මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය අවසන් කිරීම සඳහා සියලුම පොලිස් නිලධාරීන් කැපවීමෙන් යුතුව වැඩකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යවරයා, එවැනි අපරාධකරයින්ගේ මිල මුදලට යටවුවහොත් එහි සාපය සිය දරුවන් පිටින් වුව යාහැකි බව කියා සිටියි.
'' මම දන්නවා ඔය කුඩු මුදලාලිලා සමහර ඕඅයිසී ලට, සමහර පොලිස් නිලධාරීන්ට ගෙදෙට්ට මස් මාළු ටික එවනවා, එළවළු ටික එවනවා. ඉතිං ඒවා ගන්න එක වහාම නවත්වන්න. ඒ මොකෝ මං එකක් කියන්නං ඒ වගේ අයගෙන් එවැනි දේවල් තමන්ගේ ළමයින්ට කන්න දුන්නොත් එය ළමයින්ට හරියන්නෙත් නෑ. ඉතිං ඒක හොඳට ඔලුවට ගන්න. ඒ මිනිසුන්ගේ විදිහ තමයි මොනවා හරි එවලා යාළුවෙලා ඒ මිනිස්සුන්ගෙ වැඩපිළිවෙළ කරගෙන යන එක. ඉතින් මම අලුතින් පත් වෙච්ච ඕඅයිසී ලටයි, අනිත් හිටපු අයටයි, සියලු දෙනාට ජේෂ්ඨ නිලධාරින් සියලු දෙනාටම කියන්නේ කවුරු හරි හැම්පර් එකක් එව්වොත් මේක ඉස්සෙල්ලම එන්නේ කාගෙන්ද කියල බලන්න. ගන්න එපා. ඕවා අරගෙන ඕවා කාල බීල හරියන්නේ නෑ.''
අමාත්‍යවරයා එබව කියා සිටියේ, දීපව්‍යාප්ත පොලිස් ස්තානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිළධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතමිනි.
එම සම්මන්ත්‍රණය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා දින (23) සුහුරු පාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි.
මෙම සම්මන්ත්‍රණය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේශ් සලේ සහ පොලිස් ස්තානාධිපතිවරුන් සහ රාජ්‍ය නිවේදිත නිළධාරීන් 509 දෙනෙක් සහාභාගී වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ථාන 250 කදී පොලිස් ස්ථානාධිපතිවරුන් හා රාජ්‍ය නිවේදිත නිළධාරීන් සම්බන්ධ විය.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේශ් සලේ ජාතික ආරක්ෂාව පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් අදහස් දැක්වුයේය.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සම්මන්ත්‍රණය අමතමින් ගෙවුණු මාස 8 ක කාලයේදී සියලු පොලිස් නිළධාරීන් වෙනුවෙන් විසඳුම් රාශියක් ඉදිරිපත් කිරීමට ලැබුනු බවත්, මත්ද්‍රව්‍ය පාලනය, පාතාල මර්දනය සඳහා සියලුම පොලිස් නිළධාරීන් උපරිම කැපවීමෙන් හා අවංකව වැඩ කිරීම බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
'' නිදාගෙන ගත්තේ කව්ද කියල මං හොඳටම බලාගෙන හිටියේ ''
'' අපි මේ වගේ හමු වීමක් පවත්වන්න ඕනෙ කියලා තීරණය කළේ සියලු දෙනා ළඟ තියෙන දත්ත හුවමාරු කරගෙන ඒ මගින් අලුත් ස්ථානාධිපතිවරු, ජේෂ්ඨ පොලිස් නිලධාරීන් යම් කිසි දෙයක් ලබාගෙන ඒවා තම තමන්ගේ පළාත්වල ඒ ලබාගත්තු දැනුම ප්‍රයෝජනයට ගනී කියලා. ඉතිං මං කියන්නේ මේ වගේ දේකට ආවම කරුණාකරලා හොඳට අහගෙන ඉඳලා තේරුම් අරගෙන ඒවාගෙන් ප්‍රයෝජනයක් ගන්න.
ඒ මොකෝ මං දැක්කා සමහර නිලධාරීන් නිදාගෙන ඉන්නවා. මං හොඳටම බලාගත්තා කවුද කියලත්, ඉතින් මේ වගේ දෙයක් අපි සල්ලි වියදම් කරලා සියලු දෙනාම මෙතැනට ගෙන්නලා, මේ ඔක්කොම කරන්නේ තමුන්ට හොඳක් වෙයි කියලා අපිට වඩා, ඒ අදහසින් තමයි කරන්නේ. දැන් පොලිස්පතිතුමාත් පොලිසියේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය මං හිතන්නේ ඉතා පැහැදිලිව කියලා දුන්නා.
''පොලිසියට හිමි ආත්ම ගෞරවය යළි ලබාදුන්නා ''
ඔබ සියලු දෙනා දන්නවා මං මෙම අමාත්‍යාංශය භාරගත්තේ මොන වගේ වාතාවරණයක් තියෙන වෙලාවකද කියලා. මැයි 9 වෙනිදා වෙන්න තිබුණු සියලු ප්‍රශ්න ඇතිවෙලා ඊට පස්සෙ මම බාර අරගෙන මං ඇවිල්ලා මාස 8 යි. මේ මාස 8 තුළ අපි ඉස්සෙල්ලම තීරණය කෙරුවේ, එකක් තමයි අපි පොලිසිය වැටිලා තිබුණ තත්ත්වයෙන් ගොඩ ගන්න. ඒක තමයි මගේ පළවෙනිම අරමුණ වුණේ. ඒ මොකද මං මේ අමාත්‍යාංශය භාර ගන්න ඉස්සෙල්ලා මම ටීවී එකේ දැක්කේ, පොලිසියේ අයට ගහන ඒවා බනින ඒවා යුනිෆෝම් එකෙන් ඇදගෙන යන ඒවා,ඊළඟට නිකං හරක් බල්ලො එලවනව වගේ එලවන ඒවා, ඒව තමයි මම දැක්කේ.ඉතින් පොලිසියේ ආත්ම ගෞරවය එහෙම්මම නැති වෙලා තිබුනේ. නමුත් මම සන්තෝසයි ජනාධිපතිතුමයි මමයි ගත්ත තීරණ නිසා අපිට පුළුවන් වුණා නැවත ඒ ආත්ම ගෞරවය පොලිසියට ලබා දෙන්න.
''බටා එක දින 14 ඉඳන් 21 දක්වා වැඩි කෙරුවා''
ඒක තමයි අපි ඉස්සෙල්ලාම කරපු දේ මේ මාස අටේ. නමුත් ඊට පස්සෙ මම කල්පනා කෙරුවා අපි පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් කරගන්න නම් ඉස්සෙල්ලා අපි ඔවුන්ට තියෙන ප්‍රශ්නත් බලලා විසඳන්න ඕනි කියලා.
ඉතින් පොලිස්පතිතුමත් මා එක්ක කතා කෙරුවා, ගොඩක් දැවෙන ප්‍රශ්ණයක් තමයි 2019 ඉඳන් බලාපොරොත්තුව හිටිය ආහාර දීමනාව එක. නමුත් ඒක කරගන්න බැරි වෙලා තිබුණා. හැබැයි අපිට ඒ වෙනුවට බටා එක දින 14 ඉඳන් 21 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණා මේ කාලේ.
''නීති සහන අරමුදලක් පටන් ගත්තා''
එතකොට තව ප්‍රශ්නයක් තිබුණා නඩු වලට රාජකාරි කරන්න ගිහිල්ලා නඩු වලට පැටලෙන එක. ඊට පස්සෙ නඩු වැටුනහම තමන්ගෙ සල්ලි වියදම් කරගෙන නඩු කියන්න ඕනේ. මට මතකයි කවුද මට ඇවිල්ල කිව්වා ගෙදර තියෙන බඩුත් සමහර වෙලාවට විකුණන්න වුණා කියලා නඩු කියන්න. ඉතින් ඒක නිසා අපි කතා කරලා නීති සහන අරමුදලක් පටන් ගත්තා. රජයෙන් මිලියන සීයක් දීල ඒකෙන් අපි පටන් ගත්තෙ මට මතක විදිහට, පොලිසියේ අරමුදලකින් පොලිස්පතිතුමා මිලියන සීයක් දීලා පටන් ගත්තේ ඒක රජයෙන් අපිට නැවත ලැබෙන විදිහට. ඊට පස්සේ අපි ඒ දේ කර ගත්තා.
මේ මං මේ මාස 8 ඇතුළත දී කරගත්තු දේවල්.
පොලිස් නිලධාරීන්ට උපාධියක්
පොලිසියට අලුතින් ජීප් රථ 500ක්
ඊට පස්සෙ තිබුණා වාහන ප්‍රශ්නයක් පොලිසියට. ඒකත් අවුරුදු 5ක් තිස්සේ ගන්න හදලා බැරුව තිබුන. අපි කොහොම හරි දැන් ජීප් පන්සීයක් ගත්තා. ඒකේ පළවෙනි එකසිය ගාන ආවා.
ඊට පස්සේ තිබුණු ප්‍රශ්නෙ තමයි bulk ප්‍රමෝෂන් එක 9400 ගානකට.ඒකත් ඇදි ඇදී තිබිලා පොලිස්පතිතුමාටත් හරි ඕන කමක් තිබුණා අපේ කණිෂ්ඨ නිලධාරීන් ල, මේ පොඩි මිනිස්සු ඇත්තටම ඒගොල්ලන්ගෙ උසස්වීම බලන් හිටියා. මං කොහොමහරි ඒකත් කැබිනට් අනුමැතිය ගත්තහම මට මතකයි පොලිස්පතිතුමාට කෝල් කරල කිව්වා මේ අනුමත වුණා කියලා. පොලිස්පතිතුමා එකපාරටම කිව්වේ “අනේ සර් thank you. සර්ට ලොකු පිනක්, සර් නැත්නම් මේක කරගන්න බැරිවෙනවා” කිව්වා. ඉතිං ඒ වචන ටිකෙන් මම දැනගත්තා එතුමාටත් කොච්චර උවමනාවක් තිබුනද මේක කරගන්න කියලා.
''ඉතිහාසයේ පළමු වරට කිසිම බලපෑමකින් තොරව OIC ල පත්කලා ''
ඊට පස්සේ අපිට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි පොලිස් ස්ථානාධිපතිවරු පත් කරන එක. මම වැඩිය ඕක ගැන කියන්න ඕනේ නෑ. ඔබතුමන්ලා දන්නවා මෙතෙක් කල් ඕ.අයි.සී ලා පත්වුණේ කොහොමද, ඕ.අයි.සී ලගෙ (ට්‍රාන්සර්) උනේ කොහොමද හොඳටම දන්නවා පහුගිය වසර වල. නමුත් මේ පාර අපි කාගෙවත් බලපෑමක් නැතිව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් තියලා සම්මුඛ පරීක්ෂණ තියලා ඊළඟට අපි අභියාචනා කරන්නත් කාලයක් දීලා දින 14ක් අපි අභියාචනා මණ්ඩලයක් තියලා ඒකෙනුත් තව 64 ක් අරගෙන තමයි ලිස්ට් එක හදලා එතනින් පස්සේ ඕඅයිසී පත්වීම් කෙරුවෙ.
ඉතින් මේ වෙලාවේ සමහරවිට මා එක්කම ඉන්න කට්ටිය මා එක්ක හිත් අමනාප වුණා.ඒ ගොල්ලන්ට ඕනෑ අයව දාගන්න බැරි වුණා, ඒගොල්ලන්ට ඕන විදියට කරගන්න බැරි වුණා කියලා නමුත් මම ඒ සියලු දේ ඒ විදිහට විය යුතුයි කියන මතයේ හිටියා. ඉතින් ඒක හින්දා සියලු දෙනාම දන්නවා, විශේෂයෙන් පත්වෙච්ච ඕඅයිසී ලා දන්නවා ඔබතුමන්ලා කොහොමද පත්වුණේ කියලා. කාගෙවත් ලියුම් අරගෙන ඇවිල්ලද, නැත්තං හරි විදියට ඉන්ටවිව් එක face කරලා ඒකෙන් ලකුණු අරගෙන ජ්‍යේශ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙ වාර්ථාත් අරන් කාර්‍ය සාධනයත් බලලා, අන්න එහෙම තමයි පත්වුණේ.
ඉතිං මේ දේවල් ටික අපි කොහොමහරි කෙරුවා. දැන් ඔය ඕඅයිසී ලා කතාව මං දන්නවා මේ පොලිසිය ඇතුළෙම සමහර අය අන්තිමේට කතාවක් අරින්න ගියා සමහර ඕඅයිසී ලා පත් කෙරුවේ එක එක්කෙනා සල්ලි අරන්. මට නම් චෝදනා කෙරුවෙ නැහැ. එහෙම කතාවක් ඇරියා. ඉතින් මම අද මෙතන කියන්න කැමතියි කවුරුහරි තමන්ගේ ඕඅයිසී කම ගන්න බිස්කට් පැකට් එක් හරි කාටහරි දීලා තියෙනවා නම්, මට දන්වන්න ඕනේ.මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. මට දන්වන්න ඕනේ.එ හෙම දැන්වූවේ නැත්තං මං එකක් කියන්නං ඕගොල්ලන්ගෙ ඕඅයිසී කමේ වැඩ වත් හරියන්නේ නෑ එහෙම කරලා මට කියන්නේ නැත්තං ඔය ඕඅයිසී කමේ කරන වැඩ හරියන්නේ නෑ. ඉතිං ඒක හින්දා අද මං කියන්නේ කරුණාකරලා මට ඒ ටික කියන්න. එහෙම දෙයක් වෙලා තියනවනම්.
ඉතින් දැන් මේ ටික ඔක්කොම කරලා දීලා, මං හිතන්නෙ මේ කෙටි කාලයේ පොලිස් නිලධාරීන්ට කරන්න තියෙන දේ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලගෙන් වැඩ කොටසක්. ඒක තමයි දැන් ඔබතුමාලගේ පළාත්වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මත්ද්‍රව්‍ය උවදුර. ඒක කොහොම හරි අපි නවත්තගන්න ඕනේ. තමන්ගෙ නිලධාරීන් සියලු දෙනාම දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කරලා අපි පැය 24 ම ගත කරන්න ඕනි මේක නවත්තන්න.
ඒ මොකෝ මේ රටේ අපේ දූ දරුවන්ගේ සියලු දෙනාම නැති කරන ප්‍රශ්නයක් තමයි මේක. එතකොට දැන් මේකෙදි, මම සලකන්නේ මේ ඔක්කොම අපේම අය අපේම පවුල වගේ ඒක හින්ද මම කියන්න තියෙන ටික කියනවා. මම දන්නවා මේ සමහර පොලිස් නිලධාරිනුත් මේවට සම්බන්ධයි. අපි දන්නවා මේ මෑත කාලෙක වෙච්ච සිද්ධියි, පොලිස් නිලධාරීන්ට විරුද්ධව අපිට ගන්න වුන ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම දන්නවා.
එතකොට අන්ඩවර්ල්ඩ් එක, දැන් පාතාලයත් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයි. දැන් හරියට මේ දවස්වල පාතාලය, විශේෂයෙන් බස්නාහිර පළාත, දකුණු පළාත මේ සියලු දෙනාම දන්නවා. අපි මේවා හැමතිස්සේම සාකච්ඡා කරනවා. අපි මොන ක්‍රමයකින් හරි මේක නවත්වන්න ඕනේ.
ජනාධිපතිතුමා කියලා තියෙන්නේ ගන්න තියෙන ඕනම පියවරක් ගන්න, අරගෙන මේක නවත්තන්න කියලා. ඉතින් අපිට ඔය සියලු දෙනාගේම සහයෝගය ඕනේ මේ වැඩේට.
ලංකාවේ ඉන්නවා ඕඅයිසී ලා හයසිය ගානක් විතර. ඩිවිශන් ලා ඩී.අයි.ජී ලා. සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනේ අද ඉඳලා මේක තමයි අපේ ටාර්ගට් එක මත්ද්‍රව්‍ය සහ පාතාලය, ඒක ඇතුළෙ ම තමයි අපරාධත් එන්නේ. අනිත් අපරාධත් ඔව්වට ඔක්කොටම සම්බන්ධයි. ඉතින් ඒක හින්දා කරුණාකරලා මම කියන්නේ ඒ කුඩු විකුණන මිනිස්සු එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා. එහෙම තියා ගත්තොත් මට දැනගන්න ලැබෙනවා. මම මේ සියලු දේට බුද්ධි අංශ වල සහාය ලබා ගන්නවා ලබාගෙන හැම එකම හොයනවා. ඒක හින්දා කරුණාකරලා අද ඉඳන් අපි හරි වැඩේට එකතු වෙමු.
එතකොට මං ජ්‍යේශ්ඨ නිලධාරීන්ටත් කියන්නේ ඔය පරීක්ෂා කිරීම් වලට (inspection) ගියාම පාටි දාන්න වැඩක් නෑ. ඕඅයිසී ලාගෙන් වටේ ඉන්න අය සල්ලි එකතු කරගෙන පාටි එකක් කරලා වැඩක් නෑ. එතකොට පරීක්ෂාකිරීම් ( inspection ) වෙන්නෙත් නෑ පාටි එක වෙන්නෙත් නෑ. ඉතින් ඒ වගේ දේවල් නවත්තන්න. දැන් මට තියෙන පැමිණිලි තමයි, මෙස් බිලට දානවා,ඒ කෙන් කපනවා, ඒකෙන් ගන්නවා. ඒකයි මම හිතුවේ මේ ටික ඔක්කොම අද කතා කරනවා කියලා.
අදින් පස්සේ මට මොන හරි ආවොත් එහෙම ඊට පස්සේ අඬාගෙන එන්න එපා. ඒ මොකෝ මම හැම එකම චෙක් කරනවා. කොයි පොලිසියද, කොයි ඒරියා එකේද, හැම එකම චෙක් කරනවා මං. ඉතිං එහෙම කරලා අපි ඔක්කොම එකතු වුණොත් අපිට මීට වඩා හොඳ පොලීසියක් රටට පෙන්නන්න පුළුවන්. දැන් සමහරවිට මෙහෙම කරන්නෙ නැති අයට ලැජ්ජත් ඇති. ඕගොල්ලන්ටම ඇහෙනවා ඇතිනේ සමහර මිනිස්සු කියනවා "වැඩිම හොරු ඉන්න පොලිසියේ පගා ගහන්නේ පොලිසිය " එහෙමනේ කියන්නේ මිනිස්සු.
ඉතිං අපි ඒක නැති කරගන්න ඕනෙ. ඔය අනිත් එක තමයි අපි ඔය ඉස්සෙල්ලා මං කිව්වා වගේ අපි එකා වගේ ඉන්න ඕනේ. එක්කෙනාට එක්කෙනා කප කප ගොඩක් පොලිසියේ මං දකින ඒවා මම මේ කියන්නේ. එක්කෙනාට එක්කෙනෙක් නෑ. අරයව කපලා මම උඩට එන්න කොහොමද. අන්න ඕවා තමයි වැඩ කරන්නෙ ඔළුවේ.
ඉතිං ඒවා නවත්තන්න. ඔක්කොම එකට වැඩ කරන්න. ඔය අනිත් එක පොලිසියේ අය හැසිරෙන විදිහෙන්ම තමයි මහජනයාගේ ගෞරවය ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට හැසිරෙන්න. අපි දැන් මේ කියපු ටික හොඳට හිතට අරගෙන අපි අද ඉඳන් සියලු දෙනාම එකතුවෙලා, මම ඕනේ වෙලාවක ඉන්නවා ඕනම නිලධාරියෙකුට කතා කරන්න පුළුවන් මගේ ටෙලිෆෝන් එකට හැම එක්කෙනාම කතා කරනවා.
මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට වුණත් කෙළින්ම කතා කරන්න. පොලිස්පති තුමා ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නවා. අපි එක ප්ලෑන් එකකට අද ඉඳලා යන්. මම ජූලි තිස් වෙනිදා වෙනකොට මම ඔක්කොම ඕඅයිසී ලගේ අලුතින් ඇගයීමක් කරනවා මාස හයක් තියෙනවා. මම මේ මාස 6 හැම පොලිසියේම වෙන ඒවා බලලා ඇගයීමක් කරනවා. ඒ ඇගයීම වෙද්දි මට හොඳ රිපෝට් එකක් ආවෙ නැත්නම් මම ඒ ඕඅයිසී ව තියන්නෑ එතන .මං එතකොට හිතා ගන්නේ මෙතුමාට ඕඅයිසී කමක් කරන්න බෑ. ඉතිං ඒ තීරණය ගන්නවා.
ඉතිං මං අද කියන්නේ ඒකයි. ජූලි 30 වෙනකොට ඇගයීමක් කරනවා සියලුම ඕඅයිසී ලා. එහෙම කරලා තීරණයක් ගන්න වෙනවා තමන්ගේ වැඩ ගැන. ඉතින් මං අවසාන වශයෙන් වැඩිය කතා කරන්නේ නෑ. මං හිතන්නේ මං ඔක්කොම කියන්න තියෙන ටිකයි, අපි පොලිස් නිලධාරීන්ට කරපු ටික මේ මාස අටේ. දැන් අපි පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මං හිතන්නේ මං තේරුම් කරලා දුන්නා.
''අන්තවාදී ක්‍රියාකාරකම් ගැන අවදියෙන් ඉන්න''
ඒක හින්දා අපි සියලු දෙනාම එක පවුලක් වගේ ඉඳගෙන වැඩකරලා මේ රටේ තියෙන මත්ද්‍රව්‍ය, පාතාලය ඒ වගේම අනිත් අපරාධ, මට අමතක උන විශේශ දෙයක් තමයි අන්තවාදී ක්‍රියාකාරකම්, මම හිතන්නේ සුරේශ් සලේ මැතිතුමා ඒක හොඳට කරුණු පැහැදිලි කෙරුවා. මේ සියලු දේම මතක තියාගන්න ඒ මොකෝ එක ඕඅයිසී කෙනෙක්ටවත් බැහැ කියන්න මොනව හරි සිද්ධියක් උනොත් අපිට දැන්වූවෙ නැහැ කියල, ඩිවිශන් කිව්වෙ නෑ , ඩී.අයි.ජී කිව්වෙ නැහැ කියල කියන්න එපා.