ජවිපෙ මීට පෙර ජනාධිපතිවරණ කිහිපයකට ම තරග කර තිබේ. එක් ජනාධිපතිවරණයක් (1988) වර්ජනය කළේය. විටෙක තනිව තරග කළේය. වරෙක සන්ධානගත විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකා අගමැතිනිය ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජවිපෙ තම අපේක්‍ෂකත්වය ඉල්ලා අස්කර ගත්තේය. ඒ 1994දීය.

නමුත් ඇය විධායක ජනාධිපති ධුරය අහෝසි කළේ නැත. අනතුරුව 2005දී මහින්ද රාජපක්ෂ දිනවීමට ජවිපෙ වැඩ කළේය.

2010දී ජවිපෙ කටයුතු කළේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහාය. ඒ වෙනුවෙන් ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධ වේදිකාව මත පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා වැළඳ ගත්තේය.

2015දී තවත් පොදු අපේක්ෂකයෙකුගේ ආගමනය සිදු විය. ඔහු මෛත්‍රීපාල සිරිසේනය. ඔහු දිනවීමට ද ජවිපෙ සිය 'වක්‍ර සහයෝගය' දියත් කළේය.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමි වුයේ ද ජවිපෙ නායක අනුර කුමාර දිසානායකටය.

image 07ad2aac562019 දී ජනාධිපතිවරණයට ජවිපෙ නායකයා ඉදිරිපත් වූයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙසිනි.

මෙය සමාජගත වූයේ විකල්ප බලවේගය යන ලේබලය යටතේය.

සහරාන්ගේ ප්‍රහාරයෙන් පසුව ජන මතය ජාතික ආරක්ෂාව කෙරෙහි යොමු වූ බව සැබවි.

නමුත් මෙවර ජනාධිපතිවරණය නිවේදනය වීමට පෙර "උනුත් එකයි, මුනුත් එකයි" යන මතය සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත වී තිබිණ.

ජවිපෙ නායක අනුර කුමාර වේදිකාව මත කළ දේශන ජන ආකර්ශණයට ලක් විය. වෙනදාට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා අගය කිරීමට ලක් වෙමින් තිබුණේ ඒ නිසා විය හැකිය.

ජනතාව ඡන්දපොළට ගියේ වෙන කවරදාකටවත් වඩා විකල්පයක අවශ්‍යතාව ජනතාවට දැනෙමින් තිබුණු බවට පෙනෙන්නට තිබියදී ය.

එවැනි වාතාවරණයක් තිබියදී ලැබූ ජන ආකර්ෂණය කතිරය බවට පරිවර්තනය කර ගැනීමට ජවිපෙ නායකයා අසමත් වුණේ ද? නැතහොත් ජනතාවගෙන් ඔහු ප්‍රතික්ෂේප වුණේ ද?

බලාපොරොත්තු වූ මට්ටමින් 'ගොඩ වැඩිකර ගැනීමට' නොහැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ ම පිළිගනී.

ඇත්තට ම ජවිපෙට සිදු වූයේ කුමක් ද? ඔවුහු නිවැරදි තැන ආමන්ත්‍රණය කළාහු ද?

මේ ගැන සොයා බැලීමට පෙර අනුර කුමාර දිසානායක නමැති දේශපාලනඥයාගේ ප්‍රගති වාර්තාව දෙස විමසිල්ලෙන් බැලීම වටී. 

Manthri.lk මූලාශ්‍රවලට අනුව එය මෙසේය.

 109945803 a1d04001 fa54 42e2 a578 8501e57cbe24                                                                                                     ඉහළම ඇගැයීම් ලද මන්ත්‍රීවරුන්

2015 සැප්තැම්බර් සිට 2019 ජූලි දක්වා පාර්ලිමේන්තු දායකත්වය සැලකිල්ලට ගනිමින් මැති ඇමතිවරුන් 225ම ශ්‍රේණිගත කර තිබේ.

එම ලැයිස්තුවේ වැඩි ම අගැයීමකට ලක් ව ඉහළින් ම සිටින්නේ අනුර කුමාර දිසානායකය.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් 15 දෙනා අතරින් ද ඔහුට හිමි වී ඇත්තේ පළමු ස්ථානයය.

විෂයයන් 63න් විෂයයන් 53ක් සඳහා දායකත්වය ලබා දී ඇති අතර ඉන් ආර්ථික ප්‍රතිපත්ති සහ සංවර්ධනය යටතේ වැඩි දායකත්වයක් ලබා දී ඇත.

පැවති මුළු සභා වාර ගණන 378කි. ඉන් 297කට සහභාගී වී ඇත. ප්‍රතිශතය සියයට 78.5 කි.

අසා ඇති ලිඛිත ප්‍රශ්න ගණන 10 කි. පෞද්ගලික දැනුම් දීමෙන් ඇසු ප්‍රශ්න ගණන 101 කි. ඉදිරිපත් කර ඇති පෙත්සම් ගණන 21 කි.

පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිසිවක් ඉදිරිපත් කර නැත.

මීට අමතරව පාර්ලිමේන්තුව තුළ කාරක සභා සහ කමිටු පවත්වාගෙන යාමේදී ජවිපෙ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ බව ජන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණ.

එය එසේ වී නමුදු, ඔහු වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කර ඇත්තේ සමස්ත ප්‍රමාණයෙන් 3% ක් පමණි.                         Screen Shot 2019 12 02 at 6.57.16 PM

"මේ ඡන්දෙදී මිනිස්සු තීරණය කළේ ගෝඨාභය ගේනව ද නැත්නම් ඔහු පරද්දනව ද කියන එක විතරයි. එහෙම නැතුව මේක ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි." ඒ ආචාර්ය හරිනි අමරසූරියගේ මතයයි.

ඇය ජාතික ජන බලවේගයේ කොටස්කාරියකි. විකල්පය යනු දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වන අතර එහි ආරම්භය මෙම ජනාධිපතිවරණය බවත් එය ඉදිරියට ගෙන යා යුතු බවත් ඇය අවධාරණය කළාය.

225ම ඕනද එපාද?

"ජනාධිපතිවරණයක් කියන්නේ තුන් වැනි පාර්ශවයට විශාල ඡන්ද ප්‍රමාණයක් ගැනීම කොහොමටත් අමාරු දෙයක් කියල ඉතිහාසයත් ඔප්පු කරලා තියෙනවා."

කෙසේ වෙතත් ඡන්ද පදනමේ අඩුවක් හෝ වැඩි වීමක් වී ඇත්දැයි නිගමනය කිරීමට මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය යොදා ගත නොහැකි බව ඇය පැවසුවාය.

"225 ම ඕන ද එපා ද කියල නොවෙයි මේ ඡන්දෙදි මිනිස්සු ඡන්දේ දුන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මිනිස්සුන්ට තදින් ම දැනුණේ අපිට නායකයෙක් නැහැ, ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි කියන එක. එකයි ගෝඨාභයට මේ වගේ ඉල්ලුමක් ආවේ."

තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අරගලයට මුසු වෙන්නේ කෙසේ දැ'යි "තේරුම් යන විදියට" ඉදිරිපත් නොවීම තමන් අතින් වූ අඩුපාඩුවක් බව ආචාර්ය හරිනි අමරසූරිය පිළිගන්නීය.

හුදෙකලා වෙලා !

නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත්ගේ මතය ඊට වෙනස්ය.

ජනතා විමුක්ති පෙරමුණ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පෙනී යනු ඇතැයි ඇය පැවසුවාය.         Screen Shot 2019 12 02 at 6.57.20 PM

"එකක් තමයි ජවිපෙ කවදාවත් විශ්ලේෂණය කරලා නැහැ තමන්ට ඇත්තට ම ස්ථාවර, මූලික ඡන්ද පදනමක් තිබෙනව ද කියන එක. තිබෙන සුළු ප්‍රමාණය එතන ම පල් වෙනවා. ඒ ගොල්ලෝ හැම දා ම ආමන්ත්‍රණය කළේ පාවෙන ඡන්දවලට."

"මිනිස්සු ජවිපෙ කියන දේවල් පිළිගත්තේ නැහැ. ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකි ද කියල විශ්වාසයක් මිනිස්සු තුළ නැහැ. ප්‍රධාන පුද්ගලයන් හෝ මුහුණු සීමිතයි. මිනිස්සුන්ට දැන් මේ එක ම පිරිස කියන දේ අවුරුදු ගාණක් අහල තියෙනවා," කථිකාචාරිනි මාධවී හේරත් ප්‍රකාශ කළාය.

"ලෝකයේ අනෙක් රටවල් යන විදිය අධ්‍යයනය කළ යුතුයි. හුදෙකලා වෙලා එක රාමුවක ඉඳල තමයි ඔවුන් දේශපාලනය කරන්නේ."

"විශ්වවිද්‍යාලය තුළදී ශිෂ්‍යයා වාමවාදී වෙලා කටයුතු කළාට එයින් පිට වෙලා, වෙනත් පාටක පක්ෂයක් එක්ක ගමනක් යනවා. ඒක ගැනවත් අධ්‍යයනයක් කළ යුතු වෙනවා. ඒ ශිෂ්‍යයා රඳවා ගන්නේ කොහොම ද කියල," ඇය තවදුරටත් කියා සිටියාය.

කෙසේ නමුත් සක්‍රීය දේශපාලනයක් සඳහා ප්‍රසිද්ධ වේදිකාවට මෙතෙක් ගොඩ නොවූ කලාකරුවන්, වෘත්තීයවේදීන් ඇතුළු බොහෝ පිරිසක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට එක්වී සිටියෝය.

නමුත් බලවත් දෙපාර්ශවයක් අතර සටනකදී ඒ කරා ඡන්ද ධ්‍රැවීකරණය වීම වළක්වා ගැනීමට තරම් එය ප්‍රබල නොවූ බව ප්‍රතිඵලයෙන් පැහැදිලි වෙයි.


අනුර කුමාරගේ විග්‍රහය:

266බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද පිළිගත්තේය.

"ජාතීන් අතර සැකය, ගැටුම, අවිශ්වාසය තව තවත් වර්ධනය කරමින් යන දිශාවකට දේශපාලනය යොමු වී තිබෙන බව ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා," ඔහු පැවසීය.

නමුත් "රට හරි දිශාවට ගැනීම සඳහා" තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති වෙනුවෙන් "හෙටත් පෙනී සිටින" බව අනුර කුමාර අවධාරණය කරයි.

"අසීරුභාවය නොදැන සිටියා නොවෙයි. ඒත් අපේ වෙනස් නොකරන ස්ථාවරයන් කිහිපයක් තියෙනවා."

"කිසිසේත් ම අපි ජාතිවාදයට වැටෙන්නේ නැහැ. ආගම හෝ අන්තවාදය දේශපාලනයට ඈඳා ගැනීමට අපි කිසිසේත් ම සූදානම් නැහැ. එය අපේ න්‍යාය පත්‍රයට ගෙන එන්නේ නැහැ. මහජන දේපළ වංචා කරන දේශපාලනයකට අපට යන්න බැහැ."

එමෙන් ම "ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන ක්‍රමවේදයකින් රාජාභිෂේක නොවන" බව අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.


මහ මැතිවරණය:

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයේදී මීට වඩා යහපත් ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බවට ආචාර්ය හරිනි අමාරසූරිය විශ්වාසය පළ කරන්නීය.

"ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේත් ජාතික ජන බලවේගය නමින්. අපි මීට වඩා හොඳින් කළ යුතු දේවල් තියෙනවා."

සාමාන්‍ය ජීවිතයට අපේ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ගමට හෝ ප්‍රදේශයට බලපාන්නේ කොහොම ද කියන එක හොඳින් ජනගත විය යුතුයි. අපිට ඇහුම්කන් දුන්න. ප්‍රතික්ෂේප වුණේ නැහැ. ඒත් ඡන්ද බවට පෙරළුණේ නැහැ." ඇය පැවසුවාය.

(අරවින්ද තිසර රතුවිතාන BBC සිංහල)

සබැඳි පුවත් :

ජනාධිපතිවරණය: පරාජිතයන් ගැන සිතීමක් -ජයදේව උයන්ගොඩ

පිළිතුරක් නැති ප්‍රශ්නය - වික්ටර් අයිවන්

'ගෝඨාභය ලැබූ ජයග්‍රහණය 1956  නව සංස්කරණයක්'- වික්ටර් අයිවන් 

මහ-ජාතිකවාදයේ නිමේෂය සහ 'ජාතික ජන බලවේගයේ' සංසාරය - ගාමිණී වියන්ගොඩ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්