අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාළව ඇප නියමවී තිබේ.



ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අධිකරණ තීන්දු බාර නොගැනීම, අධිකරණ තීන්දු උල්ලන්ඝනය කිරීම ඇතුළු චෝදනා වලට මෙසේ ඇප ලැබී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (ජනවාරි 31 වැනිදා) නියෝග කළේය.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ 2022 වසරේ නොවැම්බර් 21 වැනිදා සිටය.

 

වසන්ත මුදලිගේ හෝ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කිසිදු ආකාරයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වැරදි කළ බවට සාක්ෂි නොමැති බව එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

 

ගැමුණු විජේරත්න සහ 'මෝර්ටිවේෂන් අප්පච්චි' යන දෙදෙනාගේ ප්‍රකාශ මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ වුවද, විමර්ශන වලින් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැණෙන වැරදි කළ බවට තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොමැති බවට අනාවරණය වී ඇති බැවින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන බව දක්වා තිබේ.

වසන්ත මුදලිගේ හෝ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෝ එහි සාමාජිකයින් රජයේ පොදු දේපළවලට හානි කළ බවට හෝ එම සංවිධානයට විදේශ රටවලින් ඒ සඳහා ආධාර ලැබුණු බවට සාක්ෂි නොමැති බව තීන්දුව මගින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දෙනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇතැම් අවස්ථාවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විමර්ශන නිලධාරීන් අත්තනෝමතික ලෙස භාවිත කර ඇති බව පෙනී යන බවය.

වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සම්බන්ධයෙන්ද මෙම නියෝගයම අදාළ කර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳ සළකා බැලීම සඳහා නඩුව ලබන මාර්තු 18 වැනිදා නැවත කැඳවීමට නියමිතය.


JW
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්