විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස තම දේශපාලන අරමුණු වෙනුවෙන් මෙරට ආර්ථික අර්බුදය අවභාවිත කිරීමට උත්සාහ කරන ආකාරය දැකීම කණගාටුවට කරුණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.



විපක්ෂ නායකවරයාගේ හා විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය රටට හානිකර තත්වයන් ඇති කරන බවද ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු එබව සඳහන් කර ඇත්තේ, පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් පෙරේදා (30) කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ දී පවත්වන ලද සමඟි ජන බලවේග රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට අහිතකර කොන්දේසිවලට යටත්ව ලබාගන්න IMF ණය තමන්ගේ රජයක් බලයට පත්වූවිට කිසිඳු ලෙසකින් ආපසු නොගෙවන බවත්, ආණ්ඩුවේ නොහැකියාව සහ නිවටකම හේතුකොටගෙන ශක්තිමත් ලෙස ජාත්‍යන්තරය අභියසට ගොස් කටයුතු කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැති බවත් එම රැස්වීමේදී පැවසු විපක්ෂ නායකවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ කලාව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඔප්පු කොට ඇතැයි ද අවධාරණය කර සිටියේය.

 

 

සමඟි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන විට සිදු කර ඇති ප්‍රතිසංස්කරණ, තවදුරටත් පවත්වාගෙන නොයන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

 

සිදුකිරීමට නියමිතව තිබූ ප්‍රතිසංස්කරණ සිදු නොකරන්නේ නම්, ආර්ථික කඩාවැටීම හේතුවෙන් ජනතාව තුළ ඇති වූ වේදනාව සහ පීඩනය මුදා හැරීම සඳහා විපක්ෂ නායකවරයා සතු සැලසුම කුමක්දැයි රාජ්‍ය අමාත්‍යවරයා සිය නිවේදනය හරහා ප්‍රශ්න කරයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු කොන්දේසියක් පනවා නොමැති බවත්, රජය මෙම ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇත්තේ ආර්ථිකය මත පැටවී ඇති බර නිදහස් කිරීම සඳහා පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ජනතාව මත පවතින පීඩනය අවම කිරීම ඉලක්ක කර ගනිමින් නිශ්චිත ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සිදු කළ බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව වැරදි මතවාද සමාජගත කරනු ලබන විපක්ෂ නායකවරයාට අවශ්‍ය වනුයේ ජනතාව මත තව තවත් බර පැටවීමට දැයි රාජ්‍ය අමාත්‍යවරයා විමසයි.

 

ශක්තිමත් ආර්ථිකයක් සමඟ රට ස්ථාවර කිරීමට විපක්ෂ නායකවරයාට සැලසුමක් තිබෙන්නේ නම් එය අවම වශයෙන් මැතිවරණ වේදිකාව මත දී හෝ ජනතාවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරයි.

 

"අපි දන්නවා මේ ප්‍රතිසංස්කරණ අපේ ජනතාවට බරක් කියලා. ඒත් ඒක කෙටි කාලයකට විතරයි. ඊට පස්සේ ජනතාවට ආර්ථික පැත්තෙන් නිදහස දැනේවි. ඔවුන්ට වඩා ස්ථාවර ආර්ථිකයක් තියෙනවා කියලා දැනේවි. අපහසුවෙන් වුණත් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ තමයි එකී ස්ථාවර ආර්ථිකයේ පදනම කියලා අපේ ජනතාව තේරුම් ගනීවි. දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන්, යම් වැඩපිළිවෙලක් හෝ සැළැස්මක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි විපක්ෂය ඇතුළු රටේ සමස්ත ප්‍රජාවගෙන්ම සෑහෙන කාලයක් පුරාවටම ඉල්ලා සිටියත් එවැනි වැඩසටහනක් හෝ අවම වශයෙන් යෝජනාවක් හෝ ඉදිරිපත් කළේ නෑ. නමුත් තමන් වැඩ කරන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් කියලා හැමදාමත් ඒත්තු ගන්වන්න උත්සාහ කරන විපක්ෂ නායකවරයා, ආර්ථික අර්බුදයේ වාසිය අරගෙන තමන්ගේ දේශපාලන බලය දිනාගන්න අපේ මිනිස්සුන්ට තව තවත් පීඩනයක් එල්ල කරන්න හදනවා දැක්කම මට පුදුමයි. " රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

 

“මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට බොහෝ පාර්ශව එකතු වී තිබෙනවා. අපි අපේ දේශපාලනය පැත්තකට දාලා සියළු දෙනාම රට වෙනුවෙන් එකතු වෙලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය සඳහා රටට ලැබිය යුතු ජාත්‍යන්තර සහයෝගිතාවය දැනටමත් සම්පූර්ණ කර තිබෙනවා. මූල්‍ය සහතික සමඟ රටක් වශයෙන් අපි යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර ආයෝජන පවා ගලා එන්නට පටන් ගෙන තිබෙනවා. මෙම ධනාත්මක ලක්ෂණ සමඟ, අපි ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින බවට සහතික විය හැකිය. ඒ නිසා දේශපාලන න්‍යාය පත්‍ර මත කරන ප්‍රකාශ මේ තත්ත්වය තුළ හුදෙක්ම බල ලෝභීත්වය සඳහා කරන වචන ගැළපීමක් විතරක්ම වෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

සබැඳි පුවත:

'රනිල් ගන්න IMF ණය මම ගෙවන්නේ නෑ' - සජිත්


JW
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්