බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස

මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාන ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 35 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ 2023 වසර සඳහා මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනය හරහා රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසම වෙත වෙන්කර දී ඇති බවය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරයට තරග වැදීම සඳහා මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.

 

''මැතිවරණය කල් තබන්න ඉඩ දෙන්න නැහැ'' - විපක්ෂ නායක

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, මැතිවරණය කල් දැමීමට හෝ මැතිවරණ කොමිසම වෙනස් කිරීමට අදාළ යෝජනා හෙට පැවැත්වීමට නියමිත ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ හොත් ඊට ඉඩ නොදෙන බවයි.  

එවැනි උත්සහයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ යුතු බව අද විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

මාස ගණනාවක් පුරා මේ රටේ ජනාධිපති, අගමැති, කැබිනට් එක සහ ආණ්ඩුවට සම්බන්ධිත පාර්ශ්වයන් විසින් පළාත් පාලන ඡන්දය වැළැක්වීමේ සහ කඩාකප්පල් කිරීමේ මහා කුමන්ත්‍රණයක නියැලුණු බවත් එක් අවස්ථාවක හපුහින්න මගඬිය හරහා හොර තීන්දු, බොරු තීන්දු, වංචාකාර තීන්දු කැබිනට් එකෙන් ගත්තා යැයි පවසා අපේක්ෂකයන්ට ඇප මුදල් තැන්පත් කිරීම වැළැක්වීමේ ජාති ද්‍රෝහී ක්‍රියාවලියක නියැලුණු බවත් තවත් අවස්ථාවක භාණ්ඩාගාර ලේකම් හරහා මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බවත් රජයට මුදල් නොමැති බවත්, සමාජ සුබසාධන ක්‍රියා ඇතුළු වැටුප් ගෙවා දැමිය නොහැකි බවත් පවසා සිටි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


ආණ්ඩුව අලුත් මගඩියකට සැරසෙනවා!

මේ මැතිවරණ කඩාකප්පල් කිරීමේ මගඬියේ අලුත් පියවරක් ලෙස හෙට දින ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කර මැතිවරණ කොමිසම අඩපණ කිරීමට උත්සාහ ගන්නා බවත් ජනතා පරමාධිපත්‍යයට අත තිබ්බොත් එයට දෙන දඬුවම් රටේ නීති පොත්වල සඳහන්ව ඇති බැවින් හපුහින්න මගඬිය හා භාණ්ඩාගාර ලේකම් හරහා ජනතා පරමාධිපත්‍ය කෙලසීමට ගත් උත්සාහයට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එසේ ම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම, මාර්තු 9 වැනි දා පැවැත්වෙන මැතිවරණය කඩාකප්පල් කිරීමට භාවිත කළොත් ඊට එරෙහිව  රටේ ජනතාවගේ ඡන්ද අයිතීන් සුරකිමින් එම ක්‍රියාව නියත වශයෙන්ම පරාජය කරන බවත් ඒ සඳහා ඕනෑම පියවරක් ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.



මැතිවරණ කල් දමන කුමන්ත්‍රණ එපා!

එසේ ම ව්‍යවස්ථාදායක සභාවේ වගකිවයුතු පාර්ශ්වයන්ට කියා සිටින්නේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණ හෙට පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමේ න්‍යයපත්‍රයට ඇතුළත් නොකරන ලෙසත් ස්වාධින මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට හානියක් වන කිසිවක් නොකරන ලෙසත් අනතුරු අගවන බවත් ය.

එමෙන් ම මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සුරැකීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා ලෙස මේ රටේ ජනතා පරාමාධිපත්‍ය කෙලසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට ඕනෑම අවස්ථාවක පෙරට එන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තමා මැතිවරණය අවැසි බවට ප්‍රකාශ කළ විට අවලාද නැගු පිරිස් මේ අවස්ථාවේ මැතිවරණය ඉල්ලා සිටින බවත් එම නිසා මැතිවරණ කල් දැමීමට හෝ කඩාකප්පල් කිරීමට රජය ගන්නා ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී වැඩිදුරටත් පැවසීය.

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්