුතුයි''
උපයන විට ගෙවීමේ බද්ද මගින් 2023 දී රුපියල් බිලියන 100ක් විතර සොයා ගැනීමට ඉලක්ක කර තිබෙන. ඒ මුදල් ප්‍රමාණය උපයන්න බැරි බව දාන දැන ඒ බද්ද දැම්මේ ඇයි..? මිනිස්සුන්ට ගෙවන්න බැරි බද්දක් දැමීමේ ඇති වැඩේ මොකක්ද..? සුද්දෙක් ඇවිත් මේ බද්ද වැඩි කරන්න කියලා කිව්වා නම් ඒ ක්‍රියා මාර්ගය ගැනීමට නොහැකි බව කියා සිටීමට අපට ආත්ම ශක්තියක් තිබිය යුතුයි.
2023 රාජ්‍ය ආදායම ට්‍රිලියන 3.4ක් ඇස්තමේන්තු කර තිබෙනවා. උපයන විට ගෙවීමේ බද්දෙන් රුපියල් බිලියන 100ක් ඇස්තමේන්තු කර තිබුණාට එමගින් උපයා ගත හැක්කේ රුපියල් බිලියන 50ක් පමණ විතරයි. වැඩ කරන සාමාන්‍ය පුද්ගලයෙක් මේ බද්දෙන් කෙතරම් පීඩනයකට ලක් වෙනවා..? වැඩ කරන මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා නැති වුණාට වියදම සිග්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒ අනුව මෙම උපයන විට බද්ද ගැන යළි සලකා බලන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ බද්ද ප්‍රායෝගික නැහැ.
උපයන විට ගෙවීමේ බද්ද හේතුවෙන් සාමාන්‍ය මනුස්සයෙකුගේ ආදායමෙන් මසකට 20%ක් අඩු වුණොත් ඔහුගේ ගෙවීමට තිබෙන හැකිය වගේම ඔහුගේ ජීවන රටාව ද වෙනස් වනවා. මේ දේවල් දෙස නිර්මාණශීලීව බලා අලුතින් හිතා වැඩ කිරීමට මහා බැංකුව ක්‍රියා කළ යුතුයි.
ආදායම් වැඩි කරන මාර්ග අවශ්‍යයි. වියදම් අඩු කරන මාර්ග අත්‍යවශ්‍යයි. රජයේ සේවකයින් ලක්ෂ 17ක් අපේ රටට අවශ්‍යද..? රටේ ලක්ෂ 230ක් ජීවත් වෙන්නේ මෙම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 17න් නම්, රාජ්‍ය ආදායමෙන් 84%ක් ම වැය වන්නේ රාජ්‍ය සේවයට නම් ප්‍රශ්නයක් තිබෙනවා නොවේද..? පුද්ගලික අංශයේ ලක්ෂ 80ක් සිටිනවා. ඒ අයට සත පහක වාසියක් නැහැ. රටේ සංවර්ධනයට රජයේ සේවයෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා ..?
විදේශ රටවල අපේ වැඩ කරන ජනතාව එදා ලක්ෂ 15ක් සිටියා. ඒ අයගෙන් බිලියන 700ක් ලැබුණා.මේ වන විට ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. නමුත් ගිය මාසයේ ඒ අයගෙන් ලැබුණේ ඩොලර් මිලියන 470යි. මම හිතන ආකාරයට ඊට විශාල ප්‍රමාණයක් වැඩි විය යුතුයි. තමා උපයන ඩොලර් තමාගේ බැංකුවට ඩොලර්වලින්ම එවන්න හැකි ක්‍රමයක් විදේශ ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ යුතුයි.
මේ රටේ ව්‍යාපාරයක් කරන්න අද කෙතරම් අමාරුද..? රජයෙන් අනුමැතියක් ලබා ගන්න මාස තුන හතරකට වැඩ යනවා. නමුත් ඒ සියලු අනුමතීන් දවසින් ලබා ගත හැකියි. කෙතරම් නාස්තියක් සිදු වෙනවා ද..? අවුරුද්දකට මිලියන 2.1 ක නීතිමය ප්‍රශ්න තිබෙනවා.
බැංකු පද්ධතිය නවීකරණය කිරීම, සංචාරක කර්මාන්තය අලුත් විදිහට ගොඩනැගීම, ධීවර කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය නවීකරණය කර කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම ආදිය අපට කළ හැකියි. ලෝකයේ වැඩිම නිවාඩු ප්‍රමාණයක් තිබෙන රටක් අපේ රට හැඳින්වීමට පුළුවන්.
''සිය රාජකාරිය පසෙක තබා මහා බැංකුව ආණ්ඩු කරන්න හදනවා''
රට බංකොලොත් වුණේ ආණ්ඩුව නිසා නොවෙයි. මුල්‍ය පාලනය තිබෙන මහා බැංකුව නිසයි. මම ආණ්ඩුවේ වගේම මහා බැංකුවේ වැරදිත් පෙන්වා දෙනවා. එසේ නැතිව රට අලුතින් හදන්න බැහැ. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේ. මහා බැංකුව අද කරන්නේ ඒ ඇයගේ රාජකාරිය නොවේ. ඒ අය ආණ්ඩු කරන්න හදනවා. එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්ද..? ප්‍රශ්නය රාජ්‍ය අංශයේ නිලධාරී වාදයයි.